• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රාජ්‍ය අංශයේ ඵලදායීතා සම්මානය සෙවනගලට

sewanagala ga officeසෙවනගල ගිනියම්ය. සුළගත් ගිනි පිඹිණු සේය. අවුවට තරි ගැහෙමින් කාෂ්ටක පොළොව කැණ ජීවිතය සොයන දුගී මිනිසුන් සහිත ගොවි බිම් පසුබිමෙහි එකපැහැර දිවෙන මග පීත්ත පටියක් සේ ඇදී ඈතින් නොපෙනී යයි. ඒ අසරණ මනුෂ්‍යන්ගේ ජීවීතවලට ගෞරවයක් සහිත සේවයක් ලබා දෙමින් ඇති එක්තරා පහන් පියසක් මේ මග දී හමුවේ. එය නමින් සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යි.

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ව තිබු ග්‍රාමසේවා වසම් 14 ක් ඇතුළත් කර ගනිමින් සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආරම්භ කළේ වර්ෂ 1999 මාර්තු මස තිස් එක්වන දිනය. එදා එය ආරම්භ කරන ලද්දේ සෙවණගල සීනි සමාගමට අයත් ගබඩා සංකීර්ණ ගොඩනැගිල්ලක් තුළදී ය. කාර්ය මණ්ඩලයට අයත් වූයේ ලිපිකරුවන් දෙදෙනෙකු පමණි. ප්‍රාදේශීය ලේකම්වරයෙක්  සිටියේ නැත. වැඩ බලන ලද්දේ තණමල්විල ප්‍රාදේශීය ලේකම්වරයා විසිනි. අවුරුදු 17 ට පසු සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටේ රාජ්‍ය සේවයේ  ආයතනික යථාර්ථය වෙනස් කරමින් රාජ්‍ය සේවයට අර්ථයක් එක්කළ උත්තම ආදර්ශය බවට පත් වී තිබේ.

ඒ  වසර 2016 ජාතික ඵලදායීතා සම්මානයෙන් පිදුම් ලබමිනි. අප මේ යමින් ඒ සිටින්නේ පහන් බිම සොයාගෙනය.සෙවනගල අයත්වන්නේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයටය. සෙනවගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වපසරිය  වර්ග කිලෝමීටර  223කි . ඊට අයත්   ග්‍රාම සේවා වසම් සංඛ්‍යාව 14කි. ජීවත්වන මිනිසුන් ප්‍රමාණය 53343 කි.  මේ  ගම්වල ජීවත්වන බහුතරයක් ගොවියෝ ය. සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජාතික ඵලදායීතා සම්මානයෙන් පිදුම් ලබන්නේ මෙම ජනතාවගේ ද සහභාගීත්වය සහිතව, ලැබෙන සම්පත් උපරිමයෙන් භාවිතා කර ගනිමින් තිරසාර සංවර්ධනයක් ඇති කරලීම සඳහා රාජ්‍ය සේවය උපරිම ලෙස කැප කිරීම නිසාය.

සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නුදුරින් පෙනේ. ඒ දැකුම පවා සිත් පුරවාලයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳ බොහෝවිට නැගෙන ප්‍රතිචාර පැහැපත් නොවේ. බොහෝ දෙනෙකු රාජ්‍ය සේවය පිළිබද දරනා ආකල්පයත් සුභවාදී නොවේ. ඒ දුර්වරණ ආකල්ප වෙනස් කර මනා කලමනාකරණයකින් ගුණාත්මක සේවාවක් සපයා රාජ්‍ය සේවය උත්කර්ෂයට නැංවූ මේ භූමිය ඉතිහාසයේ සොඳුරු සලකුණක් තබා ඇතැයි හැගේ. “සෙවනගල ජීවත්වන බහුතරයක් බොහොම කටුක ජීවත ගත කරන මිනිස්සු. ඔවුන් රාජකාරියක් ඉටු කරගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්නෙ පහසුවෙන් නොවෙයි. අප ඒ බව දන්නවා. අප මුලින්ම කළේ රාජකාරි කටයුත්තක් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන මේ මනුෂ්‍යයන් කාර්යාලය වෙතට පැමිණෙන වාර ගණන අවම කිරීමට අපේ රාජකාරිය කාර්යක්ෂම කිරීමයි.

