• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජයක් ලෙස අපි ප්‍රාග්ධනය ආයෝජනය කරන්නේ වැදගත් දේවල් සඳහා පමණයි

PM news 2017 8 8රජයක් ලෙස අපි ප්‍රාග්ධනය ආයෝජනය කරන්නේ වැදගත් දේවල් සඳහා පමණයි. අපේ අරමුණ නාස්තිය නොව රටේ සුභසිද්ධියයි. වල් අලි වාසය කරන ප්‍රදේශයක කෝටි 320 ක වියදමින් සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම වැනි නොවැදගත් ආයෝජන අප සිදු කරන්නේ නැහැ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 



අඹේවෙල, කිරි කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(7) සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසී ය.


පළමුවෙන්ම පදිරිප්පුව ප්‍රදේශයෙන් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නර්තන කණ්ඩායමට මම ප්‍රශංසා කරනවා. එය සම්ප්‍රදායත් නූතන ක්‍රමයත් එකට එක්වූ ඉතා හොඳ නැටුමක්. ඒ වගේම යුධ හමුදා නර්තන කණ්ඩායමටත් 
ප්‍රශංසා කරනවා. නමුත් මෙම ස්ථානයෙන් ඉක්මනින් පිටව යා යුතු නිසා ඔවුන්ගේ අනෙක් නර්ථතනාංග බැලීමට නොහැකි වීම අවාසනාවක්.


මාත්‍ය පී. හැරිසන් මැතිතුමා නව ආයෝජන හරහා නවීකරණය වූ මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමට මට ආරාධනා කළා. මෙම කර්මාන්ත ශාලාව නවීකරණය කිරීම සඳහා 2008 වසරේ කටයුතු ආරම්භ කළත් ඊට අවශ්‍ය මුදල් ලබාදී මෙම වැඩකටයුතු ආරම්භ කළේ 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ජාතික ආණ්ඩුව යටතේයි. මෙම නවීකරණ කටයුතු සිදු නොකළා නම් කිරි විශාල ප්‍රමාණයක් අපතේ යාම සිදුවනවා. කිරි ගොවීන්ට සිය කිරි නිෂ්පාදනය අලෙවි කර ගැනීමට නොහැකි වෙනවා. මෙම නවීකරණය හරහා දැනට මෙහි තිබෙන කිරි ලීටර් ලක්‍ෂයක ගබඩා පහසුකමට අමතරව තවත් කිරි ලීටර් ලක්‍ෂ දෙකක ගබඩා පහසුකමුත් ලැබී තිබෙනවා.


මේ හරහා අපේ බටර් නිෂ්පාදනය දිනකට කිලෝග්‍රෑම් දස දහසක් දක්වා වැඩිකර ගැනීමේ හැකියාවක් පවතිනවා. දැනට පවතින ලීටර් 40,000 ක ගබඩා පහසුකම් සහිත ටැංකියටත්, ලීටර් 20,000 බැගින් වන ගබඩා ටැංකි හතරටත් අමතරව ලීටර් 40,000 ක ගබඩා පහසුකම් සහිත තවත් ටැංකි දෙකක් මෙහි ඉදිකර තිබෙනවා. එම නිසා මෙහි තිබෙන ගබඩා පහසුකම පෙරටත් වඩා වැඩි වී තිබෙනවා. ඒ වගේම පාස්චරිකරණ යන්ත්‍රයේ දැන් ක්‍රියාකාරීත්වය පැයකට ලීටර් 15,000 දක්වා වර්ධනය කර තිබෙනවා. ඒ වගේම සෙන්ටිග්‍රේට් අංශක 90 දක්වා අවශ්‍ය උණුසුම සැපයීමේ පහසුකම දියුණු කර තිබෙනවා. එමෙන්ම කර්මාන්ත ශාලාවේ වායුසමීකරණ යන්ත්‍ර හරහා පැයකට ලීටර් 15,000 ක් පාස්චරීකරණය කිරීමේ හැකියාව තිබෙනවා. එසේ නම් මෙය වැදගත් ආයෝජනයක් බව අපට පෙනී යනවා. මේ ප්‍රදේශයේ කිරි ගොවීන්ට එදාට වඩා හොඳ ආදායමක් අද ලබාගැනීමේ හැකියාව අද උදා වී තිබෙනවා.


