• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදා හමුවේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය (අරණායකට පසුකතනයක්)

aranayakeශ්‍රී ලංකාව තුළ ස්වභාවික ආපදා තත්ත්වයන් හමුවේ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ ව විවිධ මතයන් සමාජය තුළ ගොනු ගත ව ඇත. විශේෂයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ක්‍රියාකාරීත්වය මෙහි දී විශේෂ වූ අතර, සමාජ වෙබ් ජාලා ද මෙහි ලා දැක්වූයේ සුවිශේෂී දායකත්වයකි.

මේ ඒ පිළිබඳ ව විමසා බැලීමකි.2016 මැයි මසශ්‍රී ලංකාව තුළ වර්ධනය වූ ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ වෙනදාටත් වඩා ඒ සම්බන්ධ අවධානයක් යොමු වූයේ මාධ්‍ය වාර්තා කිරීමත් සමගිනි. එය අපේක්ෂිත අවධානයටත් ඔබ්බට ගිය අවධානයක් ආපදාවන්ට ලක් වූ දිස්ත්‍රික්කයන්  වෙත ලබා දීමට සමත් විය.කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්වභාවික ආපදා සම්බන්ධ ඉහළ අවධානය යොමු වූයේ ජීවිත දේපළ අතිවිශාල ප්‍රමාණයක් බිලි ගනිමින් ක්ෂණිකව අරණායක සාමසැර කන්ද නාය යාම හා බුලත්කොහුපිටිය කළුපහන වතුයායේ නායයාමත් සමගිනි.

සාමසැර කන්ද  නාය යෑමෙන් පැයක් ගතවන්නටත් ප්‍රථම ඒ පිළිබඳ අඩමාන තොරතුරුමාධය විසින් එසැණ පුවත් වෙතින්මගින් වාර්තා කර තිබුණි. එය වැදගත් වූයේ ආපදාවන්ට ලක් වූ පිරිස් මුදා ගැනීමමේ ක්‍රියාවලිය කඩිනම් වීමයි. එමෙන්ම එම ප්‍රදේශයේ විසූ තම ඥාතීන්, හිතමිතුරන්ගේ නිරුප්‍රද්‍රිත භාවය දැන ගැනීමට කටයුතු කිරීම මෙන්ම අනතුරට පත්ව ඇතැයි සැක සිතූ පුද්ගලයින් මුදාගැනීමට සඳහා පැහැදිලි තොරතුරු සැපයීමේ හැකියාවක් එසැණ පුවත් වාර්තා සහය වී තිබිණ. එහි අවාසිය වූයේ අනවශ්‍ය ලෙස අවට පෙදෙස්වල යම් කලබලකාරී ස්වරූපයක් හට ගැනීමයි. එය පුද්ගලයන් මුදා ගැනීමේ ක්‍රියාවලියට යම් බාධා පැමිණවීමට සමත් විය.සාමසැර කන්ද නාය යාමේ පුවත විද්‍යුත් මාධ්‍ය සිය රාත්‍රී පුවත් විකාශය තුළ ඉදිරිපත් කළ අතර එහි අඩංගු වූයේ තහවුරු නොකළ තොරතුරු සමූහයකි.

