• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත වේ

srilankanශ්‍රීලංකන් ගුවන් සමාගම සිය ගුවන් ගමන් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්  පසුගිය ඉරිදා සිට (ජූලි මස 16 වැනිදා) කොයින්බටූර් වෙත සතියකට ගුවන් ගමන් 4ක්  ආරම්භ කිරීමට කටයුතු කරනු  ලැබීය.




ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික ගුවන් සේවය විසින්  සෘජු ගුවන් ගමනාන්ත 41 ක් වෙත මෙහෙයුම් සිදුකිරීමේ සුවිශේෂී වාර්තාවක් මෙමගින් සනිටුහන් විය. 



මේ වසරේ දී ගුවන් සමාගම වෙත එකතු වූ  නව ගමනාන්ත වන හයිද්‍රාබාද් සහ විසාකාපට්නම්  මෙන්ම   අගෝස්තු මාසයේ  දී බුද්ධගයාව සහ වරණාසි වෙත සිදුකිරීමට නියමිත  වාරික  ගුවන්  ගමන් තුළින් ගුවන් සමාගම ඉන්දියාව වෙත සිදුකරන  ගුවන් මෙහෙයුම් විශාල ලෙස වර්ධනය වී ඇත. ඒ අනුව   ඉන්දියාවේ ගමනාන්ත 14ක් වෙත සතියකට ගුවන් මෙහෙයුම් 126ක්  සිදුකරන ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන්  සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගම  සුවිශේෂී කඩඉමක් පසුකර ඇත.  මේ සමග  ඉන්දියාව වෙත  මෙහෙයුම් සිදුකරන විශාලතම විදේශ ගුවන් සේවය බවට පත්වෙමින්   කලාපීය ගුවන් සේවය බවට පත්වීම සඳහා ශ්‍රීලංකන් සිය වාණිජ ප්‍රයන්තයන් දියත් කර ඇත. 


මෙම නව ගුවන් ගමන් ආරම්භ කිරීමට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  උපාය මාර්ගික සැලැස්මට අනුකූලව 2017 ජූලි  මස 15 වැනිදා  සිට නව වෙළෙඳපොල අවශ්‍යතා අනුව  ගුවන් ගමන් ජාලය වැඩිදියුණු කර ඇත. ඒවා නම් : 



- චීනයේ ග්වාන්ෂෝ (Guangzhou) වෙත නොනවත්වා දෛනික ගුවන් ගමන්  (පෙර පැවැති බැංකොක් නැවතුම් ඉවත් කර)


- චීනයේ හොංකොං වෙත සතියකට නොනවත්වා  නව ගුවන් ගමන් 5ක් සිදුකිරීම (දශක ගණනාවක් පුරාවට පැවැති  බැංකොක් නැවතුම් ඉවත් කර)
- තායිලන්තයේ බැංකොක් වෙත දිනකට ගුවන් ගමන් 3ක් දක්වා දෛනික මෙහෙයුම් සිදුකිරීමට කටයුතු කරමින්  ගුවන් ගමන් සම්බන්ධතා සඳහා ඇති ඉල්ලුමට සැපයුම ලබාදීම. 



- ඉන්දියාවේ දිල්ලිය වෙත දෛනික ගුවන් ගමන් සතියකට 11ක් සිදුකිරීම.



  මෙම සීත සෘතු සමයේ ශ්‍රීලංකන්  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත සෘජු  දෛනික ගුවන් මෙහෙයුම්  ආරම්භ කිරීමට කටයුතු  කර ඇති අතර එමගින් වසර 16ට පසු ශ්‍රීලංකන් මෙහෙයුම් ඕස්ට්‍රේලියාව වෙත සිදුකිරිම සනිටුහන් වනු ඇත.  මේ වන විටත් මෙල්බර්න් ගුවන් ගමන්  සඳහා ආසන වෙන්කරවා ගැනීම් බොහොමයක්  සිදුකර තිබීම මෙම සැලසුමේ සාර්ථකත්වය විදහා දක්වයි. මීට අමතරව තව දුරටත්  ගුවන් ගමන් සේවා ව්‍යාප්ත  කිරීමේ  කටයුතු  මෙම සීත සෘතු  සමයේ  සිදුකිරීමට ගුවන් සමාගම අපේක්ෂා කරයි. 



මෙම වසරේ දී  ගුවන් සමාගම  වෙත නවතම එයාර්බස් 320neo ගුවන් යානාවන් 2ක්  සහ ප්‍රථම වරට නවතම එයාර්බස් 321neo ගුවන් යානාවක් එකතු  වූ අතර මේ වසර අවසානයට පෙර  තවත් A321neo ගුවන් යානා  2ක් ගුවන් සමාගම  වෙත එකතු වීමට නියමිතයි. මෙහි සුවිශේෂීත්වය වන්නේ  මෙවැනි A321neo ගුවන් යානාවක් ලබාගත් ආසියාවේ ප්‍රථම ගුවන් සේවය බවටත් ලෝකයේ 4 වැනි ගුවන් සේවය බවටත්  ශ්‍රීලංකන් ගුවන් සමාගම පත්වීමයි. මෙම  නව A320neo ගුවන් යානා  සඳහා අති නවීන තාක්ෂණයෙන්  යුත් නව පරම්පරාවට අයත් CFM-LEAP එන්ජින් පැවැතීම සහ “sharklet” තාක්ෂණය  තුළින් ද  ඉන්ධන  කාර්යක්ෂමතාවය මගින් ද   ගුවන් මගීන්ට සුවපහසු ගුවන් ගමනක සුපිරි අත්දැකීමක්  ලබා දේ. පෙර පැවැති A320 ගුවන් යානාවන්ට වඩා  15% වඩා වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක් මෙම ගුවන් යානා  සඳහා පවතින අතර  එමගින්  ශබ්ද විමෝචනය (noise footprint) 50% න්  අවම වී ඇත. 



 පසුගියදා අවසන් වූ 2016/17  මූල්‍ය වසර තුළ ගුවන් සමාගම විසින් වැඩිදියුණු වූ මූල්‍ය කාර්ය සාධනයක්  සහ අවම ඒකක පිරිවැයක් වාර්තා කර ඇත. එසේම ගුවන් සමාගම  2017/18 මූල්‍ය වසරෙහි ආරම්භක කාලසීමාව තුළ පසුගිය මූල්‍ය වසරට වඩා වැඩි ආදායම් තත්ත්වයක් ලබාගෙන තිබේ. ගුවන් සමාගම තම අරමුණු සාක්ෂාත් කරගනිමින් ඉලක්ක ඔස්සේ  නිවැරදි මාර්ගයක් කරා යොමු වී ඇති  බව මෙමගින්  පෙන්නුම්  කර ඇත.   

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.