ජයක් ලෙස අපි ප්‍රාග්ධනය ආයෝජනය කරන්නේ වැදගත් දේවල් සඳහා පමණයි. අපේ අරමුණ නාස්තිය නොව රටේ සුභසිද්ධියයි. වල් අලි වාසය කරන ප්‍රදේශයක කෝටි 320 ක වියදමින් සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම වැනි නොවැදගත් ආයෝජන අප සිදු කරන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවේ රාජපක්ෂ රෙජිමය ඉදිකිරීමේ කටයුතු කළේ තම හෙංචයියන්ට වාසි ලබාදීම සඳහා පමණයි. ඔවුන් හම්බන්තොට වරායට ඩොලර් කෝටි 150 ක් ගෙවා තිබෙනවා. නමුත් අපි හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කරන විට වැඩිම මුදලක් ගෙවීමට ඉදිරිපත් වූ සමාගම් දෙක අතුරින් අප තෝරා ගත්තේ රටට වැඩිම වාසියක් අත්වන පරිදි ඩොලර් කෝටි 140 ක් ගෙවීමට ඉදිරිපත් වූ සමාගමයි. නමුත් පසුගිය රජය මෙය ඉදිරිකිරීමේදී ඩොලර් කෝටි 150 ක් වැයකර තිබෙනවා.


නමුත් එහි වටිනාකම ඩොලර් කෝටි 140 ක් පමණයි. එසේ නම් අතුරුදන් වූ ඉතිරි ඩොලර් කෝටි 10 හෙවත් රුපියල් කෝටි 1500 පිළිබඳව කව්රුන් හෝ අභිරහස් නවකතාවක් ලිවිය යුතුයි. එදා අපි මෙම වංචාව පෙන්වා දෙන විට ලංකාවේ මාධ්‍ය අප ද්‍රෝහීන් යැයි පැවසුවා. අපි දුටුගැමුණු රජ්ජුරුවන්ට මඩ ගසනවා යැයි පැවසුවා. නමුත් දැන් ලංකාවේ තිබෙන්නේ යලි උපන් මාධ්‍යයක්. හොරකම් කිරීම අනුමත කරන්නේවත් අනුමත කිරීමට වුවමනාවක් වත් අපට නැහැ. අපේ ඡන්ද දායකයන් අපට ඡන්දය ලබාදුන්නේ හොරකම් නොකරන ක්‍රමවේදයක් ඇති කිරීමටයි. අපේ ඇමතිවරුන්ට හොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා නොතිබුණත් අවශ්‍ය අවස්ථාවල ලංකාවේ පළමු වතාවට කොමිෂන් සභා ඉදිරියට ගොස් සාක්‍ෂි ලබාදෙන ලෙස අප පැවසුවේත් එම නිසා බව මම විශේෂයෙන් මේ අවස්ථාවේ කියන්න කැමතියි.


නවීන් දිසානායක ඇමතිතුමාත් පැවසූ පරිදි අප මේ රට භාරගන්නා විට රටේ ආර්ථිකය පැවතියේ විශාල අර්බුදයකයි. පසුගිය රජය වතුර ඉල්ü දරුවන් මරා දැම්මේ පඩි වැඩි කිරීමට ඉල්ü සේවකයන්ට වෙඩි ප්‍රහාර එල්ල කළේ එම ආර්ථික අර්බුදය පිළිබඳව ඔවුන් දැනගෙන සිටි නිසයි. ඔවුන් එදා උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව උපවාස කළ පුද්ගලයන්ට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. අප බලයට පත් වී ඒ සියලූ දේ වෙනස් කළා. අප ජනතාවට සහන ලබාදෙමින් නිවාස ව්‍යාපෘති ලබාදීමට පියවර ගත්තා. මේ වන විට අප වතුකරයේ නිවාස 16,000 ක් ඉදිකරමින් සිටිනවා. ඒ වගේම තවත් නිවාස 14,000 ක් ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.


ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ගිය වසරේ ලක්‍ෂ 20 ක් දක්වා වැඩිකර ගැනීමට අපට හැකියාව ලැබුණා. එම සංචාරකයන් විශේෂයෙන් මේ ප්‍රදේශවලට පැමිණෙනවා. අප මෙවැනි විශාල දියුණුවක් කරා රට ගෙන ගියා. අප රටේ අධ්‍යාපනයට යොදවන මුදල් ප්‍රමාණය වැඩිකරමින් වසර 13 ක පාසල් අධ්‍යාපනය අප අනිවාර්ය කළා. ඒ වගේම මේ ප්‍රදේශය තුළ උසස් පෙළ විභාගය සඳහා විද්‍යා අංශයෙන් ඉදිරිපත් වන ළමුන්ට ද්‍රවිඩ මධ්‍ය මහා විද්‍යාල 25 ක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මූලික ආහාර වර්ග සාධාරණ මිලක් යටතේ ලබාදීමටත් අප දැන් කටයුතු කරමින් සිටිනවා. මේ සියලූ දේ දීර්ඝකාලීනව ඉදිරියට ගෙන යාමට නම් අපට ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍ය වෙනවා. අප 2015 දී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ එම ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීම සඳහා යි.


මීට පෙර ශ්‍රී ලංකාවට තිබුණේ ණය බරින් මිරිකුනු ආර්ථිකයක්. එම ණය ප්‍රමාණය කෙතරම්ද කියනවා නම් රාජපක්ෂ රෙජිමය ණය ලබාගනිමින් හොඳට කෑවා. ඒ කෑම වමනෙ කළාම රටටම ඒක සුද්ධ කරන්න වෙලා තියෙනවා. ඔවුන් ණය බර පරම්පරා තුනකට ඉතිරි කළා. නමුත් අපේ පරම්පරාවේදීම මේ ණය ගෙවා අවසන් කිරීමට අප තීරණය කර තිබෙනවා. සෑම දෙමව්පියෙක්ගේම අරමුණ තමන් ලබාගත් ණය තමන්ගේ දරුවන්ට ගෙවීමට ඉඩ නොදී තමන් විසින්ම ගෙවා අවසන් කිරීමයි. අන්න ඒ නිසයි අප ලබාගත් ණය අපේ කාලයේදීම ගෙවා දැමීමේ අරමුණ ඇතිව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ එක්ව මම ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ.



මේ ණය ගෙවීම පරක්කු කරමින් එය තවත් පරම්පරා කිහිපයකට ඉතිරි කරමින් පක්‍ෂ අතර ගැටුම් ඇතිකර ගනිමින් බලයේ සිටීමේ හැකියාව අපටත් තිබුණා. අප ආණ්ඩුව භාරදුන් 2005 – 2014 කාලය තුළ මේ රටේ සම්පූර්ණ ණය ප්‍රමාණය 233% කින් වැඩි වී තිබෙනවා. නමුත් රටේ ආදායම පහළ බැස තිබුණා. අවසානයේ ණය පියවීම සඳහා රටේ ආදායම ප්‍රමාණවත් වුනේ නැහැ. 2013 වසරේ දී රටේ ණය පියවීම සඳහා රුපියල් කෝටි 1147 ක් අවශ්‍යව තිබුණා. නමුත් ඒ වන විට රටේ ආදායම රුපියල් කෝටි 130 ක් පමණයි. ණය පියවීමට, රටේ එදිනෙදා වියදම් සඳහා, ප්‍රාග්ධනය ආදිය සඳහා රට තුළ මුදල් තිබුණේ නැහැ. ඔවුන් ඉක්මන් ජනාධිපතිවරණයකට එළැඹුනේ මෙම ගැටලූ නිසායි.


