• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඩිජිටල් අධ්‍යාපනයේ දොරටුව අභියස

sunil hettiarachchiශ්‍රී ලංකාව යනු, සංවර්ධනය කරා පිය මනින ‍දේශයකි.



එකී සංවර්ධනය කරා පිය මනින මාවතේදී  අධ්‍යාපනය යන්න අත්‍යන්තෙයන්ම අවශ්‍යය වන මූලිකාංගයකි. අධ්‍යාපනය පිළිබඳ ව කතා කරන විට පරිගණකය හා අන්තර්ජාලය යනු නිතැතින්ම ව්‍යවහාරයට ‍මෙන්ම භාවිතයට ගන්නක් බවට මේ වන විට පත්ව ඇත. එසේම අධ්‍යාපනය යනු ගතික සංකල්පයක් බැවින් එය නිරන්තරයෙන් විවිධ වෙනස්වීම්වලට අනුවර්තනය වෙයි.


ඒ කෙරහි ප්‍රභල බලපෑමක් සිදු කරන්නට ‍මෙකී පරිගණක හා අන්තර්ජාල මාධ්‍යයන් සමත්ව ඇත. නමුත් අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවේ අධ්‍යාපනය සඳහා පරිගණක හා අන්තර්ජාල මාධ්‍යන් භාවිතය යම්කිසි අවම මට්ටමක පවතින බව දක්නට ලැබේ. ලෝකය අන්තර්ජාල තාක්ෂණයත් සමඟ අධිවේගී ලෙස ඉදිරියට යාමේදී ගතානුගතික සංකල්පයන්ට නතුව සිටීම රටක් ලෙස කිසිසෙත් කළ නොහැකිය. මේ නිසාම වර්තමාන රජය පාසල් අධ්‍යාපනය රටාව අන්තර්ජාල භාවිතය හා මුසු කිරීම අරඹයා දැවැන්ත ව්‍යාපෘතියක් දියත් කරමින් සිටියි. මේ  පිළිබඳ අප නොදත් කරුණු රාශියක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරචිචි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අධ්‍යාපන අමාත්‍යංශය වසර ගණනාවක සිට පාසල් අධ්‍යාපනයේ ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලිය ගුරුවරයා දරුවා කළු ලෑල්ල සහ හුණු කූර යන සංකල්පෙයන් මුදවා නවීන තාක්ෂණය සහ ඒ්කාබද්ධ කිරීමට උත්සාහ දැරීය. එය සංකල්පමය වශයෙන් යම්තාක් දුෂ්කර කාර්යයක් වුවද නව අයවැය මඟින් මෙම ක්‍රියාවලිය සඳහා බිලියන 80ක පමණ මුදලක් වෙන් කර ඇත. එමඟින් මෙම සාම්ප්‍රදායික පන්ති කාමර  ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලිය තාක්ෂණයට අනුවර්තනය වී අප  බලාපොරොත්තු වන විශිෂ්ට දරුවෙකු බිහි කිරීමේ ප්‍රාර්ථනය වඩාත් සාර්ථක අයුරින් මල්ඵල ගැන්වෙනු ඇත. 


මෙය කිසිසේත්ම කෙටි කාලීනව ළඟා විය නොහැකි ඉලක්කයක් වන අතර ක්‍රමක්‍රමයෙන් පියවෙරන් පියවර ක්‍රියාත්මක කළ යුත්තකි.ඒ් අනුව එහි ප්‍රථම පියවර ලෙස නව රජයේ සංකල්පයක් වන "ළඟම පාසල හොඳම පාසල" සංකල්පය යටතට නම් කර ඇති සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් දෙකක් බැගින් වූ පාසල් තෝරාගෙන ඒ සඳහා මෙම ඩිජිටල් පන්තිකාමර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. එලෙස  2013 වසරේ පමණ සිට යොජනාවක්ව පැවති ඩිජිටල් ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලිය යථාර්ථයක් කිරීමේ ආරම්භක පාසල ලෙස ජයවර්ධනපුර මහා විද්‍යාලෙයහි මෙම ක්‍රමය අත්හදා බැලීම් මේ වන විට සිදු වෙමින් පවතියි. ඒ අනුව මේ වන විට පාසල් 300ක පමණ මෙම ඩිජිටල් බෝර්ඩ් සවිකර ඇත. මෙය තවමත් මූලාරම්භ අවධියේ පසුවන බැවින් මෙහි භාවිතය සියයට සියයක් සාර්ථක බව කිව නොහැකි වන අතර  මෙහි ශක්‍යතාවය විමසිය හැක්කේ ඉදිරි වසර දෙක තුන ඇතුලත බව ඒ මහතාගේ අදහසයි. 


කෙසේ වුවද ළඟම පාසල හොඳම පාසල සංකල්පය යටතේ පාසල් 5000ක් මේ යටතේ ආවරණයට යෝජිතය. සුවිශේෂීම කරුණ වන්නේ මෙය තාක්ෂණිකමය උපකරණ වශෙයන් භෞතික සම්පත් හරහා පාසල් වලට ගෙනයාමෙන් පමණක් ඵලක් නොවීමයි. කළ යුත්තේ මේ සඳහා විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් හුරුකර වීමයි. දරුවන් නව තාක්ෂණය හා අන්තර්ජාල භාවිතය කෙරහි මේවන විටත් ඇබ්බැහි වී හමාරය. නමුත්  විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් බහුතරයක් මෙම තාන්ෂණික භාවිතයන් කෙරහි බියක් දක්වයි. එම නිසා මෙම ව්‍යාපෘතියේදී මුහුණ දීමට සිදු වන ප්‍රභලතම අභියෝගය වන්නේ ඒකී පාර්ශවයන් මේ  සඳහා පුහුණු කරවීමයි. මෙම පුහුණු කිරීමේ කටයුතු සඳහා පමණක් වර්ෂයකට මිලියන 2ක පමණ මුදලක් මෙවර අයවැයෙන් වෙන් වී ඇත.


එසේම පාසල් දරුවන්ට නොමිලයේ ලබාදෙන පාසල් නිල ඇඳුම් සහ පෙළ පොත් සඳහා රජය විසින් වසරකට විශාල වියදමක් දරනු ලබයි. මෙම ක්‍රියාවලිය සඳහා අදාල දත්ත ලබා ගැනීමේදීද මෙම තාක්ෂණය යොදා ගැනීමට ඉදිරි‍යේදී ක්‍රම සම්පාදනය කිරීමට නියමිතය. තවද පෙළපොත් මුද්‍රණය සඳහා දරනු ලබන අධික වියදම අවම කරමින් ඉදිරි වසර 5 ඇතුලත පාසල් දරුවන්ට පෙළපොත් අන්තර්ජාලය හරහා ලබා ගැනීමට පහසුකම් සැලැස්වීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරනු ලබයි. එමඟින් මෙරට ඇති අධ්‍යාපන විෂමතාවය අවම කිරීමට ද අපේක්ෂිතය. එසේම මෙම අධ්‍යා‍පන ඩිජිටල්කරණය හරහා එකම ගුරුවරයාට එකම විෂය කරුණු දරුවන් වෙත ගෙන යමින් රට පුරා පාසල්වල සමාන විෂය කරුණු ධාරාවක් ඉගැන්වීමට හැකිවනු ඇත.


   
මෙම කටයුත්ත අධ්‍යාපන අමාත්‍යංශයට පමණක් තනිවම කළ නොහැකිවන අතර විශේෂයෙන් ඒ සඳහා අන්තර්ජාල සම්බන්ධතා ආයතනයන්හි පූර්ණ අනුග්‍රහය අවශ්‍යය වේ. එසේම අන්තර්ජාල පරිහරණයේදී දරුවන් අවභාවිතය සඳහා පෙළඹෙන බවට දෙමව්පියන් තුළ ඇති දුර්මතය ඉවත් කිරීමද අත්‍යාවශ්‍ය වේ. මෙම ඩිජිටල් අධ්‍යාපන ක්‍රමය හරහා දරුවා අන්තර්ජාලය හරහා සිදු කරන සියලු ම ක්‍රියාකාරකම් දෙමව්පියන් හට නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා ඇත. එපමණක් නොව, පාසලේදී දරුවන් වෙත ලබාදෙන පැවරුම් සහ ලකුණු සියල්ල දැනගැනීමටද එමඟින් හැකියාවක් ඇත. මෙලෙස අන්තර්ජාල භාවිතයේදී දරුවා පූර්ණ ලෙස සුරක්ෂිතභාවයකට පත්වන බව විශ්වාසය. එසේම මෙම අධ්‍යා‍පන ඩිජිටල්කරණය හරහා පන්ති කාමර සංඛ්‍යාව අඩුකළ හැකි වීමද සුවිශේෂීත්වයකි.  


මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න
ජන සන්නිවේදන අධ්‍යනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.