• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රටේ අධ්‍යාපනය දියුණු කිරීමට අප විශාල මුදලක් වෙන් කරනවා

prime minRW20172017.08.01 වන දින මොරටුව, වේල්ස් කුමර විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවයේ දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. 


වේල්ස් කුමර විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීමට මට හැකියාව ලැබුණා. ඒ සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් මා ඔබ සැමට ස්තූතිවන්ත වෙනවා. විද්‍යාලයේ විදුහල්පතිතුමා සඳහන් කළ ආකාරයට මෙම පිහිනුම් තටාකය ඉදිකිරීමේ වැඩ කටයුතු ආරම්භ කළේ හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ලබාදුන් මූල්‍ය අනුග්‍රහය මතයි. මූල්‍යමය අඩුපාඩු හේතුවෙන් එම පිහිනුම් තටාකයේ වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වූ නමුත් පසුව එරාන් වික්‍රමරත්න අමාත්‍යතුමාගේ ඉල්ලීම මත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම පිහිනුම් තටාකයේ වැඩ කටයුතු අවසන් කිරීමට තවත් රුපියල් මිලියන 40 ක මුදලක් ලබා දුන්නා. 



දැන් වේල්ස් කුමර විද්‍යාලයට මෙම පිහිනුම් තටාකයෙන් පළ ප්‍රයෝජන ගත හැකියි. අප පාසල් යන අවධියේත් වේල්ස් කුමර විද්‍යාලය අධ්‍යාපනයෙන් පමණක් නොව, ක්‍රීඩා අංශයෙනුත් දක්‍ෂතා දැක්වුවා. ක්‍රිකට්, බාස්කට් බෝල්, රගර් ආදී ක්‍රීඩා ඉන් ප්‍රධාන තැනක් ගත්තා. එකල පිහිනුම් තටාකයක් නොමැති වුවත් විද්‍යාලයේ පිහිනුම් කණ්ඩායමක් ද සිටියා. මේ පිහිනුම් තටාකය ලබා දී තිබෙන්නේ වේල්ස් කුමර විද්‍යාලයට පමණක්ම නොවෙයි. වේල්ස් කුමරි විද්‍යාලයටත් මෙම පිහිනුම් තටාකය භාවිතා කිරීමේ අවස්ථාව තිබෙනවා. එසේ නම් මෙම ජාතික පාසල් දෙකටම පිහිනුම් තටාකයේ ප්‍රයෝජන ලබා ගත හැකියි. ඉදිරියේ දී මෙම විද්‍යාලයෙන් ලෝක ප්‍රසිද්ධ පිහිනුම් ක්‍රීඩකයන් බිහි වනු ඇති බව මගේ බලාපොරොත්තුයි. 



රටේ අධ්‍යාපනය දියුණු කිරීමට අප විශාල මුදලක් වෙන් කරනවා. දරුවන්ගේ අනාගතය සකස් කිරීමට ප්‍රධාන ආයතන දෙකක් තිබෙනවා. ඔබ නිවසේ සිටින දෙමව්පියන් සහ වැඩිහිටියන් පළමු ආයතනයයි. ඔවුන්ගේ ගුරුහරුකම් අනුව දරුවන්ට ඉදිරියට යාමට අවස්ථාව ලැබෙනවා. දෙමව්පියන් සෑම විටකම සිය දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා. අනෙක් ආයතනය වන්නේ තමා අධ්‍යාපනය ලබන විද්‍යාලයයි. මාගේ අනාගතය ද සකස් වුණේ මාගේ දෙමව්පියන් සහ මා අධ්‍යාපනය ලැබූ විද්‍යාලය හේතුවෙනුයි. ලබාගත් අත්දැකීම් අනුව ඉදිරියට යාමට මට හැකියාව සහ ශක්තිය ලැබුණා. 


දරුවන්ගේ අනාගතය සකස් කරන බොහෝ විද්‍යාල ප්‍රමාණයක් පාලනය වන්නේ රජය මගිනුයි. මධ්‍යම ආණ්ඩුව මගින් හෝ පළාත් සභා හරහා පාලනය වන විද්‍යාල වෙනුවෙන් අවශ්‍ය වන මුදල් රජය ලබා දෙනවා. එම නිසා විද්‍යාල සඳහා ආධාර උපකාර ලබාදීම අප ගොඩනැගිලිවලට පමණක් සීමා කර නැහැ. ඒ අනුව ඔබේ පාසල ක්‍රීඩාවට දක්‍ෂ පාසලක් නිසා ඒ සඳහා අවශ්‍ය පිහිනුම් තටාකයක් ලබාදීමට අප කටයුතු කළා. එම නිසා මෙම පිහිනුම් තටාකය භාවිතා කරමින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. 



ඒ වගේම වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අධ්‍යාපන ඇමැතිතුමා කටයුතු කර තිබෙනවා. අත්හදා බැලීමක් ලෙස ඉදිරි වසර දෙක තුළ දී පාසල් දරුවන්ට ටැබ්ලට් පරිගණක ලබාදීමට කටයුතු කරනවා. පාසල් සඳහා පුහුණු ගුරුවරුන් ලබාදීමටත් අවශ්‍ය කටයුතු අප මේ වන විට සිදු කරමින් සිටිනවා. මෙතරම් මුදලක් රටේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අප වියදම් කරන්නේ ඇයි? ඒ ඔබට හොඳ අනාගතයක් නිර්මාණය කර දීමටයි. අධ්‍යාපනයේ දියණුව වෙනුවෙන් රජයක වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයට මුදල් ලබාදීමෙන් පමණක් අවසන් වන්නේ නැහැ. බොහෝ රජයන් පිළිනොගත්තත් දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කිරීම සෑම රජයකම ප්‍රධාන වගකීමක් විය යුතුයි. රාජ්‍ය පාලනය, නීතිය ක්‍රියාත්මක කිරීම ආදී වගකීම්වලට අමතරව රටේ ජනතාවට ජීවත් විය හැකි හොඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම ද රජයක ප්‍රධානම වගකීමක් වනවා. 



හොඳ ආර්ථිකයක්, හොඳ ආදායම් සහිත රැකියාවක්, ඔබේ හැකියාවට, දක්‍ෂතාවයට ගැලපෙන රැකියාවක් සොයා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා පිරරට නොගොස් ලංකාවේම රැඳී සිටීවි. ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීමත් ආණ්ඩුවක යුතුකමක්.... විවිධ රටවල, විවිධ රජයන් කල්පනා කරන්නේ රටේ ජනතාවගේ අනාගතය සැකසීම රජයක වගකීමක් නොවන බවයි. නමුත් එය රජයක් විසින් කළ යුතුයි. 



විශේෂයෙන්ම රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අප ආරක්‍ෂා කළ යුතුයි. ඔවුන් වයස අවුරුදු 17 – 19 පමණ වන විට ජීවිතයට මුහුණදීමට සූදානම් වන අවස්ථාවේ දී අප ඔවුන් විශේෂයෙන් ආරක්‍ෂා කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු අප සිදු කරමින් සිටිනවා. දරුවන්ට අනාගතයේ ජීවත් විය හැකි ශක්තිමත් ආර්ථිකයක් අප නිර්මාණය කළ යුතුයි. 


ආණ්ඩු බලය ලබාගත් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මමත් රටේ ණය බර ඉදිරි පරම්පරාවට නොදී ගෙවා දැමීමට තීරණය කළා. ණය බර සහිතව රටට ඉදිරියට යාමට නොහැකියි. ණය ගෙවීමට අවශ්‍ය වන විට බදු වැඩි කිරීමට සිදු වෙනවා. බදු වැඩි වන විට ලබා ගන්නා ආදායම ජීවත් වීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා මෙම ණය බර අපේ පරම්පරාවේදීම ගෙවා දැමීමට අප තීරණය කළා. ණය කුමන අරමුණක් සඳහා ලබාගත්තත් එය ලබාගත්තේ රටේ වත්මන් පරපුරයි. එම නිසා එම ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකළ යුතුයි. හොඳ දෙමව්පියන් තමන්ගේ ණය බර කිසි දිනෙක තම දරුවන්ට ලබා දෙන්නේ නැහැ. තමන්ගේ ණය ගෙවා දමමින් දරුවන්ට හොඳ අනාගතයක් ඇති කිරීම දෙමව්පියන්ගේ යුතුකමයි. ආණ්ඩුවක් ලෙස අප කටයුතු කරන්නේත් ඒ ආකාරයටයි. අපේ ණය අප ගෙවමින් ඔබට හොඳ අනාගතයක් ලබා දෙනවා. 



2020 වන විට මේ අවශ්‍ය කටයුතු සූදානම් කර, 2025 වන විට ණය ගෙවීම කිසිවෙකුටත් ගැටලූවක් නොවන වාතාවරණයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම අලූත් ආර්ථිකයක් ඇති කිරීම, නව රැකියා බිහි කිරීම, නව තාක්‍ෂණය ගෙන ඒම ආදී සැලසුම් ගණනාවක් අප සතුව තිබෙනවා. අප මේ රට විශාල කර්මාන්තකරණයක් කරා ගෙන යනවා. ඔබ ජීවත් වන බස්නාහිර පළාතත්, දකුණු පළාතත් වාසනාවන්ත පළාත් ලෙස නම් කළ හැකියි. මේ පළාත් දෙක තුළ වරායන් දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් පිහිටා තිබෙනවා. ඔබ ජීවත් වන්නේ ඊට මැදි වූ ප්‍රදේශයේයි. එසේ නම් ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවේ වරායන් දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් අතරමැද ඔබ ජීවත් වීමට සූදානම් වෙන්න. ඔබට ජීවත් වීමට පහසු ලෙස මේ ප්‍රදේශ නාගරීකරණය කිරීමට අප සූදානම් වෙනවා. 



අද අපේ අපනයන ඇගළුම් සහ රබර් කර්මාන්තවලට සීමා වී තිබෙනවා. අපනයනය සඳහා තවත් කර්මාන්ත ඇති කිරීමට අවශ්‍යයි. විදුලි භාණ්ඩ, වාහන අමතර කොටස්, වෙනත් භාණ්ඩ අප නිපදවිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ඉංජිනේරු, කාර්මික අංශ දියුණු කළ යුතුයි. ඒ වගේම තොරතුරු තාක්‍ෂණය, පරිගණක මෘදුකාංග ආයතන ආදී මේ සියල්ලම දියුණු කළ යුතුයි. ඔබ අධ්‍යාපනය ලබා අවසන් වූ පසු ඉන් ප්‍රයෝජන ගත හැකියි. 



ශ්‍රී ලංකාවේ පළමු වරට සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙළ පොත් නොමිලයේ ලැබුණේ 1980 වර්ෂයේදීයි. ඒ වන විට රටේ 50% ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොත් තිබුණේ නැහැ. නමුත් වර්තමානයේ ඉගෙන ගන්නේ පෙළපොත්වලින් පමණක් නොවෙයි. ටැබ්ලට් පරිගණක ආදියෙන් ද දරුවන් ඉගෙනුම් කටයුතු සිදු කරනවා. බොහෝ දරුවන් ගනුදෙනු කරන්නේ ජංගම දුරකතන හරහායි. වර්තමානයේ සෑම කෙනෙකුටම පාහේ ජංගම දුරකථනයක් තිබෙනවා. කොපමණ කාලයක් අධ්‍යාපන වැඩ කටයුතු කරනවාද, කොපමණ කාලයක් ජංගම දුරකථනය භාවිතා කරනවාද කියා ඔබ විමසා බැලිය යුතුයි. 



