• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

He president“මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුඑව ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පානදුර නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


මෙම සමුළුව ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක වන “මතින් නිදහස් රටක්” වැඩසටහනට සමඟාමී ව පැවැත්වෙන දිස්ත්‍රික් සමාලෝචන වැඩසටහන් මාලාවේ නව වැනි වැඩසටහනයි.


මත්ද්‍රව්‍ය නිවාරණයට කැපවූ රාජ්‍ය සේවකයන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම සහ පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ නියමුවන්ට නිල ලාංඡන පැළදවීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.


දුම්කොළ සමාගමේ ක්‍රියාකාරකම් නිරීක්ෂණයට හා අධ්‍යයනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටවූ දුම්කොළ අධ්‍යයන කේන්ද්‍රයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම ද මේ හා සමඟාමී ව ජනාධිපතිතුමා අතින් සිදුවිය.


අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු ද, කළුතර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේදී ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව 2017.07.19 වන දින පානදුර නගරසභා ක‍්‍රීඩාංගණයේදී


අද මේ වැඩසටහන දරුවනේ මීට වඩා වෙනස් විදියටයි අපි සංවිධානය කරලා තිබුණේ. මේ අපි මෙවැනි වැඩසටහන් පවත්වන නව වන දිස්ත‍්‍රික්කය. අපි යාපනයෙත් මේ වැඩසටහන කළා. කොළඹත් කළා. මේ නව වන දිස්ත‍්‍රික්කය. අද දවසේ වැඩසටහන වෙනස් කිරීමට අපි තීරණය කළේ, මීට සුළු වෙලාවකට පෙර ඇදහැලුණු මහා වර්ෂාවත් එක්ක. ඒ කෙසේ වෙතත් මේ වැඩසටහනේ තිබෙන්නා වූ ගුණාත්මකභාවය, හරය මේ තුළ බලාපොරොත්තු වන අරමුණු ඉටු කර ගැනීම ඒ කියන කරුණු කිසිසේත් දුර්වල කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ.


මට පෙර කතා කළ හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා සිගරට් පිළිබඳ, දුම්වැටි පිළිබඳව කතා කළා. මතින් තොර නිදහස් රටක් පිළිබඳ ව සංකල්පයත් සමඟ අපි මේ වැඩසටහනට ඔබ සෑම කෙනෙක්ම එක් කරන්නේ අපේ සමාජය තුළ තිබෙන මත්ද්‍රව්‍ය ලෙස හඳුන්වන සියලු මත්ද්‍රව්‍යවලට විරෝධී ජාතික ව්‍යාපාරයක් විදියට වගේම මතින් තොරව සෞඛ්‍ය සම්පන්න, නිදහස්, සතුටින් ජීවත්වන මිනිසුන් ගොඩනැගෙන සමාජයක් බිහි කිරීමේ ඉතාමත්ම පවිත‍්‍ර වූ අරමුණින්.


මත්ද්‍රව්‍ය පිළිබඳ ව කතා කරන විට, අපිට පමණක් නොවෙයි, මත්ද්‍රව්‍ය විරෝධී මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතුවලදි, ලෝකයේ සෑම රටක්ම එම ව්‍යාපාරවලට මුහුණ දෙන නායකයින් ප‍්‍රබල ප‍්‍රශ්නයකට මුහුණ දෙනවා. නායක හාමුදුරුවනේ, ලෝකයේ සෑම රටකම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය කියලා දෙකක් තියනවා. නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය කියලා කියන්නේ ආණ්ඩුවක් විසින් බලපත‍්‍ර දීලා විකුණන ඒවා. නීතිවිරෝධී කියලා කියන්නේ ආණ්ඩුව අනුමැතිය දෙන්නේ නැති, බලපත‍්‍ර දෙන්නේ නැති මත්ද්‍රව්‍ය. කසිප්පු, ගංජා, හසීස්, මරිජුවානා, නාකොටික් අංශවල ඉන්න පොලිස් නිලධාරීන් දන්නවා ඒ අංශ පිළිබඳ ව. මත් පෙති, මත් කුඩු ඊට අද ඇතුළු කරන්න පුළුවන් දුම්කොළ සමඟ බුලත් විටත්. මේ සියල්ල ගත්විට මුළුමහත් මානව සමාජයට බරපතළ අභියෝගයක් තිබෙනවා. ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආණ්ඩු පෙරළනවා. ආණ්ඩු වෙනස් කරනවා. බොහෝ රටවල්වල තමන්ට අනවශ්‍ය දේශපාලන නායකයෝ පන්න ගන්නවා. අවශ්‍ය අය පත් කර ගන්නවා. අපේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තවම එවැනි තත්ත්වයට වර්ධනය වුණේ නැහැ.




