• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කුමන නින්දා අපහාස සහ චෝදනා හමුවේ වුවද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අභියෝගය ජය ගන්නා බව ජනපති පවසයි

 
He news 2017 8 14. 1ඉහළ සිට පහළට වංචාව හොරකම සහ දූෂණය ගලාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස්කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජය උරදී සිටින බව ජනාධිපතිතුමා පවසයි.



කුමන නින්දා අපහාස සහ චෝදනා හමුවේ වුවද එම අභියෝගය ජය ගනිමින් ජනතාව අපේක්ෂා කරන පිරිසිදු දේශපාලන සංස්කෘතිය රට තුළ ගොඩනැගීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.


ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය වෙනුවෙන් පසුගිය (12) පෙරවරුවේ තලාව කී‍්‍රඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.


විවේචන සහ චෝදන කොතෙක් එල්ලවුවද කිසිදු රජයක් ඉටු නොකළ වැඩකොටසක් වත්මන් රජය ඉතා කෙටි කළක් තුළ රටත්, ජනතාවත් වෙනුවෙන් ඉටුකළ බව පැවසූ ජනාධිපතිතුමා රජය ප‍්‍රමුඛතාවය ලබාදී තිබෙන්නේ ගොවි ජනතාවගේ ආර්ථිකය සවිමත් කර ඒ තුළින් ජාතික ආර්ථිකය ගොඩනැගීමේ කාර්යය සඳහා බවද කියා සිටියේය.


රටේ බහුතරයක් ගොවි ජනතාවගේ සිහින මල්ඵල ගැන්වෙන මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ පෙර රජ දවසින් පසු විශාල වැව් සංඛ්‍යාවක් එකවර රට තුළ ප‍්‍රතිසංස්කරණය කෙරෙන බවද පැවසූ ජනාධිපතිතුමා ඒ තුළින් එම ප‍්‍රදේශවල ගොවි ජනතාවගේ ජීවිත සමෘද්ධිය කරා ගමන් කරනු ඇති බවද ප‍්‍රකාශ කළේය.


මෙතෙක් කිසිදු රජයකින් විසඳුමක් නොලැබුණු කැළිකසළ ගැටලුවට ද, යළිත් මේ රටේ බලයට පැමිණෙන කිසිදු රජයකට මුහුණදීමට සිදු නොවන ආකාරයෙන් ස්ථිරසාර විසඳුමක් වත්මන් රජය යටතේ ලබන වසර වන විට කි‍්‍රයාත්මක වන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඉතිහාසයේ ප‍්‍රථම වරට කැළිකසළවලින් විදුලිය උත්පාදනය කිරීමේ සහ කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ කටයුතු ද ආරම්භ කෙරෙන බව කියා සිටියේය. ඒ අනුව පළමු වටයේදී සහ දෙවැනි වටයේදී නිෂ්පාදනය කෙරෙන කාබනික පොහොර නොමිලේ ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කලේය.


මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු 6200 ක් ප‍්‍රදානය කිරීම මෙහිදී සිදුවූ අතර එය සංකේතවත් කරමින් සිය දෙනෙකුට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.


පූජනීය මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන්ද, අමාත්‍යවරුන් වන පී.හැරිසන්, චන්ද්‍රාණි බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ඉන්දික බණ්ඩාරනායක, සාරානාත් බස්නායක, යන මහත්වරුන් ද උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම මහින්දසෝම යන මහත්වරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරු පිරිසක් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



මෙම උත්සවයෙන් අනතුරුව එප්පාවල සමූපකාර සමිති පරිශ‍්‍රය වෙත ගිය ජනාධිපතිතුමා තමා එහි සැපයුම් නිලධාරියෙකු ලෙස සේවය කළ අවධියේ තමන් සමග කටයුතු කළ හිතවත් සේවකයින් හමුවී සුහද කථා බහක නිරත විය.


ජනාධිපතිතුමා ඉතා ගෞරවයෙන් පිළිගත් එම කාර්ය මණ්ඩලය එතුමා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.


සමූපකාර සමිතියේ සභාපති සරත් චන්ද්‍රසේකර මහතා විසින් ද විශේෂ සිහිවටන තිළිණයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා එහි සේවය කළ කාලයට අදාළ පෞද්ගලික ලිපිගොනුව ද සභාපතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. අනතුරුව ජනාධිපතිතුමා එම කාර්යමණ්ඩලය සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.


මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – (2017.08.12)



අද අනුරාධපුර දිස්ත‍්‍රික්කය සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට තමන් ජීවත්වන ඉඩමේ අයිතිය හිමිකරදෙන අවස්ථාවට ඔබත් සමග එක්වන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.



මහවැලි කලාප තුළ ඉඩම් ඔප්පු ලක්ෂයක් දීමේ ජාතික වැඩපිළිවෙළ අපි ක‍්‍රියාත්මක කළේ පසුගිය අවුරුද්දේ. ඒ ඉලක්ක සහගත වැඩසටහන සම්පූර්ණ කරන්න, මේ වසර අවසන් වන විට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ සඳහා සහයෝගය ලබාදුන් මහවැලි අධිකාරියේ සියලු නිලධාරීන්, කාර්යමණ්ඩල, අනිකුත් ආයතන, මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු ඒ සියලු ආයතනවලට මගේ ගෞරවනීය ස්තූතිය මා පුද කරනවා.



මහවැලි එච් කලාපය ගත් විට තඹුත්තේගම ප‍්‍රදේශය ඇතුළු අනුරාධපුර දිස්ත‍්‍රික්කයත්, ඒවගේම කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මීගලෑව කොට්ඨාසයත් මට ආධුනික ප‍්‍රදේශ නොවෙයි. දීර්ඝ කාලයක සිට මහවැලි ඇමතිවරයා විදියට වරින්වර වැඩ කිරීම නිසා මේ සෑම ගම්මානයකටම මම ගිහින් තියෙනවා. මේ ප‍්‍රදේශයේ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ මහවැලි ජල කළමනාකරණය සහ පුනරුත්ථාපන ව්‍යාපෘතිය ආරම්භ කළේ 1997 වසරේ. ඒ ලෝක බැංකුවෙන් ලබා දුන්න ණය නොවෙයි, ආධාර මත තඹුත්තේගම ප‍්‍රදේශයේ ඇළ, වැව් අමුණු රාශියක් ප‍්‍රතිසංස්කරණය කරන්න පුළුවන්කම ලැබුණා. කලා වැව පැරණි ගොවි ජනපද ව්‍යාපාරයත් සමග ඊට සම්බන්ධිතව කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ මහවැලි එච් කලාපය බිහිවුණේ 80 දශකයේ මැද භාගයේ.