තහවුරු නොකළ සංඛ්‍යා ලේඛන යනු ජනතාව නොමග යන සුළු තොරතුරුය. උදාරහරණයක් ලෙස “ අරණායක ගමක් පිටින් වැළලෙයි“ වැනි ප්‍රකාශයන් ජනතාව බරපතළ ලෙස නොසන්සුන් කිරීමට හේතු විය.පසුදින වන විට ජාතික පුවත්පත් වල ප්‍රධාන සිරස්තලය වූයේ සාමසැර කන්ද නාය යාමේ පුවත වුවත් එක් එක් පුවත් මගින් ඉදිරිපත් කර තිබූ තොරතුරු එකිනෙකට පටහැනි විය. එමෙන්ම පුවත්පත් ඇතුළු පිටු එම අනුවේදනීය සිදුවීමේ වැඩිදුර තොරතුරු හා අතුරු කතා පළකර තිබුණි.පුවත්පත් මාධ්‍ය වාර්තාකරණයේ සරල රීතීන් උල්ලංඝණය කරමින් මෙම නායයාමේ සිදුවීම් භාවාතිශය ලෙස ගෙනහැර දක්වා තිබුණි. මිය ගිය හා අතුරුදහන් වූවන්ගේ තොරතුරු ශෝකාලාපයන්, දේපළ හානි අතිශයොක්තියෙන් ඇතැම් ජාතික පුවත්පත් වල පිටු අතර රැඳී තිබුණි. විද්‍යුත් මාධ්‍යයන් වන ගුවන්විදුලිය හා රූපවාහිනිය මේ වන විට මිය ගිය හා අතුරුදහන් වූවන්ගේ සංඛයාව තහවුරු කළ තොරතුරු මගින් පැයෙන් පැය පුවත් විකාශයන් තුළින් ඉදිරිපත් කළහ.

මේ සිදුවීම් සම්බන්ධ මාධ්‍යවාර්තාකරණයේ සුවිශේෂී පුරවැසි වාර්තා කරණය සමාජ ජාල මාධ්‍ය විසින් ඉටුකරනු ලැබූ අකාරය දැකගත හැකි වූ අතර ඉනුත් වැදගත්ම කාර්යභාරය සිදුකරනු ලැබුයේ ෆේස්බුක් සමාජ මාධ්‍යයි. මේ වන විට ලාංකිකයන් ඉතා විශාල ප්‍රමාණයක් ෆේස්බුක් පරිශීලකයන් වන බැවින් සීඝ්‍ර‍යෙන් මෙම සිදුව්ම් ෆෙස්බුක් ජලාය තුළ පැතිරි ගියේය. විශේෂයෙන් තහවුරු නොකළ සංඛ්‍යා ලේඛන හා විවිධ අසත්‍ය තොරතුරු පවා එහි සංසරණය වූ අතර මිය ගිය හා අතුරුදහන් වූවන්ගේ ගණන විශාල සංඛ්‍යා ලේඛන වලින් දක්වා තිබීම හා අසත්‍ය ඡායාරූප ද එම තොරතුරු අතර විය.විශේෂයෙන් ෆේස්බුක් ජාලය තුළ තොරතුරු වේගයෙන් සංසරණය වීමේ ලා මාධ්‍ය ආයතන මගින් මෙහෙය වන පුවත් පිටු (fecabok page)වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලැබීය.

එමගින් ෆේස්බුක් පරිශීලකයන් වෙත නිරන්තර දැනුවත් කිරීම් සිදුකරනු ලද අතර, එය ආපදා සහන සැලසීම සඳහා අතිවිශාල ආධාරකයක් විය. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සහන එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මේ අවස්ථාවේ දී කටයුතු කිරීම කැපි පෙනේ. විශේෂයෙන් ම සහන අවශ්‍ය ස්ථානයන් නිරත්තරයෙන් දැනුවත් කිරීම් මෙමගින් සිදුවුන අතර ඉන් මනා සහන සම්බන්ධීකරණක් සිදු වූ අවස්ථා දැකිය හැකි විය. එමෙන්ම ආපදාවන්ට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සිදු කළ ත්‍රිවිධ හමුදාව ඉහළින් ඇගයීම මෙහි දී සිදු කළ ආකාරය සුවිශේෂීය.ආපදා සම්බන්ධයෙන් මාධ්‍ය හැසිරීම වඩා වැදගත් වූයේ ආපදා සහන සම්පාදකයන්ටය. විශේෂයෙන් ජනමාධ්‍ය මගින් නිරන්තරයේන්ම ජනතාව වෙත නායයාමේ ඛේදවාචකය සම්බන්ධ තොරතුරු ගෙන ඒමෙන් ඉන් පීඩාවට පත් පුද්ගලයන් වෙත ද්‍රව්‍යමය අධාර ලබා දීමට එය වැදගත් සාධකයක් විය. දිවයිනේ දුරබැහැර ප්‍රදේශයන්හී සිට මෙම ද්‍රව්‍යම අධාර ගලා ආ අතර ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය,පානීය ජල බෝතල්, ඇදුම් පැළදුම්, විවිධ ගෘහ උපකරණ එම ආධාර තුළ ඇතුළත් විය. දින දෙකක් පමණ ගත වූ විට මෙම අධාර දුව්‍ය ප්‍රමාණය ඉක්ම වූ අතර එම ද්‍රව්‍ය රැගෙන ආ වාහන මාර්ග අවහිර වන සේ දැඩි තදබදයට ලක් වන්නට විය.

