• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මුහුදු පත්ලේ පාරාදීසය – මහා බාධක කොරල්පරය

sea2017වෙහෙස අඩුවක් නැති මේ ජීවිතේ ලැබෙන පුංචි විවේකයකදීත් ගොඩක් දෙනා මුහුදු වෙරළට යන්න කැමැත්තක් දක්වනවා.




වෙරළේ ඇවිදිමින් මුහුදු රළ පාගන්න, අනන්තයට දිවෙන සාගරයේ ගිලෙන හැන්දෑ ඉර දිහා බලන් ඉන්න, ගමන් වෙහෙස නිවා ගන්න හැමෝම කැමතියි. ඒ වගේ මොහොතවල් ඕනෑ තරම් ඔබේ ජීවිතයෙත් තියෙන්න ඇති. ඒ අපි පිටින් දකින සුන්දරත්වය; මුහුදු පතුලෙ ඊටත් වඩා සුන්දර, අපූරු රහස් සැඟවිලා තියෙනවා. කොරල්පර කියන්නෙත් ඒ වගේ අපූරු නිර්මාණයක්.





සාගර ජීවී විශේෂ 25%කට පමණ වාසස්ථාන සපයන, පුළුල් ජෛව විවිධත්වයක් ඇති, සොබාදහමේ තවත් සුන්දර නිමැවුමක් වුණු කොරල්පර තුළ ප්‍රධාන රසායනික සංඝටකය ලෙස කැල්සියම් කාබනේට් (CaCO3) අන්තර්ගතයි. සජීවී ව්‍යුහයක් වන කොරල් නිර්මාණය වෙන්නේ සාගර පත්ලේ වෙසෙන එකයිනෝඩමේටාවන් සහ බුහුබාවන් වැනි කුඩා ජීවීන් තම ආරක්ෂාවට ස්‍රාවය කරන ද්‍රව්‍යවලින්. වැඩිපුරම කොරල්පර සෑදීමට දායක වෙන සත්ත්ව කාණ්ඩ ලෙස මුහුදු මල සහ කොරල් බුහුබාවා දක්වන්න පුළුවන්.


ලොව විශාලත ම කොරල්පර පද්ධතිය ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය යි. සොබාදහමේ අපූර්වත්වය කැටිකර ගත්, සංචාරක ආකර්ෂණය අතින් ඉතා ඉහළ මේ සුන්දර නිර්මාණය අද වන විට ගෝලීය උණුසුම හේතුවෙන් අනතුරුදායක මට්ටමක තමයි පවතින්නේ.



sea2017 11

 


ලුවී ඩි බොව්ගන්විල් නමැති ප්‍රංශ ජාතිකයා 1768 වර්ෂයේ ගවේෂණයක් අතරතුරදී මහා බාධක කොරල්පරය සොයාගත්තත් ප්‍රංශයට මෙහි හිමිකාරීත්වයක් ලැබුණෙ නැහැ. සංචාරකයින් අතර බොහෝ ජනප්‍රිය මෙය ආශ්‍රිතව වසර 40,000ක පමණ කාලයක සිට ආදිවාසී ඕස්ට්‍රේලියානුවෝ ජීවත් වෙලා තියෙනවා. ඒ නිසා මහා බාධක කොරල්පරය ඕස්ට්‍රේලියාවේ සංස්කෘතික වටිනාකමක් ද සහිත ස්වභාවික සම්පතක් ලෙස සැලකෙනවා.





ලොව විශාලත ම කොරල්පර පද්ධතිය ලෙස සැලකෙන මහා බාධක කොරල්පරය තනි කොරල්පර 2900කින් සහ දූපත් 900කින් සමන්විතයි. ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර 344,400ක් පුරා පැතිර ඇති මෙහි කුඩා කොරල් බහුපාදීන් බිලියන ගණනක් ජීවත් වෙනවා. මේ අපූරු ජෛව විවිධත්වය නිසාම මහා බාධක කොරල්පරය 1981දී ලෝක උරුමයක් ලෙසත් නම් කෙරුණා. මෙය ජෛව ප්‍රදේශ 70කට බෙදා තියෙනවා. එයින් 30ක් කොරල්පර සහිත ජෛව ප්‍රදේශ වන අතර මෙහි උතුරු කොටසේ ඇති ඩෙල්ටැයික් කොරල් සහ රිබන් කොරල් මහා බාධක කොරල්පරයේ වෙනක් කිසිදු ස්ථානයක දකින්නට ලැබෙන්නේ නැහැ.