මහවැලි සංවර්ධන ව්‍යාපාරය පිළිබඳව කතා කරන විට අපිට අමතක කළ නොහැකි නම් කිහිපයක් තිබෙනවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ පළවෙනි විෂය භාර අමාත්‍යවරයා පොළොන්නරුවේ සී.පී. ද සිල්වා මැතිතුමා. එතුමා 1969 තමයි පොල්ගොල්ලෙන් උතුරට අනුරාධපුර, පෙළොන්නරුව ප‍්‍රදේශවලට ජලය හරවන්න පොල්ගොල්ල අමුණ ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවේ. 70 ආණ්ඩු වෙනසත් සමග මේ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන මේ රටේ කීර්තිමත් දේශපාලනඥයෙක් වූ මෛත‍්‍රීපාල සේනානායක මැතිතුමා පොල්ගොල්ල අමුණෙ කටයුතු ඉදිරියට ගෙන ගියා. එතුමා විෂය භාර අමාත්‍යවරයා විදියට, එතුමාගේ කාලයේ එතුමා කළ විශිෂ්ටම දේ තමයි පොල්ගොල්ල අමුණ වැඩ අවසන් කරලා අනුරාධපුර, පොළොන්නරු ප‍්‍රදේශයට ජලය හැරවීමේ කටයුතු ඉටු කිරීම වගේම ඊටත් වඩා ජාතික වැදගත්කමක් තමයි එතුමා තමයි පළවෙනි වරට මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ කෘෂිකර්මාන්තය සඳහා සියයට 99 ක බලපෑම තිබෙන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ පළවෙනි ශක්‍යතා අධ්‍යයනය කරනු ලැබුවේ. ඒ ශක්‍යතා අධ්‍යයනය මොරගහකන්ද කළුගඟ වගේම මහවැලි පංච මහා ජලාශ ඉදිකිරීම පිළිබඳව කරන ලද ශක්‍යතා අධ්‍යයනයක්. එදා එය කළේ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව කාලේ, සෝවියට් ඉංජිනේරුවරු. ඒ ශක්‍යතා අධ්‍යයනය කළා වගේම 1976 ජනවාරි මාසේ 08 වෙනිදා පොල්ගොල්ලෙන් වේල්ලේ වැඩ අවසන් කරලා බණ්ඩාරනායක මැතිණිය මේ අනුරාධපුරය, පොළොන්නරුවට ජලය හැරවීම එදා විවෘත කරනු ලැබුවා. 77 මේ රටේ සිදුවූ ආණ්ඩු වෙනසත් සමග ගාමිණී දිසානායක ඇමතිතුමා මහවැලි ව්‍යාපාරයේ නායකත්වයට පත් වුණේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග කර්මාන්ත සංවර්ධනයට අවශ්‍ය විදුලිබල උත්පාදනය සඳහා ප‍්‍රමුඛත්වය දුන්නා. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරුඔය ඒ ප‍්‍රධාන ව්‍යාපෘති ආරම්භ කිරීමට ප‍්‍රමුඛත්වය දුන්නේ රටට අවශ්‍ය විදුලිබල උත්පාදනය සඳහායි. එහි දෙවෙනි අරමුණ තමයි කෘෂිකාර්මික සංවර්ධනයේ දියුණුව. ඒවගේම ඒ වැඩපිළිවෙළ තුළ මොරගහකතන්ද කළුගඟ ව්‍යාපාරයේ කටයුතු ඉටු කිරීම ප‍්‍රමුඛත්වය ලබා නොදුන්නේ එදා විදුලිබල උත්පාදන ව්‍යාපෘතියට මූලිකත්වය දිය යුතු නිසයි. මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියෙන් විදුලිය ලැබෙන්නේ මෙගා වොට් 30 ක් 32 ක් වගේ ප‍්‍රමාණයක්. සියයට 99 ක්ම මොරගහකන්ද කළුගඟ කෘෂි කර්මාන්ත සංවර්ධනය. අනුරාධපුරෙත්, පොළොන්නරුවෙත් ත‍්‍රිකුණාමලය ඒවගේම උතුර, වයඹ, කුරුණෑගල, පුත්තලම ජනතාව ගෙවී ගිය දශක කිහිපය තුළම ජලය ඉල්ලා කළ උද්ඝෝෂණ, විරෝධතා, ඉල්ලීම් මේ රජරට වගේම මේ අවට ප‍්‍රදේශවල ගොවීන්ගේ දුක් කඳුළු කතාව පිළිබඳව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසා මීට අවුරුදු 50 කට විතර කලින් එදා ගොවීන් මොරගහකන්ද ඉදිකරන්නයි කියලා ඉල්ලීම් කළා. සෑම මැතිවරණයකම වේදිකාවේ කතා කළා. විවිධ ක්‍ෂේත‍්‍රවල මේ පිළිබඳව සාකච්ඡා, සංවාද තිබුණා.