පිරිවැය මෙන්ම වැය වන කාලය අවම කරමින් අදාළ සේවාව ඉතා කඩිනමින් ඉටු කරදීම සඳහා සේවා පද්ධතියක් මෙම කාර්යාලය තුළ අප ස්ථාපිත කළා...”සෙවනගල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කරන චන්දන ලොකුහේවගේ මහතා අපට කතා කළේය. ඔහු ආදර්ශමත් නායකයෙකුගේ ප්‍රභූ ගුණාංග ප්‍රකට කර ඇති අයුරු සමස්ත පද්ධතිය කලමණාකරණය කර ඇති ආකාරයෙන් පෙනේ. මෙම ජයග්‍රහණයට හේතුවී ඇත්තේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරදීම සඳහා අනුගමනය කර ඇති  පිළිවෙතය.  ඒ ක්‍රමවේදය ක්‍රියාත්ම වෙමින් ඇති ආකාරය සිත පහන් කරවයි. මුලින්ම කරන්නේ සේවාලාභීන් ලියාපදිංචි කිරීමය. ඒ මෙසේය.සේවාලාභීන් ලියාපදිංචි කිරීමසෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයට සේවා ලබාගැනීම සඳහා පැමිණෙන සේවාලාභීන් ලියාපදිංචි කිරීම ප්‍රථමයෙන්ම සිදු කෙරේ. ලියාපංදිංචි කිරීමේදී ඔවුන්ගේ අවශ්‍යතාවය හඳුනාගනු ලබන අතර, ඒවා පරිගණක ජාලය හරහා අදාළ අංශ හෝ නිලධාරියා වෙත කඩිනමින් යොමු කරයි.sewanagala ga office3

මෙසේ යොමු කරනු ලබන ගැටලු ප්‍රධාන අංශ හතරක් යටතේ ගොනු වේ. එනම් එදිනම ඉටුකල හැකි සේවාවන්, ඉටු කිරීමට නොහැකි සේවාවන්, වෙනත් ආයතනයකට යොමු කළ යුතු ගැටලු සහ භාර ගැනීම් ය. මෙසේ ලියාපදංචි කිරීමෙන්ම එක් පුද්ලයෙක් කී වතාවක් එකම ගැටලුවට කාර්යාලයට පැමිණ තිබේද යන්න නිරීක්ෂණය කළ හැකිය. එමෙන්ම කාර්යාලයට පැමිණෙන සංඛ්‍යාව මෙන්ම වාර ගණන ද අවම කර ගැනීමට මේ නිසා හැකියාව ලැබී තිබිණි.   ලියාපදිංචියේ දී ජාතික හැදුනුම්පත් අංකය හෝ දුරකථන අංකය සටහන් කර ගැනේ. සියලුම පුද්ගලික ලිපිගොණු පවත්නාගෙන යාම, ලිපි බෙදා හැරීම වැනි සියලුම ලිපි ගණුදෙනු සිදු කරනු ලබන්නේ   අන්තර්ජාලය හරහාය. තවද කෙටි පණිවුඩ සේවාව හරහා ආදායම් සහතික නිකුත් කිරීම   සිදු කරනු ලබයි. සෙවනගල මිනිස්සුන්ට දැන් මේ ක්‍රමවේදය හුරුය.  ඔවුහු එහි පහසුව අත්විදිති.මහජන ප්‍රතිචාර ලබා ගැනීමජනතාවගේ ප්‍රතිචාර ලබා ගැනීම සඳහා ද සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  ක්‍රමයක් භාවිතා කරයි.  ජනතාව දක්වන ප්‍රතිචාර ප්‍රාදේශීය ලේකම්වරයාට ඔහුගේ පරිගණකයෙන් නැරඹිය හැකිය.