කොරල්පරයක විෂ්කම්භය සෙන්ටිමීටර එකකින් වර්ධනය වීමටත්, සිරස්ව සෙන්ටිමිටර 25ක් වර්ධනය වීමටත් වසරක් ගත වෙනවා. මොවුන්ට මුහුදු පත්ලේ සිට මීටර 150ක උසක් දක්වා පමණක් වර්ධනය විය හැකි අතර වර්ධන ප්‍රමාණය එක් එක් ජීවී විශේෂයට අවශ්‍ය හිරු එළියේ ප්‍රමාණය මත තීරණය වෙනවා. කිසිවිටෙක මේ ජීවී විශේෂවලට මුහුදු මට්ටම තෙක් වර්ධනය විය නොහැකියි.sea52017




මහා බාධක කොරල්පරයේ, වඳ වී යා හැකි යැයි නම් කළ ජීවින් පවා ජීවත් වෙනවා. සමහර ජීවීන් මෙම පද්ධතියටම පමණක් ආවේණික වන අතර ඩොල්ෆින්, තල්මසුන් සහ මුහුදු ඌරන් විශේෂ 30ක් පමණ මේ පරිසර පද්ධතියෙන් හඳුනාගෙන තියෙනවා. මත්ස්‍ය විශේෂ 1500කට අධික සංඛ්‍යාවක්ද, මුහුදු සර්ප විශේෂ 17ක්ද මේ ආශ්‍රිතව ජීවත් වෙන අතර මුහුදු කැස්බෑවන් විශේෂ 6ක් අභිජනනය සඳහා මෙහි පැමිණෙනවා.





සාගරයේ වෙසෙන කිඹුලන් මෙම කොරල්පරය ආශ්‍රිත ව පිහිටි කඩොලාන සහ ලුණු ගොහොරු අසළ ජීවත් වන අතර මොලුස්කාවන් විශේෂ 5000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. වෙරළබඩ පක්ෂි විශේෂ 215ක් මහා බාධක කොරල්පරය ආශ්‍රිත පෙදෙසට පැමිණෙන අතර දැනට ශාක විශේෂ 2195ක් වාර්තා වී තිබෙනවා. මුහුදු ඇල්ගී විශේෂ 500ක්ද මීට ඇතුළත්.
 
sea 2017 5 26







ඕස්ට්‍රේලියානු රජය 1975 දී “මහා බාධක කොරල්පර සාගර උයන” ස්ථාපිත කළ අතර එමඟින් ඒ ආශ්‍රිත ව කෙරෙන ඇතැම් මිනිස් ක්‍රියාකාරකම් තහනම් කිරීම සහ සීමා පැනවීම සිදු කරනු ලැබුවා. නමුත් මෙම උයනට සම්පූර්ණ මහා බාධක කොරල්පරය අයත් වන්නේ නැහැ.


1999දී ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව පරිසර සහ ජෛව විවිධත්ව සංරක්ෂණ පනත සම්මත කළා. සාගර ජෛව ප්‍රදේශ පාලන ක්‍රියාවලිය ක්‍රියාත්මක කෙරුණේ මේ පනතෙන් පසුවයි. හැම වසර පහකට වතාවක්ම මහා බාධක කොරල්පරය පිළිබඳ නිරීක්ෂණ අඩංගු විමර්ෂණ වාර්තාවක් ප්‍රසිද්ධ කළ යුතුයි. කොරල්පරයේ ස්වස්ථතාව, කළමනාකරණය සහ පාරිසරික බලපෑම් මේ විමර්ශනය තුළ අඩංගු විය යුතුයි.






ගෝලීය උණුසුම වැඩි වීම නිසා




sea 2017 5 26 11
කාලගුණික වෙනස්කම් හේතුවෙන් අද වන විට බොහොමයක් කොරල්පර නිර්වර්ණ වෙලා තියෙනවා. කොරල්පරයකට සිදුවිය හැකි විශාල ම හානිය වෙන්නෙ ඒවායේ වර්ණය ඉවත් වීමයි. මෙයට ප්‍රධාන ම බලපාන්නෙ දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුමයි.


ගෝලීය උණුසුම ඉහළ යාමත් එක්ක ම මුහුදු ජලයේ උෂ්ණත්වයත් ඉහළ යනවා. කොරල්පර නිර්වර්ණ වීමට ප්‍රධානවම බලපාන්නේ මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාමයි. වර්තමානයේදි කොරල් නිර්වර්ණ වීම නිසා මහා බාධක කොරල්පරයේ 93%ක්ම හානි වෙලා තියෙනවා. කොරල්පරවලට දීප්තිමත් වර්ණයන් ලබා දෙන, ඒ තුළම ජීවත් වන ඇල්ගී වර්ගය මේ අධික උෂ්ණත්වය නිසා විනාශ වෙලා යනවා. මේ ඇල්ගී වර්ගය නැතුව කොරල් පාරදෘශ්‍ය ස්වභාවයට පත් වෙනවා වගේම ඒවායේ සුදු පැහැති සැකිල්ලත් නිරාවරණය වෙනවා.



මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණොත් කොරල් මරණයට පත් වෙනවා. මෙය වළක්වා ගන්න නම් සාමාන්‍ය තත්ත්ව යටතට මේ පද්ධතිය ගෙන ආ යුතුයි. පෙර තිබූ පරිදි කොරල් නිර්මාණය වෙන්න බොහෝ කාලයක් ගත වෙනවා. එය වසර සිය ගණනක් විය හැකියි.



මහා බාධක කොරල්පරය කිසි දිනෙක පෙර තිබූ තත්ත්වයට පත් නොවේවි කියන මතය තමයි දැනට විද්වතුන් ප්‍රකාශ කරන්නෝ. ඕස්ට්‍රේලියානු රජය, ඇමරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පාලක මණ්ඩලය සමඟ එක්ව මේ ගැටලුවට විසඳුම් සෙවීම ආරම්භ කරලා තියෙනවා.





මීට අමතර ව ගොවිතැන් කටයුතු වලදී භාවිත කරන පොහොරවල අඩංගු නයිට්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම් සාගර පරිසර පද්ධතියට නිදහස් වීම නිසා සමහර මුහුදු ඇල්ගී වර්ධනය සීඝ්‍රයෙන් ඉහළ යනවා. ඇල්ගී ප්‍රතිශතය වැඩි වීමත් එක්කම ඔවුන් පරිභෝජනය කරන ඔක්සිජන් ප්‍රමාණයත් වැඩි වෙනවා. මේ හේතුවෙන් අනෙකුත් ජීවීන්ට ස්වසනය කිරීමට ඇති ඔක්සිජන් හිඟ වීම නිසා ඔවුන්ගේ පැවැත්මට මහත් හානියක් සිදු වෙනවා. ඒ වගේම අසිමිතව සිදු කෙරෙන මසුන් ඇල්ලීම නිසා ආහාර දාම අක්‍රමවත් වීමත්, බෝට්ටුවලින් එක්වෙන අපද්‍රව්‍ය නිසා ඒ ආශ්‍රිත පරිසරය දැඩි ලෙස දූෂණය වීමත් සිදු වෙනවා. නැව් අනතුරු, තෙල් කාන්දු වීම් සහ මුහුදු කුණාටුත් මහා බාධක කොරල්පරයේ පැවැත්මට තර්ජනයක් වී තිබෙනවා.




මුහුදු පතුලේ සැඟවුණු පාරාදීසයක් බඳු වූ මේ සොබාදහමේ අපූර්ව නිර්මාණය අද වන විට ලෝකයට අහිමි වෙලා තියෙනවා. ඉහළ ජෛව විවිධත්වයක් පැවතුණු මහා බාධක කොරල්පරයේ විනාශ වීම පරිසර සමතුලිතතාවයට සෘජුවම බලපාන අතර මෙය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ටත් එය සතුටුදායක ආරංචියක් නම් නෙවෙයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.