මුහුදු මට්ටමෙන් ඉතාමත් පහළ ස්ථානයක පිහිටි, අධික ලුණු සාන්ද්‍රණයකින් යුත් කිසිම ජීවියෙක් නැති මුහුද මළ මුහුද ලෙස හැදින්වේ.
ඒත් පුදුමයට කාරණයක් වන්නේ පොළොවේ වෙන කිසිම තැනක නැති ශරීරයට සුවය ගෙන දෙන ජලය මෙහි තිබීමයි. මීට වසර සිය ගණනකට පෙර මිනිසුන් මෙම මුහුද දුගඳ මුහුද, යක්ෂයාගේ මුහුද සහ තාර විල යන නම්වලින් හඳුන්වනු ලැබුවා. බයිබලයේ මෙය හඳුන්වන් ලැබූයේ, ලුණු මුහුද හා අරබා නිම්නයේ පිහිටි මුහුද ලෙසයි. (උත්පත්ති 14:3; යෝෂුවා 3:16) බයිබලයේ සඳහන් වන සොදොම් සහ ගොමෝරා නගර මෙම මුහුදට යට වී ඇති බව සමහර බයිබල් විශාරදයින් පවසනවා.
සොදොම්හි මුහුද ලෙස මෙය හඳුන්වන්නේ ඒ නිසයි.—2 පේතෘස් 2:6, 7.මෙය හැඳින්වීමට භාවිත කරන සමහර නම් නිසා එම ස්ථානය එතරම් ප්‍රියජනක ස්ථානයක් නොවේ කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් මළ මුහුද නැත්නම් ලුණු මුහුද ලෙස හඳුන්වන මෙම ස්ථානයට අද දහස් ගණන් අය යන්න පුරුදු වෙලා තිබෙනවා. කෙසේ නමුත් මෙහි තිබෙන්නේ අධික ලවණ සාන්ද්‍රණයක්. ඊට හේතුව කුමක්ද? ඒ නිසා මෙහි කිසිම ජීවියෙක් වෙසෙන්නේ නැද්ද? එහි ජලයේ යම් ඖෂධීය ගුණයක් ඇද්ද? ලවණ අධික ඇයි? මළ මුහුද පිහිටා තිබෙන්නේ සුවිභේද නිම්නයේ උතුරු ප්‍රදේශයේයි.
මෙම නිම්නය දකුණු දෙසින් නැඟෙනහිර අප්‍රිකාව තෙක් විහිදී යනවා. මළ මුහුද, මුහුදු මට්ටමේ සිට අඩි 1,370ක් පහළින් පිහිටා තිබෙන අතර උතුරු දෙසින් පිහිටි යොර්දාන් ගඟ මේ මුහුදට ගලා එනවා. නැඟෙනහිරින් මෝවබ් කඳුවැටියත් බස්නාහිරින් යූදා කඳුවැටිත් මෙය වට කරගෙන සිටිනවා.
මෙහි අධික ලුණු සාන්ද්‍රණයක් පැවතීමට හේතුව කුමක්ද?
යොර්දාන් ගඟ ඇතුළු වෙනත් ඇළ දොළ ගංගා මෙම මුහුදට ගලා ඒම නිසා එම ජලයේ අඩංගු මැග්නීසියම්, සෝඩියම් හා කැල්සියම් ක්ලෝරයිඩ් මෙම මුහුදට එක් වෙනවා. ගණන් බලා තිබෙන ආකාරයට සෑම අවුරුද්දක ම යොර්දාන් ගඟෙන් ගලා එන ජලයේ පමණක් ලුණු ප්‍රමාණය ටොන් 8,50,000ක් පමණ වෙනවා. මෙම මුහුද පොළොවේ පහත් ම ස්ථානයක පිහිටා තිබෙන නිසා ජලය වෙනත් ස්ථානයකට ගලා බසින්නේ නැහැ. මෙහි ජලය අඩු වන්නේ වාෂ්ප වීමෙන් පමණයි.