ඔහුට තම නිලධාරීන්ගේ අඩුපාඩු ඇතිනම් ඒවා හඳුනාගැනීමට ද මෙම ප්‍රතිචාර උපකාරී වේ. මෙම ප්‍රතිචාර සෘජුවම ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවධානයට යොමුවන බව දන්නා ගම්මු  කිව යුතු දේ සෘජුව ප්‍රතිචාර දක්වයි. මේ නිසාම නිලධාරීන් තුළ ද ස්වයං විනයක් ඇති වී තිබේ.තොරතුරු ජාලයක් පවත්වාගෙන යාමසෙවනගල ප්‍රාදේශීය ලේකම් කර්යාලය සිය බල ප්‍රදේශයට අයත් සියලුම  ග්‍රාමසේවා කොට්ඨාසයන්හි තොරතුරු ඇතුළත් තොරතුරු ජාලයක් පවත්වාගෙන යයි.   සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් විහාරස්ථාන පිළිබඳ තොරතුරු, ආබාධිත සහිත පුද්ගලයන් පිළිබඳ තොරතුරු, ස්ථාවර වත්කම්, පෙර පාසල්, නිවාඩු ලේඛන, ලේඛනාගාරය, වකුගඩු රෝගීන් පිළිබඳ තොරතුරු, විදෙස්ගත වූවන්ගේ තොරතුරු ආදිය පිළිබඳ සියලු දත්ත මේ ගොනුවේ වේ. එමෙන්ම දිවිනැගුම නිවාස ණය ව්‍යාපෘති, දේශීය වෛද්‍යවරු, ස්වයංරැකියාලාභීන් පිළිබඳ විස්තර, ප්‍රජාමූල සංවිධාන, ඉඩම් දත්ත ආදී වූ තොරතුරු හි වාර්තා කඩිනමින් ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අත්‍යවශ්‍ය අනෙකුත් දත්ත පද්ධති ද ක්‍රියාත්මක කෙරේ.  අගය එකතු කිරීමඅගය එකතු කිරීම් යටතේ බදාදා දිනයේදී සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන සේවාලාභීන්ට සංග්‍රහයක් පවත්වනු ලබයි. මේ සඳහා නිලධාරියෙකුගේ උපන් දිනයක් හෝ ඔවුන්ගේ පවුලේ අයෙකුගේ උපන් දිනයක් නිමිති කරගෙන අදාල නිලධාරියා විසින් ස්වකැමැත්තෙන් පිරිවැය දරනු ලැබේ. sewanagala ga office.4

එමෙන්ම වාහන ආදායම් බලපත්‍රලාභීන්ට දින සිහි කරමින් ස්ටිකර් ලබා දීම, වැඩිහිටි හැදුනම්පත් හිමි අයට හැදුනුම්පත් කවර ලබාදීම සිදු කරයි. ප්‍රදේශයේ යුගදිවියට පා තබන යුවති පතින්ට යුගදිවි උපදෙස් සහ සීඩී තැටියක් ලබාදීම සහ විවාහ සහතික මංජුසාවක් පිරිනැමීම, නිමාවූ සේවාවන් පිළිබඳ කෙටිපණිවුඩ මගින් දැනුවත් කිරීම   අගය එකතු කිරීම් වශයෙන්  සිදු කරනු ලැබේ.ඊට අමතරව චෙක් පත් භාවිතයට උපදෙස් ලබාදීම, පුස්තකාල සේවා පරිහරණය කිරීම, පටිගතකල සේවා සන්නිවේදනය පිළිබඳ උපදෙස් ලබාදීම ආදී කාරණා සම්බන්ධයෙන් දැනුවත් කිරීම් ද සිදු කරයි. සමාජ වගකීම් ඉටු කිරීමසමාජ වගකීම් ඉටු කිරීම යටතේ වැඩසටහන් ගණනාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මකය.   ඒ යටතේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකරදීම, ක්‍රීඩා හා පරිගණක ඒකක පිහිටුවමින් සේවා සැපයීම, පාසල් ළමුන් සඳහා නිල ඇදුම් ලබාදීම, ළමුන් සඳහා උපන්දින තිළිණ ලබාදීම, හරිත නගර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැනි සත්කාරක සේවාවන් ද සිදු කරනු ලැබේ. එමෙන්ම නෑගම් යාම යටතේ අසරණවූවන්ට සහණ සැලසීම සහ සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක  කිරීම ඔවුහු ස්වකීය වගකීම් කොටගෙන සිටිති.ඵලදායිතා සංකල්පය ක්‍රියාත්මක කිරීමෙන් ලබා ඇති ප්‍රතිලාභතාක්ෂණයට යොමුවීම  හරහා රාජකාරී ක්‍රියාවලිය සරල කර ගැනීමට හැකියාව ලැබී තිබේ. ඉන් නාස්තිය සහ පිරිවැය අවම කර ගැනීමට ද සෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හැකිවී ඇත. 