1994 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පොළොන්නරුවේ ජනාධිපතිවරණ රැස්වීමට ආපු වෙලාවේ මගෙන් ඇහුවා ආණ්ඩුවක් ආපුවහම පොළොන්නරුවට කරන පළවෙනි සංවර්ධන ව්‍යාපෘතිය මොකද්ද කියලා. මම එතුමියට කිව්වා කළ යුතු පළවෙනි දේ පොළොන්නරුවට විතරක් නෙවෙයි රජරට සහ වයඹට ඉන් එහා නැගෙනහිරටත් බලපාන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය කිරීමයි කියලා. එතුමිය වේදිකාවේ කිව්වා අපි බලයට පත් වුණු ගමන් මේ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරනවයි කියලා. නමුත් එතුමියගේ කාලසීමාව තුළත් එය සිදුවුණේ නැහැ. 2005 මහින්ද රාජපක්‍ෂ මහත්මයා බලයට පත් වුණාට පසුව එදා අපි එතුමාට කිව්වා මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ වැදගත්කම. මේ රජරට ප‍්‍රදේශයේ මැති ඇමතිවරු. මම එදා එතන මූලිකත්වය ගත්ත කෙනෙක්. 2007 ජනවාරි මාසේ 25 වෙනිදා අපි මොරගහකන්ද ජලාශයේ වැඩ ආරම්භ කරන්න මුල්ගල තිබ්බා. ජනවාරි මාසේ 25 වෙනිදා මුල්ගල තියලා 2007 ඊට පැය 48 කට පස්සේ මාව ඇමතිකමෙන් අයින් කෙරුවා. ව්‍යාපෘතියේ කටයුතු නැවතුණා. අවුරුදු 05 ක් යනකන් සල්ලි නැහැ. ඒ තුළ මම සඳහන් කරන්නට ඕනෑ මේ මොරගහකන්ද ජලාශයේ ජලය නිකුත් කිරීමට තිබුණේ 2007 වැඩ ආරම්භ කළා නම් 2012. නමුත් 2007 ඉඳලා අවුරුදු 10 ක් ගිහින් 05 න් කරන්න තිබුණු එක 10 කට පස්සේ තමයි ජලය නිකුත් කරන්න පුළුවන්කම ලැබුණේ. මම විෂයභාර අමාත්‍යවරයා නොවූවත් එදා අපේම ආණ්ඩුවේ නායකයින්ට මම කිව්වා මෙහි තිබෙන වැදගත්කම. මේ ප‍්‍රශ්නය විසඳන්න සල්ලි හොයලා දෙන්න. මේ ව්‍යාපෘතියේ කටයුතු අපි කරන්න ඕනෑ. බව. ඉතාම අමාරුවෙන් තමයි 2012 මුදල් හම්බ වුණේ. නමුත් අපි ඒ විදියට ආණ්ඩුව ඇතුළෙත් මේ ගැන සටන් කරලා ඒ තිබුණු තත්ත්වයත් එක්ක ඉතාම මන්දගාමීව තමයි වැඩ කෙරුණේ.



2015 මේ රටේ ජනතාව මාව ජනාධිපති ධුරයට පත් කර ගැනීමෙන් පසුව මම අත තියපු ප‍්‍රධාන ව්‍යාපෘතිය තමයි තමුන්නාන්සේලා වෙනුවෙන් රජරට සහ වයඹ ජනතාව වෙනුවෙන් මොරගහ කන්ද කළුගඟ වැඩ කාර්යක්ෂම කිරීම සහ වැඩ අවසන් කිරීම. ඒ තුළ අපිට පුළුවන්කම ලැබුණා අවුරුදු 02 කට පස්සේ මොරගහකන්ද වේල්ලේ වැඩ අවසන් කරන්න. ඔබ දන්නවා කළුගඟ වැඩ කෙරී ගෙන යනවා. කිලෝමීටර් හතහමාරක උමගක් තිබෙනවා. ඒ කටයුතු ළඟදීම පටන් ගන්නවා. ඒවගේම තමයි මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය යටතේ අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල ප‍්‍රදේශවල මේ ව්‍යාපෘතියට අදාළව තිබෙන කුඩා වැව් 600 ක් ප‍්‍රතිසංස්කරණය වෙනවා. මේ 600 න් ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ වැව් 300 ක් ප‍්‍රතිසංස්කරණය වෙනවා. මූලික වශයෙන්ම ඒ වැව් 300 ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා අපිට අවශ්‍ය මුදල් ලැබිලා තිබෙනවා. දැන් ටෙන්ඩර් කටයුතු කෙරී ගෙන යනවා. ඒ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ.



ඒවගේම මේ ව්‍යාපෘතියට සම්බන්ධව ලෝකයේ සියලු රාජ්‍ය නායකයින් පැමිණි 2016 පැරිස්වල තිබුණු එක්සත් ජාතීන්ගේ කාලගුණික සහ දේශගුණික විපර්යාස අරමුදලින් මම ඉල්ලීමක් කළා මේ ව්‍යපෘතියේ කටයුතු සඳහා අපිට මුදල් දෙන්න කියලා. ඒ අරමුදලින් අපිට මුදල් ලැබිලා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ වැව් 300 ක් ප‍්‍රතිසංස්කරණය වෙනවා. වයඹ සහ රජරට වැව් 600 ක් පෙර රජ දවසින් පස්සේ ප‍්‍රතිසංස්කරණය වෙන්නේ මොරගහකන්ද ව්‍යාපාරය යටතේ තමුන්නාන්සේලා වෙනුවෙන් අපේ මේ වර්තමාන රජයෙන් කියන එක මම පැහැදිලිව කියන්නට ඕනෑ.


හැරිසන් ඇමතිතුමා කිව්වා වගේ විවේචන තියෙනවා. චෝදනා තිබෙනවා. ