• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අති උතුම් ඇසළ පුන් පොහෝදා අදට යෙදේ

esalaබුදුන් වහන්සේ අවබෝධ කළ උතුම් ධර්‍මය බරණැස ඉසිපතන මිගදාය නම් වූ උතුම් භූමිය තුළ දී තමා සමග සත්‍ය සෙවූ පස්වග තවුසන්ට දේශනා කළ සේක. ආලෝකෝ උදපාදි විජ්ජා උදපාදි වශයෙන් තුන් ලොවට උතුම් ධර්‍මය පහළ විය.



අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා අඤ්ඤාකොණ්ඩඤ්ඤ භික්ෂුව ලෙස ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම මහරහතන් වහන්සේ මෙම උතුම් දිනයේ දී පහළ විය.


ඒ සමග ම මෙම උතුම් ශාසනයේ තෙරුවන් පහළ විය. ධර්‍මචක්‍රය පහළ විය. මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය දෙව් මිනිසුන් විසින් අවබෝධ කර ගැනීම ආරම්භ විය. එසේම බුදුන් වහන්සේගේ පළමු වස විසුවේ මෙම පෝය දිනයේදී ය.


තව්තිසා බඹලොවට වැඩම කළ බුදුන්වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය ලොවට පෙන්වාදෙමින් අභිධර්‍මය දේශනා කිරීම ආරම්භ විය. දෙව් මිනිසුන්ට අභිධර්‍මය තුළින් සතර පරමාර්ථ හකුලුවා ගැඹුරින් කරන ලද උතුම් දේශනය ලැබුණේ ද මේ උතුම් දිනයේ දීය.


බුදුන් වහන්සේ වසර හතලිස් පහක් මුළුල්ලේ දේශිත උතුම් ධර්‍මය විසිර පැවතුණි. එය ඉදිරියට කට පාඩමින් ගෙනයා හැකි ආකාරයට අනු පිළිවෙළට සකස් කර සඟ පරපුරට පැවරීමේ මහා මෙහෙය හෙවත් පළමු ධර්‍ම සංගායනය ආරම්භ වුයේ ද අද වගේ දිනකදී ය. මෙම උතුම් සේවය එදා සිදු නොවන්නට මෙම ශාසනය කෙබදු පැත්තකට යොමු වේදැයි සිතිය නො හැකිය.


ලක් බුදු දහමේ ආරම්භය ලෙස පසුගිය පොසොන් පොහොය මහත් උත්කර්ෂයෙන් පවත්වනු ලැබීය. ඒ තරමට මෙම පෝය ලාංකීය භික්ෂු සමාජය ගැන සිතන විට වැදගත් කමක් උසුලයි. අරිට්ඨ කුමරු ඇතුළු පනස් දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබුවේ මෙම උතුම් දිනයේ බැවිනි. මෙම ලාංකීය සඟ පරපුර විශ්වය පුරා සැරිසරමින් වර්තමානය දක්වා ලොවට අධ්‍යාත්මික සුවය ලබාදීම ආරම්භ කළේ අද වගේ දිනයකයි.


බුරුමයේ සේදගොන් චෛත්‍යය ලොව මහත් ගෞරවයට හා වන්දනයට පත් වූ බෞද්ධ පූජනීය ස්ථානයකි. එයට නො දෙවෙනි ගෞරවයට හා පුජාවට ලක් වූ ස්ථානයකි ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ.


අපගේ මෙම පින්බිමේ අභිමානය අතීත මුතුන්මිත්තන්ගේ ජ්‍යාමිතික නිර්මාණ හැකියාවන් ලොවට පෙන්වා දෙන මෙම උතුම් ස්ථූපය ලොවට දායාද කිරීමට දුටුගැමුණු මහරජු විසින් මුල්ගල තැබුවේත් අද වැනි උතුම් පෝය දිනයකයි.


කිත්සිරි මෙවන් රජු සමයේ දන්ත කුමරු හා හේමමාලා කුමාරිය බුදුන් වහන්සේ දේසිත අසූහාරදහසක් වූ ධර්‍මස්කන්ධය ම ස්පර්ශය ලැබූ දන්ත ධාතුන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ අද වැනි පොහෝ දිනයකයි.


එදා රජු දවස දන්ත ධාතුන් වහන්සේ සතුවීම රාජ්‍යත්වය ස්ථිර වීමට ප්‍රබල හේතුවක් විය. එබැවින් වර්තමානයේ පවා දළදා සමිදුන්ට මෙම දිවයිනේ විශේෂ ස්ථානයක් හිමිවෙයි. ඈත අතීතයේ සිට දළදා පෙරහර ලෝක වාසී බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ සංස්කෘතික මංගල්‍යයක් ලෙසද හැඳින්විය හැක. මේ සියලු අංග අප රටට දායාද වූයේ දන්ත ධාතුන් වහන්සේ අපේ රටට වැඩමවූ බැවිනි. මේ ආකාරයට ඇසළ පෝය ලෝකවාසී බෞද්ධයන්ට මෙන්ම විශේෂයෙන් ලක්වැසි බෞද්ධ ජනතාවට උතුම් පොහොය දිනයක් ලෙස සැලකිය හැක.

නවතම පුවත්

කැබිනට් තීරණ - 2020.07.02

02 July 2020
කැබිනට් තීරණ - 2020.07.02

කැබිනට් තීරණ  දැනුම් දීමේ මාධ්‍ය හමුව - 2020.07.02

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo