• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උසස් තත්ත්වයේ සහල් නිෂ්පාදනයට නව මඟක්

rice8‘කුල්ලෙන් පොළා පොළා 
ගල් කැට අහුලලා
සෝදා හාල් ගරා ...’
 
 
මේ අපේ ගෘහණියන් බත පිසීමට ගන්නා උත්සාහය අපේ ගායකයෙක් දුටු ආකාරය. 

කුල්ලෙන් පොළලා, ගල් කැට අහුලලා, හොඳට සෝදලා, නෑඹිලියෙන් ගරලා .... මේ වගේ වැඩ කන්දක් කරන්න අද අපේ ගෘහණියට හැකියාවක් නැහැ. කඩෙන් ගෙනා ගමන් වතුර දාලා රයිස් කුකර් එකේ තියලා බත පිස ගැනීම තමයි අද ඔවුන්ට  ඕනෑ කරන්නේ. මේ තත්ත්වයට අපි කැමැති වුණත් අකමැති වුණත් මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා.

ගෘහණියන්ගේ මේ අවිවේකී බව නිසා ඔවුන්ගේ වැඩි ඉල්ලූමක් තියෙන්නේ තත්ත්වයෙන් උසස්, ගල්වැලි රහිත මනා පෙනුමෙන් යුත් තම්බපු සහල්වලට. මෙවැනි සහල් ඉහළ මිලකට වුණත් මිලදී ගැනීමට ගෘහණියන් සූදානම්. ඒ නිසා මේවැනි සහල්වලට හොඳ වෙළෙඳපොළක් රට පුරාම තිබෙනවා.

වර්තමානයේ ලංකාවේ සහල් නිෂ්පාදනයෙන් අති විශාල ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ මහා පරිමාණ මෝල් හිමියන් විසින්. ඔවුන් විසින් නවීන තාක්ෂණය භාවිත කරමින් තත්ත්වයෙන් උසස් සහල් නිෂ්පාදනය කරන නිසා ඒවා පහසුවෙන් අලෙවි කර ගැනීමට හැකි වෙලා තිබෙනවා. 

මේ නිසා යම් යම් තාක්ෂණික හා වෙනත් ගැටලූ හේතුවෙන් තත්ත්වයෙන් බාල සහල් නිෂ්පාදනය කරන කුඩා මෝල් හිමියන් විශාල පිරිසක් අද සහල් නිෂ්පාදන කර්මාන්තයෙන් බැහැර වෙමින් සිටිනවා. rice2

මේ තත්ත්වය පැති කිහිපයකින් අහිතකර ආකාරයෙන් බලපානවා. එකක් තමයි මහා පරිමාණ මෝල් හිමියන්ට සහල් වෙළෙඳපොළ තුළ ඒකාධිකාරියක් පවත්වා ගෙන යාමට මේ තත්ත්වය නිසා අවස්ථාව උදා වෙනවා. මේ තත්ත්වය පාරිභෝගිකයින්ටත් අවාසිදායකයි. 

අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය විසින් සුළු පරිමාණයේ වී තැම්බීමේ සහ සහල් සකස් කිරීමේ ක‍්‍රමයක් හඳුන්වා දීමෙන් පසුව ග‍්‍රාමීය මට්ටමේදී පවා හොඳ තත්ත්වයේ සහල් සකස් කර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදා වුණා. 

කුඩා මෝල් හිමියන්ට නවීන තාක්ෂණය

ගුණාත්මක භාවයෙන් වැඩි තත්ත්වයෙන් ඉහළ තම්බපු සහල් නිපදවීමට බලාපොරොත්තු වන අයෙකු වී තැම්බීමේ නවීන ක‍්‍රම අනුගමනය කළ යුතුවාක් මෙන්ම යොදා ගන්නා වී සම්බන්ධයෙන් ද විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. 

මෙහිදී තැම්බීම සඳහා යොදා ගන්නා වී හොඳින් වේලී සහ පිරිසිදුව තිබිය යුතුයි. වර්ග මිශ‍්‍රණයෙන් තොර විය යුතුයි. අවපැහැ නොවිය යුතුයි. 
වී පිරිසිදු කිරීම සඳහා පහත සඳහන් සල්ලඩ භාවිත කළ හැකියි.rice

දිග වී සඳහා - නො. 06 සහ 10 සල්ලඩ ( වර්ග අඟලකට ඇති සිදුරු ගණන *
කෙටි වී සඳහා - නො. 08 සහ 10 සල්ලඩ ( වර්ග අඟලකට ඇති සිදුරු ගණන *

ක‍්‍රමවේදය

වී තැම්බීම සඳහා සූදානම් කර ගැනීමේදී ප‍්‍රථමයෙන්ම වී හොඳින් සේදිය යුතුයි. ඊට පසුව ඇල්වතුරේ පෙඟවිය යුතුයි. වතුරෙහි උඩ පාවෙන නොපැසුණු ඇට ඉවත් කිරීමෙන් සහල්වල කලූ ඇට ප‍්‍රමාණය අඩුකර ගත හැකියි. 

පෙඟවීමේ කාලය

කෙටි වී සඳහා පැය 24-36
දිග වී සඳහා පැය 48-72 

පැය 12 කට වරක් ජලය ඉවත් කර අලූත් ජලය දැමීමෙන් සහල්වල දුඟද ඉවත් කර ගත හැකියි.