උෂ්ණත්වය අධික දිනවල ජලය ටොන් මිලියන හතක් පමණ දිනකට වාෂ්ප වන බව ගණන් බලා තිබෙනවා. මේ හේතුව නිසා ජල පරිමාව ඉහළ යන්නේ නැහැ. ජලය වාෂ්ප වී ගියත් එහි ලවණ හා ඛනිජ ඉතිරි වෙනවා. ලොව වැඩිම ලවණ ගතියකින් යුත් මුහුද මෙය වීමට හේතුව එයයි. මෙම මුහුදේ ලවණ සාන්ද්‍රණය සියයට 30ක් පමණ වන අතර එය සාගරයේ ලවණ සාන්ද්‍රණයට වඩා කිහිප වාරයකින් වැඩියි. බොහෝ කාලයකට පෙර සිට ම මිනිසුන්ගේ උනන්දුව මෙම මුහුදේ කෙරෙහි යොමු වී තිබෙන්නේ එහි ඇති සුවිශේෂී ලක්ෂණ නිසායි. ග්‍රීක දාර්ශනිකයෙක් වූ ඇරිස්ටෝටල්ට ආරංචි වූයේ “මෙය අධික ලවණ සාන්ද්‍රණයකින් යුත් නිසා කිසිම මත්ස්‍යයෙකුට එහි ජීවත් විය නොහැකි” බවයි. මෙහි ලවණ සාන්ද්‍රණය අධික නිසා ඕනෑම දෙයක් පාවීමට තිබෙන හැකියාව වැඩියි. ඒ නිසා පිහිනීමට නොහැකි කෙනෙකුට වුණත් මුහුද මතුපිට පාවෙමින් සිටිය හැකියි. මෙය සත්‍යයක්ද කියා ඔප්පු කර ගැනීමට රෝම ජෙනරාල් වෙස්පේසියන් ඔහුගේ සිරකරුවන්ව මළ මුහුදට හෙළූ බව යුදෙව් ඉතිහාසඥයෙක් වූ ෆේලේවියස් ජොසීෆස් වාර්තා කරනවා.කිසිම ජීවියෙකුට ජීවත් විය නොහැකි මෙවැනි මුහුදක ඖෂධීය ගුණයක් තිබෙනවා කියා ඔබ සිතනවාද?
ඖෂධීය ගුණයක් තිබෙනවාද?
මධ්‍යකාලීන යුගයේ ජීවත් වූ සංචාරකයින් මෙම මළ මුහුද කිසිම මත්ස්‍යයෙක්වත් එහි අවට ප්‍රදේශය කිසිම පක්ෂියෙක්වත් ගස් කොළන්වත් නැති තැනක් ලෙස හැඳින්වූවා. ඔවුන් සිතුවේ මළ මුහුද අවටින් හමන දුගඳ වාතය පවා විෂ සහිතයි කියායි. මෙම හේතු නිසා එම මුහුද මළ මුහුද කියා හැඳින්වූවා. මෙම ජලයෙහි කිසිම ජීවියෙකුට ජීවත් වෙන්න බැහැ. ඊට හේතුව එහි ඇති අධික ලවණ ගතියයි. නමුත් ඕනෑම තත්වයකට ඔරොත්තු දිය හැකි බැක්ටීරියාවන් පමණක් මෙහි සිටිනවා. මෙම මුහුදට වෙනත් ස්ථානවලින් ගසාගෙන එන මාළුන්ට නම් අත්වෙන්නේ දුක්ඛිත අවසානයක්!
මළ මුහුදේ තත්ත්වය එසේවුවත් එහි අවට පරිසරය නම් ඊට වඩා හාත්පසින්ම වෙනස්. මෙහි අවට ගස් කොළන්වලින් ගහනව නොපැවතුණත් තැනින් තැන සුන්දර දිය ඇළි, විවිධ ගස්වැල් දැකිය හැකියි. එමෙන් ම මෙහි විවිධ වන සතුන්වද දැකගන්න පුළුවන්. මුහුද අවට ප්‍රදේශයේ ක්ෂීරපායි ගණයට අයත් සත්ත්ව විශේෂ 24ක් වෙසෙනවා. සෑන්ඩ් කැට් නම් බළල් විශේෂයද, වෘකයන් හා කඳු එළුවන් මේ අතරට එක් වෙනවා. එමෙන් ම මෙහි මිරිදිය ජලය ඇති තැන්වල විවිධ මත්ස්‍ය වර්ගද ඒ අවට උභය ජීවීන් හා උරගයින්ද දැකගත හැකියි. මළ මුහුද පිහිටා තිබෙන්නේ සංචාරක කුරුල්ලන්ගේ ගමන් මාර්ගයේ නිසා කළු මානාවා, සුදු මානාවා සහ ගිජුළිහිණින් ඇතුළු කුරුළු විශේෂ 90කට වඩා වැඩි ගණනක් මෙහි පැමිණෙන බව සොයාගෙන තිබෙනවා.
මෙම ජලය මිනිස් සිරුරට හිතකරද?
මෙම ජලයේ තිබෙන ඖෂධීය ගුණය නිසා අතීතයේ සිටි සමහර අය එම ජලය පානය කළ බව කියැවෙනවා. නමුත් අද නම් එය අනුමත කරන්නේ නැහැ. මෙම ජලය සමට ඉතාමත් හිතකර බව නම් පිළිගන්නවා. මුහුදු මට්ටමේ සිට ඉතාමත් පහළින් මෙය පිහිටා තිබෙන නිසා වෙනත් තැන්වලට වඩා මෙහි වාතයේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණයද වැඩියි. එමෙන් ම වාතයේ අඩංගු බ්‍රෝමයිඩ් ප්‍රමාණය වැඩි නිසා එය මනසටත් ශරීරයටත් සුවය ලබා දෙනවා. එමෙන් ම මේ අවට තිබෙන අධික ඛනිජ ප්‍රමාණයකින් යුත් කලු පැහැති මඩ සහ උණුදිය උල්පත් සමේ රෝගවලට හා ආතරයිටිස් රෝගයට හොඳ ප්‍රතිකාරයක් ලෙස සැලකෙනවා. තවදුරටත් මේ අවට වැවෙන බෝල්සම් නම් ශාකයේ කොටස් ඖෂධවලටත් රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිපදවීමටත් භාවිත කරනවා.
බිටුමන් ගැන අසා තිබෙනවාද?
මුහුදු පතුළෙන් විටින් විට ඉහළට බිටුමන් ලෙස හඳුන්වන තාර වර්ගයක් මතු වෙනවා. වර්ෂ 1834දී කිලෝග්‍රෑම් 2,700ක් පමණ බරින් යුත් තාර කුට්ටියක් ජලය මතුපිට පාවූ බව 1905දී පළ වූ එක් සඟරාවක සඳහන් වුණා. මේවා මිනිසුන් භාවිත කළ මුල්ම තාර වර්ගයයි. සමහර මිනිසුන් සිතුවේ මුහුදු පතුළේ සිදු වන භූමිකම්පා නිසා මෙම තාර කුට්ටි කැඩී ජලය මතුපිට පාවෙනවා කියායි. නමුත් මුහුදු පතුළේ තිබෙන පැළීම් තුළින් පොළොව අභ්‍යන්තරයේ තිබෙන මෙම තාර ලවණ සමඟ මිශ්‍ර වී මුහුදු පතුළට පැමිණ එහි තිබෙන ලවණ දියවීමෙන් පසු මෙම තාර ජලය මතුපිට පා වෙනවා විය හැකියි.—එම සඟරාව The Biblical World. වසර සිය ගණනක් තිස්සේ මෙම තාර වර්ගය විවිධ දේවල් සඳහා යොදාගනු ලබනවා. බෝට්ටුවල ආලේප කිරීමට, ඉදි කිරීමේ කාර්යයන් සඳහා මෙන්ම කෘමීන් පලවාහැරීම සඳහාත් භාවිත කරනවා. ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේ මැදභාගයේදී පමණ ඊජිප්තු ජාතිකයින් මේවා මළ සිරුරු කල් තබාගන්න භාවිත කළ බවට විශ්වාසයක් තිබෙනවා. මේ කාලයේදී මළ මුහුද ආශ්‍රිතව වාසය කළ නැබටියන්වරුන් ලෙස හඳුන්වනු ලැබූ පිරිසක් මෙම තාර ඊජිප්තුවට ගෙන ගොස් ඒවා විකුණනු ලැබුවා. මළ මුහුද මුහුදු මට්ටමෙන් ඉතාමත් පහළ ස්ථානයක පිහිටි, අධික ලුණු සාන්ද්‍රණයකින් යුත්, කිසිම ජීවියෙක් නැති තැනක් වනවා මෙන්ම මිහිමඬලේ තිබෙන අද්විතීය ස්ථානයන් අතරින් එකක් ද වේ!