වැසි සහිත කාලගුණයක් තුළ  මෙය මුදාගැනීමේ මෙහෙයුම් වලට දැඩි  බාධා පැමිණි වීය. විශේෂයෙන් අවතැන් කඳවුරු තුළ නිරන්තරයෙන් විශාල පිරිසක් ගැවසීමෙන් ආපදා සම්බන්ධීකරණ කටයුතු අවහිර කෙරිණි. මෙම පිරිස් අතර දිවයිනේ විවිධ ප්‍රදේශන්හි පැමිණි පුද්ගලයන් විය. නාය ගිය ස්ථාන නැරඹීම ඔවුන්ගේ අභිප්‍රාය වී තිබිණි. තවමත් අවදානම් තත්ත්වයේ පැවති නාය යාමේ ස්ථාන නරඹීමට පැමිණීමෙන් වළකින ලෙස මාධ්‍ය මගින් ඉල්ලීම් නිකුත් කෙරිණි.නාය යාමේ සිදුව්ම් මාධ්‍ය තුළින් වාර්තා කිරීමේ වැඩි නැඹුරුව දැක්වූයේ අරණායක ඛේදවාචකය සම්බන්ධයෙන් වූ බැවින් බුලත්කොහුපිටිය, කළුපහණ වතුයායේ නාය යාමෙන් ආපාදාවට පත් වැසියන් සඳහා ආධාර ලැබීම සීමා සහිත විය. අරණායක අතිරික්ත ආධාර ප්‍රමාණ මෙම ප්‍ර දේශය වෙත පිටත් කර හැරියේ ඉන් අනතුරුවය. එම තත්ත්වය නිවැරදි කරන්නට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම සඳහා මාධ්‍ය මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කළ බව මෙහි දී සඳහන් කළ යුතුය.අරණායක ඛේදවාචකය සම්බන්ධ තොරතුරු සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු විවිධ දේශපාලකයන් පැමිණීමද මාධය විසින් වාර්තා කෙරිණි.