මතින් තොර නිදහස් සමාජයක් ගොඩනගන්න, ගෙනියන පුළුල් වැඩපිළිවෙළට සියලු මැති ඇමතිවරු නැත්නම් දේශපාලනඥයින්, සියලු රාජ්‍ය නිලධාරීන් ඒවගේම රාජ්‍ය නොවන ආයතන, දෙමව්පියන්, දරුවන්, ව්‍යාපාරික ක්ෂේත‍්‍රය ඇතුළු මේ සෑම අංශයක්ම. පොලීසිය, සුරාබදු දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු විශේෂයෙන්ම වෛද්‍යවරු, මහජන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, හෙද නිලධාරීන් ඒ සෑම අංශයක්ම මේ සඳහා පුළුල් කැපවීමක් කරනවා.



ඔබ පසුගිය දවස්වල දකින්නට ඇති දැනට මාසයකට විතර කලින් නාකොටික් අංශයේ නිලධාරීන් වැටලීමකට ගිහිල්ලා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන්ට වෙඩි තිබ්බා. එක් නිලධාරියෙක් මිය ගියා. මම ඔහුගේ මළ ගෙදරත් ගියා. නිලධාරීන්ට වෙඩි තබපු අවස්ථාවේ ඒ පාරේ අසල කුඩා කඩයක සිටි කුඩා දරුවන් ඇතුළු ඒ කඩයේ ඒ අවස්ථාවේ සිටි අයටත් වෙඩි වැදුණා. පිළියන්දල ප‍්‍රදේශයේ මගේ මතකයේ හැටියට අවුරුදු 13 ක 14 වගේ ගැහැණු දරුවෙක් ඒ වෙඩි පහරින් මිය ගියා. අවුරුදු 15 ක විතර පිරිමි දරුවටත් වෙඩි වැදුණා. ඒ දරුවා සනීප වුණා. ගාමිණී තිලකසිරි ඇමතිතුමත් එක්ක ගිය සතියේ ඒ දෙමව්පියෝ මාව හම්බ වෙන්න ආවා. ඒ පුංචි දරුවා ඇඳගෙන සිටි ෂර්ට් එකේ පැත්තක් උස්සලා වෙඩි වැදුණු ස්ථානය මට පෙන්නන්න හදන කොට මම කිව්වා, එපා පුතේ මට බලන්න අවශ්‍ය නැහැ කියලා. මට ඒක ඉතාමත්ම සංවේදී වූ අවස්ථාවක් බවට පත් වුණා. මම ඒ දෙමව්පියන්ගෙන් ඇහුවා අද මාව හම්බවෙලා මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ තාත්තා කිව්වා අපේ කඩේටත් වෙඩි වැදුණා. අවුරුදු 14 දුව නැතුව ගියා. මේ පුතා වෙඩි වැදිලා යන්තම් බේරුණා. තව අවුරුදු 05 ක විතර ගෑනු දරුවෙක් ඒත් එක්ක හිටියා. ඒ දරුවත් මාව හම්බ වෙන්න ආපු වෙලාවේ හිටියා. ඒ තාත්තා කිව්වා සර් අපි