ඒ අනුව 2015 දී 84. 92%ක් ව තිබූ සේවා ප්‍රගතිය 2016 දෙසැම්බර් මස වන විට 98.63% ක් ලෙස ඉහළට ගොස් තිබේ. අනවශ්‍ය කඩදාසි භාවිතය අවම කරමින් තාක්ෂණික ක්‍රියාවලිය හරහා ලිපි හුවමාරු කිරීම නිසා   ලිපි ද්‍රව්‍ය සඳහා වූ පිරිවැය අඩු වී තිබේ.  විදුලි පරිභෝජනය සහ ජල පරිභෝජනය ද වාර්ෂිකය අවම කර ගැනීමට හැකිවී ඇත.  ඒ අනුව වර්ෂ 2015 සිට වර්ෂ 2016 ජූලි දක්වා මහජනතාවගේ සහ නිලධාරීන්ගේ දායකත්වය මත සිදු කල විවිධ ව්‍යාපෘති මගින් රුපියල් 7041487ක ප්‍රාග්ධන වියදමක් රජයට ඉතිරි කර දීමට සෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හැකියාව ලැබී ඇත.සියවසේ රාජ්‍ය සේවයේ ආදර්ශය සෙවනගලින් මතුවන අයුරු අපව පුරවාලයි. කොළඹ රජයේ කාර්යාලවල අන්තර්ජාල අවභාවිත වෙමින් තිබෙද්දී සෙවනගල ගැමියෝ එහි ප්‍රතිලාභ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා භුක්ති විදිති. තාක්ෂණික දැනුම මෙන්ම පරිගණක සාක්ෂරතාවය සහිත සමාජ ඇති බව කියන ගම්පහ, කලුතර, නුවර රාජ්‍ය සේවකයෝ  හාෆ් ෂීට්වල කුරුටු ගාන විට සෙවනගල ගැමියෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග විද්‍යුත් ලිපි ගනුදෙණු කරති.

sewanagala ga office.2

රුපියල් මිලියන ගණනින් පිරිවැය කපා හැර ජාතික ධනය අවම කරනු සේම මනුෂ්‍යන්ට ප්‍රිය උපදවන සේවාවක් ලබාදීමට සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  උස් මිනිස්සු කටයුතු කරමින් සිටිති.සෙවනගලින් අවසාන වශයෙන් රටට ලැබෙන උත්තුංග පනිවුඩය එම ආයතනය ක්‍රියාත්මක කරන ඵලදායී කළමනාකරණ ප්‍රතිපත්තියට ලඝු වන බව හෝ ඒ සඳහා සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලද ජාතික ඵලදායීතා සම්මානයට ලඝුවන බව අපට හැගෙන්නේ  නැත. ඉන් කියැවෙන්නේ යහපත් කළමනාකරුවෙකුගේ  උත්තුංග ආකල්පවලට යා හැකි දුරය. රටක් දියුණු කිරීමට මහා ඔළුගෙඩි ගණනක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ජාතියක් ලෙස කල්පනා කරමින් ස්වකීය සමූහයා මෙහෙයවිය හැකි දැක්මක් සහිත නිර්මාණශීලී මනුෂ්‍යයන් අතලොස්සක් පමණි. සෙවනගලින් මතු වී ඇත්තේ එවැනි එක් ආදර්ශයකි. ඒ ආදර්ශය පවා ජාතියක් ලෙස අපව ජීවත් කිරීමට බලාපොරොත්තු ඇති කරවයි.

 

කුමාරි තල්පාවිල

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.