වී තැම්බීම

වී තැම්බීම සඳහා භාජනයක් පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ සඳහා බැරල් භාගයක් ගෙන පතුලේ සිට අඟල් 4 ක් උඩින් දැලක් තැබීම සඳහා ආධාරකයක් පාස්සා ගත යුතුයි. මේ සඳහා නො.10 දැලක් යොදා ගත යුතුයි.

පොඟවා ගත් වී බැරල් භාගයේ දමා බැරල් භාගය ලිප උඩ තබා වතුර අඟල් 1 1/2 ත් 2 1/2  අතර ප‍්‍රමාණයේ උසට පුරවා උතුරන්න හරින්න. වතුර උතුරා වාෂ්ප වන විට භාජනයට වී දමා තම්බා ගන්න. මතුපිට තට්ටුවේ වී ඇට ඉරී තැලෙනතුරු තම්බා ගන්න. 

මෙහිදී හුමාලය අපතේ යෑම වැළැක්වීම සඳහා තෙත ගෝනියකින් තැම්බෙන වී හොඳින් වසා තබන්න.

අඩු වියදම් ඉන්ධන - දහයියා

වී තැම්බීමේදී දර පාවිච්චි කළහොත් නිෂ්පාදන වියදම ඉහළ යා හැකි අතර ඇතැම් ප‍්‍රදේශවල දර සොයා ගැනීම ද අපහසුය. මේ සියල්ලට ම වඩා දර පාවිච්චිය නිසා වන සම්පත විනාශ වී යාමෙන් පරිසර විනාශය ද සිදුවේ. එනිසා පහසුවෙන්, අඩු පිරිවැයක් යටතේ යොදා ගත හැකි විකල්ප බල ශක්ති ප‍්‍රභවයන් කෙරෙහි ඔබ උන්නදු විය යුතුයි.

මේ සඳහා වඩාත් යෝග්‍ය ශක්ති ප‍්‍රභවය වශයෙන් ‘දහයියා’ සැලකිය හැකියි. වී තැම්බීම සඳහා දහයියා ඉන්ධනයක් සේ භාවිත කිරීමෙන් වැයවන දර ප‍්‍රමාණය අඩුකර ගත හැකි අතර නිෂ්පාදන වියදම ද අඩු කර ගත හැකියි.

මේ සඳහා නිර්මාණය කරන ලද විශේෂිත ලිපක් පහත රූපයේ දැක්වෙනවා. මෙහි දැක්වෙන ආකාරයට මේ ලිප ඉතා පහසුවෙන් ගඩොල් යොදා ගෙන සදා ගත හැකියි. rice3

ලිප බැඳීම සඳහා අවශ්‍ය මැටි මිශ‍්‍රණය පහත පරිදි විය යුතුයි.

ලිප බැඳීමට අවශ්‍ය මැටි මිශ‍්‍රණය
මැටි - 2, ගොම -1
වැලි - 2  සුදු දහයියා -1 

වී වියළීම

තැම්බූ වී බිමට බාගත් විගස සිසිල් වීම සඳහා කමතක හෝ පැදුරක තුනී කරන්න. කිසි විටෙක තැම්බූ වී ගොඩගසා නොතබන්න. සහල් ඇටය දත්වලින් සපන විට රබර් වැනි තත්ත්වයට පත්වන තුරු කලවම් කරමින් වේලන්න. 
තෙතමනය
මේ අවස්ථාවේදී සහල් ඇටයේ තෙතමනය සියයට 20 ක් පමණ වේ. ඉන්පසුව වී ගොඩගසා ගෝනියකින් හෝ පැදුරකින් වසා පැය 2ක් තබන්න. මෙසේ පදම් කළ පසු නැවත අව්වේ තබා වේලන්න. තද අව්වේ වේලීමෙන් වළකින්න. 

වී පෙඟවීම සඳහා කුඩා පරිමාණයේ සිමෙන්ති ටැංකියක් හා වියලීම සඳහා කමතක් සදාගත හැකියි. වී කිලෝ 100 ක් වියලීම සඳහා අඩි 100 ක කමතක් අවශ්‍යවේ.

සහල් කෙටීම

සහල් කෙටීමේදී වී පොතු හැරීම සඳහා රබර් රෝල් ෂෙලරයකුත්, නිවුඞ්ඩ ඉවත් කිරීම සඳහා පොලිෂරයකුත් යොදා ගන්න. මේ සඳහා යකඩ හලරයක් ද භාවිත කළ හැකියි. නමුත් ජෙට් හලරයක් හෝ වෙනත් පොලිෂරයක් යොදා ගැනීමෙන් අස්වැන්න වැඩි වී සහල් වල තත්ත්වය උසස් වේ.

නව ක‍්‍රමයේ වාසි

මෙම ක‍්‍රමය මගින් පහත සඳහන් විශේෂ වාසි කිහිපයක් ලැබේ.

1. මෙම ක‍්‍රමය ගෘහණියන් සඳහා ඉතා සුදුසු ස්වයං රැකියාවකි. ගෙදර දොර අනෙක් කටයුතු සමඟ මෙම ස්වයං රැකියාවෙහි ඔවුනට ඉතා පහසුවෙන් යෙදිය හැකියි.

2. ගෘහණියන්ට අමතර ආදායමක් ලබා ගත හැකි වීම.

3. වෙළෙඳපොළට වී විකුණනවා වෙනුවට එම වී හොඳ තත්ත්වයේ සහල් බවට පරිවර්තනය කර විකිණීම මගින් වී වල අගය වැඩි වේ. මෙමගින් අමතර ආදායමක් ලබාගත හැකි වේ.

සැකසුම - තුෂාල් විතානගේ
පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ අත් පත‍්‍රිකාවක් ඇසුරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.