හොඳටම අසරණ වෙලා ඉන්නේ. අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. වෙඩි වැදිලා කඩෙත් විනාශ වුණා. කඬේ හදා ගන්න ඔළුව උස්සන්න රුපියල් එක්ලක්ෂ පනස් දහක් තියනවා නම් මට ඇති කියලා කිව්වා. එක්ලක්ෂ පනස් දාහ නෙවෙයි මට පොලිස් වාර්තාව ගේන්න කියලා ඒ වෙලාවේ මම ගාමිණී තිලකසිරි ඇමතිතුමාට කිව්වා. මම කිව්වා එක්ලක්ෂ පනස් දාහ නෙවෙයි ඔබේ ව්‍යාපාරය දියුණු කරන්නත් දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් විදියටත් මම ලක්ෂ 25 ක් දෙනවයි කියලා. මම ඒ අවස්ථාවේ ඒ ගැන තීන්දු කරලා ඒ අයට දැනුම් දුන්නා. දරුවනේ, අපි මේ සමාජ ව්‍යසනය පිළිබඳව තේරුම් ගන්නට ඕනෑ. ඇයි අපි මේ දරුවෝ එකතු කරලා මෙහෙම කතා කරන්නේ. වැඩිහිටියෝ හදන්න අමාරුයි දරුවනේ. රටක් දියුණු වෙන්න ඒ රටේ අනාගතය සඳහා දරුවන් හැදීමයි පහසු වෙන්නේ. එය පහසු කාර්යයක් නොවෙයි. ඒත් අප ප‍්‍රමුඛතාවය දිය යුත්තේ දරුවන් හදන්නයි. අද ලෝකයේ අනික් රටවල්වල වගේම අපේ රටේත් දවසකට උපදින සංඛ්‍යාව වගේ තුනෙන් එකක් මිය යනවා. මිය යන අය නම් පේනවා අපිට. මළගෙදරක් තියෙනවා. සුදු කොඩි ඇදලා තියෙනවා. පෙට්ටිටයක දමා ගෙන යනවා. අහළ පහළ අය එකතු වෙනවා. ගෙනිහින් පුච්චනවා හරි වළදානවා හරි කරනවා. නමුත් දරු ප‍්‍රසූතියකදි බාහිර සමාජය දැක ගන්නේ නැහැ. මිය යන මිනිස්සු මියයද්දි ඊට වඩා දෙගුණයක් ලෝකේ දවසකට උපදිනවා. මේ මිය යන අයගෙන් වැඩි පිරිසක් මිය යන්නේ නියමිත කලවයස ගිහිල්ලා නොවන බව ඔබ දන්නවා. ඒ මිය යන අයගෙන් වැඩි පිරිසක් අපේ රටේ වගේම ලෝකයේ මිය යන්නේ මත්ද්‍රව්‍ය භාවිතාව නිසා. අරක්කු, සිගරට්, ගංජා, ජිං, බ‍්‍රැන්ඩි, විස්කි, කසිප්පු, මත් පෙති, මත් කුඩු මේ සියල්ලත් සමග. පිළිකා රෝගීන් විදියට විශාල වශයෙන් මිය යනවා. හුණු සහ දුම්කොළ වගේම පුවක් නිසා ඇතිවන පිළිකාවන් නිසාත් මිය යනවා.


මම සෞඛ්‍ය ඇමතිවරයා කාළේ ඔබට මතක ඇති, අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාට පිළිගැන්වුවා දැහැත් විටකට අවශ්‍ය දේවල්. එවැනි රෝග තත්ත්වයට පත් වෙන්න නැතිව පාවිච්චි කළ යුතු දේවල්. අපිට සමාජයක් විදියට මේ තියන අභියෝගය ජයගන්න නීතියෙන්ම කළ හැකි දෙයක් නොවෙයි දරුවනේ. මෙතන ඉන්නවා කළුතර දිස්ත‍්‍රික්කයේ දිසාපතිතුමා ඇතුළු දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්. අධ්‍යාපන ද කෘෂිකර්ම ද සෞඛ්‍ය ද අනිකුත් සියලු ආයතන. ප‍්‍රාදේශීය ලේකම්තුමාලා. අපි මීට පෙර දැන් අවුරුදු දෙකකට කලින් මම ජනාධිපති ධුරයට පත් වුණාට පසුව චක‍්‍රලේඛ එව්වා, මේ සම්බන්ධයෙන් ආයතනික වශයෙන් සකස් කළ යුතු ව්‍යුහයන් පිළිබඳව. සෞඛ්‍ය ඇමතිවරයා කාළේ පටන්ගත්ත මේ වැඩසටහනේ ඒ කාළෙත් මේ අදාළ උපදෙස් හා චක‍්‍රලේඛ රාජ්‍ය ආයතනවලට එව්වා. අපි අදත් කියන්නේ එදා කියපු දේ. සෑම ආයතනයකම මත්ද්‍රව්‍ය නිවාරණය සහ මර්දනය පිළිබඳව කුඩා ඒකකයක් හදන්න. දිසා ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ද අනිකුත් සියලු දෙපාර්තමේන්තු කාර්යාල වගේම පාසැල් ඉතා අත්‍යවශ්‍යයයි. සතියකට දෙකකට සැරයක් රැස් වෙලා සාකච්ඡා කරන්න.


පාසල් දරුවා තමයි සමාජයට ඉතා සංවේදී ලෙස පණිවුඩයක් යවන්න තිබෙන ශක්තිමත්ම පණිවුඩකරුවා සහ බලවේගය වන්නේ. මේ දරුවෝ ගෙදර ඉන්න තාත්තාගේ අම්මාගේ අතේ එල්ලිලා යමක් කියන විට ඔබේ අම්මා තාත්තා ඊට ඇහුම්කන් දෙනවා. ඔබේ අයියා අක්කා ඔබේ වැඩි මහල්ලන් ඔබ යමක් කී විට එයට සවන් දෙනවා. ඒ දෛනික ජීවිතයේ නිවසේ, සමාජය තුළ එදිනෙදා වන කටයුතු ගැන. සමහර විට ඔබේ අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්. ඔබේ සෞඛ්‍ය ප‍්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වෙනත් යම් කාරණයක් වෙන්න පුළුවන්. ඒ සියල්ලේදී ඔබේ හඬට ඔවුන් කන් දෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳවත් ඔබේ පියා, ඔබේ වැඩිමහල් සහෝදරයින්, ඔබේ හිතවතුන්, මිත‍්‍රයින්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් අතේ එල්ලිලා කියන්න ඉල්ලීමක් කරන්න. මේ නරක පුරුද්ද අත් හරින්න කියලා. පවුල් ජීවිත අසාර්ථක වීම, රෝගී වීම ආර්ථිකය බිඳ වැටිලා බරපතළ ආර්ථික අහේනියට පත් වීම, දුප්පත්කම වැඩිවීම සමාජයෙන් කොන් වීම, පෞරුෂත්වය බිඳ වැටීම, සමාජය විසින් ප‍්‍රතික්ෂේප කිරීම, සමාජයේ අපහාසයට උපහාසයට සහ නින්දාවට ලක් වීම මේ සියල්ල මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට අත්විඳින්න සිදුවන දේවල් බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. දැන් පසුගිය මාස කීපය කළුතර දිස්ත‍්‍රික්කය තුළ මේ වැඩසටහන සාර්ථක කරන්න මේ සියලුදෙනා, දිසාපතිතුමා ඇතුළු සෑම කෙනෙක්ම එක් එක් ආයතනික මට්ටමින් කැපවූ බව මා විශ්වාස කරනවා. ඒ නිසා ඒ ගෙනා වැඩපිළිවෙළ අද මේ අවසන් කිරීම නෙවෙයි කරන්නේ. කළුතර දිස්ත‍්‍රික්කයේ මේ මතින් නිදහස් රටක් කියන සංකල්පය ශක්තිමත් කරන්න, සෑම තැනම ජීවත් වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය ඉන් බේරා ගන්නත් ඇබ්බැහි නොවූ අය එයින් ඈත් කරන්නත් ඒ සඳහා, කිසිසේත්ම ලංවීම ඇති නොවීම සඳහා වළක්වා ගැනීම සඳහා අඛණ්ඩව ගෙනියන පුළුල් ජාතික වැඩපිළිවෙළක එක් අවස්ථාවක් අද මේ ක‍්‍රියාත්මක වෙන්නේ.


අපේ රටේ පසුගිය මාස කිහිපය ගත්තත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, මත් පෙති, මත් කුඩු, මරිජුවානා, හසීස් හෙරොයින් නාකොටික් අංශ, පොලීසිය, රේගුව, ත‍්‍රිවිධ හමුදාව සුරාබදු, මේ අංශවලින් විශාල වශයෙන් අත්අඩංගුවට ගත්තා. නමුත් දරුවනේ මේ ඉතාමත් පහත් ව්‍යාපාර කරන අශීලාචාර මිනිසුන් මේ සමාජය සහ මේ මිනිසුන්ගේ ජීවිත විනාශ කරන අය ඔවුන් ඔබේ ජීවිතවලට ආදරයක් නැහැ. ඔවුන් මිනිසුන්ට ආදරය කරන්නේ නැහැ. ඔවුන් ආදරය කරන්නේ සල්ලිවලට. ඔවුන්ට ඕනෑ ධනය. මිනිසුන්ගේ ජීවිතවලට වඩා රුපියල් සතවලට ආදරය කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් අද පාසැල් දරුවන් මේ කටයුතු සඳහා මෙහෙයවනවා. කණගාටුවෙන් වුණත් කියන්නට ඕනෑ ඇතැම් පාසල් දරුවෝ මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්ගේ අතකොළු බවට පත් වෙලා. ඔවුන් විශාල වශයෙන් මුදල් පෙන්වනවා දරුවන්ට. සල්ලි දෙනවා. දීලා ඔවුන්ගේ මත්ද්‍රව්‍ය, මත් කුඩු, මත් පෙති එක් එක් ප‍්‍රදේශවලට ගෙනියන්න පාසල් දරුවන්ට භාර දෙනවා. දැනට මාස දෙකකට කලින් මේ රටේ එක් පාසැලක උසස් පෙළ දරුවෙක් පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඒ දරුවාගේ කලිසමේ පහළ කලිසම ඔබ දන්නවා මහලා තිබෙනවා. ඒ නැම්ම තුළට මත් කුඩු, මත් පෙති දාලා ගෙනිහිල්ලා ඒ දරුවා තැන් තැන්වලට බෙදනවා. එයාට හවසට සල්ලි හම්බ වෙනවා. මම වරින්වර යනවා මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය පුනරුත්ථාපනය කරන කඳවුරුවලට. මම මේ ඉන්න ආදරණීය දෙමව්පියන්ගෙන්, විදුහල්පතිතුමාලා, ගුරුමහත්ම, මහත්මීන්ගෙන් ඉල්ලීමක් කරනවා ඔබේ පාසලේ දරුවන් මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා පුනරුත්ථාපනය කරන කඳවුරුවලට එක්ක ගෙන ගිහින් ඒ අයව පෙන්වන්න කියලා. ඒ කඳවුරුවලට ගියාම, ඒ දරුවෝ දිහා බලපුවහම, හරිම වේදනාවක් ඇති වෙනවා නායක හාමුදුරුවනේ. ඇඟපත ලස්සන, රුව තිබෙන දරුවෝ ඒ කඳවුරුවල ඉන්නවා. ඔවුන් අඬා වැළපෙනවා. ඔවුන් කියනවා ගෙදර අම්මට තාත්තට කරපු වැරදි. සල්ලි හොරෙන් ගත්ත හැටි. ගෙදර බඩු හොරකම් කරලා ගෙනිහින් විකුණපු හැටි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අහුවෙලා ඒ ව්‍යාපාරික කටයුතු කරපු හැටි. එයින් බේරෙන්න බැරිව අසරණ වුණු හැටි. අවසානයේ ඔවුන්ගේ ජීවිතවලට විඳින්න වුණු වේදනාව. ඒ අවුරුදු 15,16,17,18,19,21,22 දරුවන්. දරුවනේ තමන්ගේ දරුවා මත්ද්‍රව්‍යවලින් වැළැක්වීමේ පුනරුත්ථාපන කඳවුරුවල සිටිනවා දැකලා ඒ දරුවන්ගේ දෙමව්පියෝ කොච්චර සුසුම් හෙළනවා ඇත්ද? ඒ දරුවා ගෙදර දෙමව්පියන්ට හිරිහැර කරන විට, බඩු භාණ්ඩ පොළොවේ ගහන විට, මුදල් බලෙන් ඉල්ලන විට, සල්ලි දුන්නේ නැත්නම් අම්මට තාත්තට නරක වචනයෙන් කතා කරන විට, ඒ දෙමව්පියෝ සහ අනෙක් දරුවන් සමග ඒ පවුලේ තත්ත්වය මොන තත්ත්වයට පත් වෙන්න ඇද්ද?


මේ පුළුල් ජාතික ව්‍යාපාරයක් වගේම පුළුල් මානවවාදී ව්‍යාපාරයක්. මුළුමහත් මානව සමාජයේ යහපත සඳහා ප‍්‍රබුද්ධ සමාජයක් ගොඩනගන්න, නිරෝගිමත් ජනතාවක් ගොඩනගන්න, ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක යහපත් පුරවැසියන් ගොඩනගන්න ගෙනියන ජාතික ව්‍යාපාරයක්. අපේ රටේ දුප්පත්කම පිළිබඳව කතා කරන විට රටේ දුප්පත්කමට ප‍්‍රධානම කාරණයක් තමයි මත්ද්‍රව්‍ය. මේ රටේ අඩු ආදායම්ලාභි පවුල්වල ආදයම යන්නේ මත්ද්‍රව්‍ය සඳහා. සිගරට්, අරක්කු, කසිප්පු, ගංජා, දෛනිකව ඒ අය කෙසේ හෝ ඕනැයි කියලා පාවිච්චි කරනවා. සමහර වෙලාවට තමන්ගේ දරුවන්ට එදිනෙදා අවශ්‍ය දේ ගෙනැල්ලා දෙන්නේ නැහැ. නමුත් එයට පෙළඹුණු පියවරු, වැඩිහිටි සහෝදරයින්, ඒ අකාරුණික වූ කාර්යයයේ යෙදිලා ඉන්නවා. අපේ රටේ දුගීභවය දුපත්කමට ප‍්‍රධානම කාරණයක් තමයි මත්ද්‍රව්‍ය. ඔබ දන්නවා සිගරට් නිසා දවසකට ලංකාවේ එක දිනකට 25,000 කට වඩා මිය යනවා. අනික් මත්ද්‍රව්‍ය සියල්ලම පෝලිමේ ලැයිස්තු අරගෙන කියලා ඒ නිසා ලෙඩ හැදුණු, පිළිකා හැදුණු මරණයට පත් වුණු රෝගී තත්ත්වයට පත් වුණු මත්ද්‍රව්‍ය පාව්චිචි කරන අයගේ සංඛ්‍යා ලේඛන කොතෙක්ද කියලා හරි හැටි නිවැරදිව තවමත් කියන්න පුළුවන්කමක් නැහැ. නමුත් මම කළින් කිව්වා වගේ මැරෙන ගානට වඩා උපදින නිසා ප‍්‍රශ්නයක් පේන්න නැහැ. මේ තිබෙන ගැටලු අපි නිරාකරණය කර ගන්න ඕනෑ. ගමේ පන්සලේ හාමුදුරුවෝ, උදේ හවා බණ කියනවා. ගුවන්, විදුලිය, රූපවාහිනියේ බණ ඇහෙනවා. පල්ලිය, දේවස්ථානය කෝවිල ඒ පිළිබඳව අවවාද අනුශාසනා දෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මේ ක්ෂේත‍්‍රයේ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා පුළුල් කැපවීමකින් කටයුතු කරනවා. එහෙත් මෙය පහසු කාර්යයක් නොවන බව ඔබ දන්නවා. , පෘථග්ජන මිනිස්සු විදියට නරක දේට ඇදී යාම සැමවිටම වැඩි බව ඔබ කවුරුත් දන්න දෙයක්. යහපත් දේට සිත සකස් කර ගැනීම, සිත තැන්පත් කර ගැනීම, ඒ පිළිබඳව සිත දමනය කර ගැනීම හොඳ අරමුණකින් කටයුතු කිරීම මේ නොසන්සුන් සමාජය තුළ පහසු දෙයක් නොවන බව ඔබ දන්නවා. ඒ නිසා අපි රජයක් විදියට මේ ගෙනියන වැඩපිළිවෙළේදී මෙතන සිටින අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාලා ප‍්‍රමුඛ විදුහල්පතිතුමාලා, ගුරුමහත්ම මහත්මීන් ඒ සියලුදෙනාගෙන් මා ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා අද පාසැලේ විෂය නිර්දේශයට අදාළව ඒ කරන කටයුතු වගේම බාහිර ක‍්‍රියාකාරකම්, බාහිර කටයුතු වගේම මීට පෙර සිට ඔබ සෑම කෙනෙක්ම මේ ආදරණීය දරුවන් වෙනුවෙන් මේ මත්ද්‍රව්‍යවලින් නිදහස් සමාජයක් ගොඩනගන්න ඔවුන්ට යහපත් මනසක් ඇති කරන්න ඒ පිළිබඳ ආත්ම ශක්තියකින් ආත්ම ධෛර්යකින් අධිෂ්ඨානශීලීව කැපවීමකින් කටයුතු කරන්න ඔබ මේ දරුවන්ට අවශ්‍ය මගපෙන්වීම සඳහා ප‍්‍ර‍්‍රමුඛතාවය දෙන්න කියලා මා නැවත නැවතත් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. රජයේ කාර්යාලවල මතට ඇබ්බැහි වුණු අය ඒ නිලධාරීන්ගේ තනතුරුවලට අනුව නෙවෙයි සිද්ධ වෙන්නේ අපි දන්නවා. ඒ නිසා සැමවිටම කාර්යාලය තුළත් පාසැල වගේම මතින් නිදහස් කාර්යාලයක්, කාර්යය මණ්ඩලයක් සකස් කර ගන්න ඒ ආයතන ප‍්‍රධානීන් මේ සඳහා නායකත්වය දෙන්න කියලා මා කාරුණිකව ඉල්ලා සිටිනවා. මෙය රජයකට නීති මගින් නියෝග මගින් කළ හැකි දෙයක් නොවෙයි. මෙය චක‍්‍රලේඛ මගින් කළ හැකි දෙයක් නොවෙයි. මේ සඳහා සියලුදෙනාගේම කැපවීම තියෙන්න ඕනෑ. අපි බෞද්ධයෝ විදියටත් හිතුවොත් මෙය පින්වන්ත දෙයක්. අනික් ආගම්වලත් ඒ තිබෙන ආගමික දර්ශන තුළ යහපත් සමාජයක් ගොඩනැගිය හැකි වාසනාවන්ත දෙයක් විදියටයි සලකන්නේ. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වඩාත් ක‍්‍රියාශීලී වැඩසටහන් රාශියක් කිරීමට බලාපොරොත්තු වෙනවා.


පසුගිය මාස කිහිපය තුළ පොලීසිය නාකොටික් අංශය, රේගු, ඒවගේම ත‍්‍රිවිධ හමුදාව, සුරාබදු මත් කුඩු, මත් පෙති පිටරටවලින් එන ඒවා අත්අඩංගුවට අරන් තිබුණා. මම බලාපොරොත්තු වෙනවා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයත්, ඒ දෙපාර්තමේන්තු ආයතන ප‍්‍රධානීන් සමග සාකච්ඡා කරලා වැඩිපුර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා වූ ඒ නීතිමය කටයුතු කරන නිලධාරීන් උනන්දු කරන්න ඔවුන්ට විශේෂයෙන්ම වැටුප් වර්ධක, ඒවගේම විශේෂ ගෞරව සම්මාන, සහතික ඒවගේම පුද්ගලික ලිපි ගොනුවලට උසස්වීම් සඳහා නිර්දේශ, මේවා ඇතුළත් කරන පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ ක‍්‍රියාත්මක කරන බව විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනෑ. ඒ අය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නේ.


දරුවනේ, පාරවල්, ගොඩනැගිලි, අවට පරිසරය ආදී ඒ සියල්ල මොනතරම් සුන්දරව තිබුණත් මිනිස්සුන්ගේ ජීවිතවල සුන්දරත්වයක් නැත්නම් ඒ රටේ වටිනාකමක් නැහැ. ඒ නිසා ඔබේ ජීවිතය වාසනාවන්ත කරන්න, ඔබේ ජීවිතය සුන්දර කරන්න, ඔබේ උතුම් බලාපොරොත්තු ඉෂ්ට කරන්න මත්ද්‍රව්‍යවලින් තොර නිදහස් සමාජයක් ඉතාමත් වැදගත් වෙනවා.



මේ මත්ද්‍රව්‍ය පිළිබඳව ජාතික වැඩසටහන ශක්තිමත් කරන්න, මේ දරුවන් සමාජයේ සැබෑ පණිවුඩකරුවෙක් බවට පත් වෙන්න. මතින් නිදහස් රටක් සමාජයක් ගොඩනැගීමේ උතුම් කාර්යය සඳහා මේ සිටින රාජ්‍ය නිලධාරි මහත්ම මහත්මීන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්, ඔබේ කාර්යාලයේ සහ කාර්යාල පරිශ‍්‍රයේ පමණක් නොව ඔබ සේවය කරන සියලු ප‍්‍රදේශවල ප‍්‍රාදේශීය ලේකම්තුමාලා, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්, දිසාපතිතුමා ඇතුළු සියලුදෙනා මේ කාර්යයේදී ප‍්‍රමුඛත්වයක් දෙන්න ඕනෑ. අපි රටක් විදියට මේ රට ගොඩනගන්න මොන දේවල් කළත් මත්ද්‍රව්‍යත් එක්ක විනාශ වෙනවා නම් මුළු රටක් විනාශ වෙනවා නම් යහපත් බව, දයාව, ආදරය, කරුණාව මනුස්සකම, සත්‍ය, යුක්තිය සහ සාධාරණත්වය විනාශ වෙනවා නම් එවිට ඉතුරු වෙන්නෙ කුමක්ද කියා ඔබ ඔබෙන් ප‍්‍රශ්න කළ යුතුයි.


මේ මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරි මහත්ම මහත්මීන්, ආදරණීය දරුවන් ඔබ සියලුුදෙනාම යහපත් රටක් ගොඩනැගීමේ උතුම් කාර්යය අරමුණු කරගෙන රජය ගෙනියන මතින් නිදහස් රටක් සංකල්පයෙන් බලාපොරොත්තු වන්නා වූ පවිත‍්‍ර චේතනාව මුදුන්පත් කර ගැනීම සඳහා අපි සෑම කෙනෙක්ම එක්ව කටයුතු කරලා ඒ කාර්යය තුළ වඩාත් ගුණවත්, යහපත්, හරවත් නැණවත්, පින්වත් දරු පිරිසක් ප‍්‍රමුඛ රටක් ගොඩනගන්න අපි සියලුදෙනාම එක්වෙමුයි කියන ගෞරවණීය ආයාචනය කරමින් අද මේ වැඩසටහනට සහයෝගය දැක්වූ වැඩම කළ මහා සංඝරත්නය ඇතුළු අනිකුත් පූජකතුමන්ලාත් විශේෂයෙන්ම දිසාපතිතුමාගේ නායකත්වය තුළ සියලු ආයතන ප‍්‍රධානීන්, පාසල් ප‍්‍රධානීන්, මැතිඇමතිවරු ඇතුළු සෑම කෙනෙකුටම ගෞරවනීය ස්තූතිය පුද කරමින් ඔබෙන් සමු ගන්නවා.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.