එමෙන්ම පීඩාවට පත් ජනතාව එසේ පැමිණි යම් යම් දේශපාලකයන්ට විරෝධය දැක් වූ ආකාරය ද වාර්තා කෙරිණි. ආපදාවෙන් පීඩිත පිරිස් විසින් මාධ්‍ය හමු කැඳවා සිය ඉල්ලීම් එමගින් ඉදිරිපත් කළහ. එය මෙම සිදුවීමේ සැබෑ ස්වරූපය පීඩාවට පත් පාර්ශවය විසින් පෙන්නුම් කළ අවස්ථාවකි.මෙම ආපදා සිදුවීම් ද්විත්වය තුළ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ගේ භූමිකාව සුවිශේෂී එකකි. ප්‍රාදේශීය මාධ්‍යවේදියා යනු අනතුර සිදු වූ ප්‍රදේශය අතැඹුලක් සේ දන්නා පිරිස් වෙති. එබැවින් ඛේදවාචකයේ සැබෑ ස්වරෑපයේ දිග පළල අනුමාන වශයෙන් වුව ඉදිරිපත් කරන්නට ඔවුනට දැනීමක් ඇත. එය ක්ෂණිකව තොරතුරු සැපයීමට පහසු ප්‍ර වේශයකි. තොරතුරු වඩාත් ඉක්මනින් හා පහසුවෙන් විශ්වාසදායී ලෙස ජනතාව වෙත ප්‍රවේශ කරලීමට සමත් වෙයි. අනෙක් අතට පහසුවෙන් අනතුරට පත් ස්ථානයන් වෙත ලගා වීමට ඇති හැකියාව ගුණාත්මක ප්‍රවෘත්තියක් නිර්මාණය කිරීමට සමත් වෙයි. අරණායක හා බුලත්කොහුපිටිය සිදුව්ම් ද්විත්වයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය අගය කළ යුත්තේ ආපදා සම්බන්ධීකරණයට ඔවුන් දැක්වූ දායකත්වය හා සහයෝගය හේතුවෙනි.මෙම සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කරණයයේ දී විශේෂයෙන් ම පුවත්පත් මාධ්‍ය තුළ  භාවාත්මක හා අතිශයෝක්තියෙන් දනවන සුළු ආකාරයකින් ඉදිරිපත් කර තිබුණි.

එම ඛේදවාචකයේ විවිධ අනුවේදනීය සිදුවීම් වාර්තා කර තිබු ආකාරය ජනතාව වෙත ගෙන ආවේ අනේ අපොයි යන හැගීමකි. විශේෂයෙන් ෆෙස්බුක් වැනි සමාජ මාධ්‍ය තුළ වගකීමේන් තොරව පුවත් ගෙනහැර දක්වා තිබුණි. ජනතාව වෙත නොපෙන්විය යුතු මළසිරුරු කොටස් වල ඡායාරූප, මියගිය කුඩා දරුවන්ගේ ඡායාරූප ආදිය ඉදිරිපත් කරමින් ඒවාට වැරදි අර්ථ නිරූපණ සපයමින් වගකීම් විරහිත පුරවැසි මාධ්‍යකරණය නිරත වූ ආකාරයක් ද දැකිය හැකි විය. එවැනි භාවාතිශ පුවත් ඉදිරිපත් කිරීම පුවත් වාර්තාකරණයේ රීති බිඳීමකි. එමගින් ජනතාව වෙත ඇති කෙරෙන සෘණාත්මක ආකල්ප යළි බිඳ දැමීම පහසු කාර්යයක් නොවේ. විශේෂයෙන් ආපදා තත්ත්වයකින් පසු ජනජීවිතය නැවත යථා තත්ත්වයට පත් වීම කෙරෙහි ඉන් ඇති කෙරෙන බලපෑම  සැලකිය යුතු තත්ත්වය පවතී.

ආපදා තත්ත්වයකදී  මාධ්‍යයයේ හැසීරීම එම ආපදා සිදුවීම සම්බන්ධ චිත්‍රය ලෝකයාට ගෙන හැර දක්වයි. එය එක් අතකින් එවැනි ආපදා තත්ත්වය කදී හැසිරිය යුත්තේ කෙසේද යන පාඩම උගන්වන අතර ස්වභාවික ආපදා සම්බන්ධව ජනතාවගේ සූදානම ද විමසුමට ලක් කරයි.අරණායක සිද්ධිය හමුවේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය ඉතාමත් ඉහළ හෝ ඉතාමත්  පහළ තලයක තිබූ බවට විග්‍රහ කිරීම විද්‍යාත්මක නොවේ. ආපදා වාර්තාකරණයේ පිළිබඳ ව හා පශ්චාත් ආපදා වාර්තාකරණය පිළිබඳ ව මාධ්‍යවේදීන්ට විද්‍යාත්මක දැනුමත් ලබා දීම පිළිබඳ අදාළ අංශ අවබෝධයෙන් කටයුතු කල යුතුය.   එල්.පී තිලකරත්නදිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරීකෑගල්ල

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.