නමුත් මේ රට භාරගැනීමෙන් පසුව අප ඉතා අමාරුවෙන් රට ඉදිරියට ගෙන ගියා. 2016 දී ණය ගෙවීම සඳහා අපට රුපියල් බිලියන 1353 ක් අවශ්‍ය වුණා. එම වසර තුළ අප ගනු ලැබූ පියවර සහ ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ ආදායම රුපියල් බිලියන 1681 ක් දක්වා වර්ධනය වුණා. එසේ නම් අඩුම තරමින් එම වසරේදී රටේ ආදායමෙන් ලබාගත් ණය පියවීමට හෝ හැකියාව තිබුණා. අපට වැට් වැඩි කිරීමට සිදු වුණා. ඒ වගේම බදු එකතු කරන්නන්ගේ කණ්ඩායම වැඩි කිරීමට සිදුවුණා. ඒ හරහා ඉන්ධන මිල අඩුකිරීමේ හැකියාව අපට තිබුණා. නමුත් බොහෝ අය පැවසුවේ ඉන්ධන මිල අඩු නොකර ඉන් ලැබෙන ආදායම ණය පියවීම සඳහා යොදවන ලෙසයි. නමුත් අප ජනතාවට ඉන්ධන සහනය ලබාදුන්නා. වැටුප් වැඩි නොකර එම මුදල් ණය පියවීම සඳහා යොදවන ලෙස ඇතැමුන් පවසද්දි අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා.


ඉන්ධන මිල අඩු කිරීමෙන් අපේ ආදායම පහත බැස්සා. වැටුප් වැඩි කිරීම හරහා අපේ වියදම් ඉහළ ගියා. නමුත් ජනතාවට සහන ලබාදෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාමේ ශක්තිය අප සතු බව අප තීරණය කළා. අප දැන් ආර්ථිකය ස්ථාවරය කර තිබෙනවා. නමුත් විස¼දාගත යුතු තවත් ගැටලූ කිහිපයක් තිබෙනවා. ණය ගෙවීමට, රාජ්‍ය වියදම්, ප්‍රාග්ධන ආයෝජනයට ආදි සියලූ දේට අප දැන් මුදල් සොයාගත යුතුයි. 2018 වන විට අපට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 260 ලක්‍ෂයක්. 2016 දී අපට ගෙවීමට තිබුණේ රුපියල් කෝටි 135න් ලක්‍ෂයක්. 2019 සහ 2020 දීත් මෙවැනිම විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට අපට සිදුව තිබෙනවා. මෙතරම් විශාල ණය ප්‍රමාණයක් ගෙවන්නේ කෙසේ දැයි සිතමින් මෙහි සිටින නෝනා මහත්වරුන්ගේ මුහුණුවල ස්වභාවය දැන් තරමක් වෙනස් වී තිබෙනවා. අප මේ වන විට ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන්නේ අපේ ආදායම හරහා මෙම ණය ප්‍රමාණය ගෙවීමටයි. ඒ වගේම තවත් ගැටලූවක් අපට ඉතිරි වෙනවා.


රටේ එදිනෙදා වැටුප් ගෙවීමට, අමාත්‍යංශ පවත්වාගෙන යාමට, ඉන්ධන, විදුලිබලය ආදී වියදම් ගෙවීමට අපට සිදුවෙනවා. ඇතැම් විට අනාගතයේදී ණය ගැනීමට අපට සිදුවේවි. නමුත් එම ණය නැවත ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි. රට තුළ ආයෝජන අවස්ථා වැඩි කරනවා නම් එවැනි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. මහා මාර්ග, පාසැල් ආදිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ණය අප ලබාගත යුතුයි. නමුත් නැවත එම ණය ගෙවිය යුතුයි.


ඒවා ප්‍රතිලාභ ලැබෙන වාණිජමය ව්‍යාපෘති නොවෙයි. අප රටේ ආයෝජන අවස්ථා වැඩි කරනවා නම් මේ සියලූ දේ සඳහා ලබාගත් ණය පියවීමේ හැකියාව අපට ලැබෙනවා. ආයෝජන, කර්මාන්ත ශාලා, හෝටල්, ව්‍යාපෘති සහ වෙනත් ව්‍යාපාර ආදිය වර්ධනය වී ඒ හරහා රැකියා අවස්ථා වර්ධනය වෙනවා. එවිට ඒ හරහා වර්ධනය වූ සේවක සංඛ්‍යාව සහ එම ආයතන රජයට බදු ගෙවන විට රටේ ආදායම ඉහළ යනවා. එම නිසා 2028 – 2029 වන තෙක් රටේ ආයෝජන අවස්ථා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපට සිදු කිරීමට තිබෙන්නේ රටේ වෙළ¼දාම වැඩි කරමින් අප අපනයනය කරන භාන්ඩ සංඛ්‍යාව ඉහළ දැමීමයි. 


පසුගිය කාලයේ රටේ අපනයනය පහත බැස තිබුණා. තේ, රබර්, පොල් හැර රටේ අපනයනය සීමා වී තිබුණේ ඇඟලූම්, රබර් සහ ටයර් නිෂ්පාදන සඳහා පමණයි. ජාත්‍යන්තරයෙන් රටට කිසිඳු සහනයක් ලැබුණේ නැහැ. නමුත් අපේ ජාතික ආණ්ඩුව යටතේ දැන් ජී.එස්.පි. ප්ලස් සහනය ලබාගනිමින් භාන්ඩ 6000 ක් අපනයනය කිරීමේ අවස්ථාව අපට ලැබී තිබෙනවා. නව නිෂ්පාදන 6000 ක් නොවන අඩුම තරමින් නිෂ්පාදන 50 ක් 100 ක් අතර සංඛ්‍යාව හෝ අපනයනය කිරීමට හැකියාව තිබෙනවා නම් එය රටේ ආදායමට ප්‍රමාණවත්. අපනයනය ආදායම වැඩිකරමින් ආයෝජන අවස්ථා වැඩි කිරීමයි අප දැන් සිදුකළ යුත්තේ. අප දැන් එය ආරම්භ කර තිබෙනවා. 


හම්බන්තොට වරාය හරහා රටට රුපියල් බිලියන 4600 ක් අහිමි වුණා. නමුත් හම්බන්තොට වරාය පිළිබඳව වරාය අධිකරියත් චයිනා මර්චන්ට් සමාගමත් අතර නව ගිවිසුමකට එළැඹුනු නිසා අපට රුපියල් කෝටි 16,500 ක් ලැබී තිබෙනවා. හම්බන්තොට වරාය හරහා රටට අහිමි වූ මුදල රුපියල් කෝටි 6600 ක්. නමුත් මේ ගිවිසුම නිසා රටට රුපියල් කෝටි 16,000 ක ආයෝජනයක් ලැබුණා. මේ ආයෝජන හරහා රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමට හැකියාව ලැබෙනවා. අපේ ණය ප්‍රමාණය අඩුකර ගැනීමටත් අපට හැකි වෙනවා. මෙවැනි ක්‍රමානුකූල ආකාරයකට රටේ ආර්ථිකය පාලනය කරමින් ණය ගෙවීමටයි අප බලාපොරොත්තු වන්නේ.