වර්තමානයේ නව තාක්‍ෂණයත් සමග විද්‍යුත් වාහන ආදී නවීන දේවල් සමාජයට එකතු වෙනවා. අප කර්මාන්තකරණය ව්‍යාප්ත කරන්නේත්, තොරතුරු තාක්‍ෂණය දියුණු කරන්නේත් මේ සඳහා මුහුණදීමටයි. පසුගිය කාලය තුළ ණය ගෙවීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමට අපට හැකි වුණා. ඒ වගේම ඔබට ආසන්න නොවුණත් හොරණ ප්‍රදේශයේ අක්කර දහස් ගණනක කර්මාන්තපුරයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. බිංගිරිය ප්‍රදේශයේත්, හම්බන්තොට ප්‍රදේශයේත් කර්මාන්ත කලාප සඳහා අක්කර දහස් ගණනක් වෙන් කරමින් තිබෙනවා. මේ හරහා අප විශාල දියුණුවක් ඇති කරනවා. සංචාරක ව්‍යාපාරය හරහා මේ වන විට සංචාරකයන් මිලියන දෙකක් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එම සංඛ්‍යාව මිලියන 5 ක් දක්වා වැඩි කිරීම අපේ බලාපොරොත්තුවයි. එවිට ඉංග්‍රීසි භාෂාව පමණක් නොව, චීන, ජපන් ආදී භාෂා ද ඉගෙන ගැනීමට අපට සිදු වෙනවා. ඒ හරහා විශාල ප්‍රයෝජන ලබාගත හැකියි. මේ සියලූ දේ හරහා බලාපොරොත්තු වන්නේ ඔබ වෙනුවෙන් විශාල දියුණුවක් ඇති අනාගතයක් නිර්මාණය කිරීමටයි. 



අපේ ගුවන් තොටුපොළවල් සඳහා වැඩි වැඩියෙන් ගුවන් යානා ගෙන්වා ගැනීමට, වරායන් සඳහා වැඩි වශයෙන් නැව් ගෙන්වා ගැනීමට, ජනතාවට පහසුවෙන් ජීවත් වීමට අවශ්‍ය නිවාස පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු අප සිදු කරමින් සිටිනවා. විනෝදාංශ, ක්‍රීඩාව දියුණු කිරීමට, නව තාක්‍ෂණය රටට ගෙන ඒමට අප සූදානම්. එවැනි සමාජයක ජීවත් වීමට ඔබ සියලූ දෙනා කැමැත්තක් දක්වනවා. එසේ නම් ශ්‍රී ලංකාව තුළ එවැනි සමාජයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සැලසුම් අප ක්‍රියාවට නංවමින් සිටිනවා. 



ප්‍රධාන පක්‍ෂ දෙක එකට එකතු කර ගත්තේ ඔබට මෙවැනි හොඳ අනාගතයක් ලබාදීම අරමුණු කර ගෙනයි. ඒ වැඩ කටයුත්ත අප දැන් ආරම්භ කර තිබෙනවා. දැන් ඉතිරිව තිබෙන්නේ එහි ප්‍රතිඵල තරුණ පරම්පරාවට ලබාදීම පමණයි. 


රටේ ජනතාවගේ විශ්වාසය ඇති කරමින් තරුණ පරම්පරාවට ජීවත් විය හැකි අනාගතයක් නිර්මාණය කිරීම රජයක වගකීමයි. රටේ ජනයාට ආණ්ඩුව පිළිබඳව විශ්වාසයක් තිබෙනවා නම් තරුණ පරම්පරාවට ජීවත් වීමට හැකි පරිසරයක් රට තුළ තිබෙනවා නම් රටේ කවුරුවත් රට හැර නොයන බව විශ්වාසයි. 



ඒ වගේම රටේ තරුණ තරුණියන්ට බලපාන විශාලම ප්‍රශ්නය මත්ද්‍රව්‍යයි. ඒ ප්‍රශ්නයට මුහුණදීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු පොලිසිය විසින් සිදු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍ය උවදුර දුරු කිරීම සඳහා රජයක් ලෙස අප පියවර ගනිමින් සිටිනවා. මේ සියලූ දේ සඳහා අපේ රජය සතුව අති විශාල සැලසුමක් තිබෙනවා. ඉන් කොටසක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති අතර ඉතිරි කොටස ඉදිරියේ දී ක්‍රියාවට නැංවීමට නියමිතයි. ඒ අනුව රටේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ඇති කරමින් නවීන ශ්‍රී ලංකාවක ආඩම්බරයෙන්, ශක්තිමත්ව ජීවත් විය හැකි පරිසරයක් සහ ආර්ථිකයක් ඇති කරමින් අප රට ඔබට බාර කරනවා. රටේ අනාගතය දියුණු කිරීමට විශාල වශයෙන් දායක වූ චාල්ස් හෙන්රි ද සොයිසා මහතාත් මේ අවස්ථාවේ දී සිහිපත් කරමින් ඔබ සියලූ දෙනාට හොඳ අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා.  

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.