රට තුළට ආයෝජන අවස්ථා සීඝ්‍රයෙන් රැගෙන ආ යුතුයි. එම වැඩසටහනට අපේ සම්පූර්ණ ශක්තිය අවධානය යෙදවීමට අප බලාපොරොත්තු වනවා. හම්බන්තොට වරායත් සමඟ අපට තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා ද ආයෝජන ලැබී තිබෙනවා. වානේ කර්මාන්ත ශාලාවක් සඳහාත් එල්.එන්.ජී විදුලි බලාගාරයක් සඳහාත් සිමෙන්ති කර්මාන්ත ශාලාවක් සඳහාත් නැව් තටාකයකටත් අපට මූලික වශයෙන් ආයෝජන ලැබී තිබෙනවා.


මේ වන විට වයඹකර්මාන්ත කලාපයක් ඇතිකිරීමට අවශ්‍ය කටයුතු අප සූදානම් කරමින් සිටිනවා. ඒ වගේම කළුතර, ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඇති කිරීමටත් අප සූදානම් වෙනවා. මේ ප්‍රදේශයත් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු අප සිදුකරනවා. එවිට නුවරඑළිය, බදුල්ල ආදි ප්‍රදේශවල ජනතාවටත් මේ ප්‍රදේශයට පැමිණ රැකියා ලබාගැනීමේ හැකියාව ඇති වෙනවා.


ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ආදී ජනාධිපතිවරුන් කර්මාන්ත කලාප ඇති කළ ආකාරයටම අපත් කර්මාන්ත කලාප ඇති කරමින් විශාල දියුණුවක් ලඟා කරගැනීමට බලාපොරොත්තු වෙනවා. මම එම ජනාධිපතිවරුන් දෙදෙනා යටතේම වැඩ කළා. මම බියගම වෙළ¼ද කලාප තුනක් ආරම්භ කළා. ඒ වගේම සීතාවක, කොග්ගල, පල්ලේකැලේ, හොරණ වෙළඳ කලාප අප ඇති කළා. ඇඟලූම් කර්මාන්තය සංවර්ධනය කරමින් කර්මාන්ත ශාලා 200 ක් රට පුරා ඉදිකිරීමට පේ‍ර්මදාස ජනාධිපතිතුමාට අප සහාය ලබාදුන්නා. එකල කර්මාන්ත ඇමති ලෙස තවත් කර්මාන්ත ශාලා 150 ක් ආරම්භ කිරීමට මට හැකියාව ලැබුණා.



ඒ වගේම රට තුළ නව හෝටල් ව්‍යාපෘති ඇති කිරීමට අප කටයුතු කළා. මේ පලපුරුද්ද මත අප දැන් රට තුළ විශාල දියුණුවක් ඇති කිරීමට සූදානම් වෙනවා. මේ ප්‍රදේශවල කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ජනතාවට ආදායම් ලැබිය හැකි අනෙක් මාර්ග දියුණු කිරීමට අප ඉදිරි වසර 3 කැප කරනවා.


ජනාධිපතිතුමාත් මමත් අපේ ඇමතිවරු සියලූ දෙනාත් මේ වැඩකටයුතු සඳහා එකතු වෙනවා. කිරි ගොවියන්ට හොඳ ගවයන් ලබාදීම එම වැඩපිළිවෙලේ එක් අංගයක්. රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සහ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා ඇති කිරීමට අප කටයුතු කරනවා. විශේෂයෙන් වතුකරයේ විද්‍යාලවලින් පිටවන තරුණ තරුණියන්ට තමන් කැමති රැකියාවක් ලබාදීමට අවශ්‍ය වැඩකටයුතු අප සිදුකරමින් සිටිනවා. එම අනාගතය නිර්මාණය කිරීමයි අප දැන් සිදුකරන්නේ. රටේ අනාගතය සාර්ථක වන්නේ ණය පාලනය කරගැනීම හරහායි. අප මේ වන විට එය පාලනය කර තිබෙනවා. අනාගතයේදීත් ණය පාලනය සිදුකරමින් ආයෝජන වැඩි කරමින් යළිත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනවා යැයි මම මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා. මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ද මම ඔබට ස්තූතිවන්ත වෙනවා.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.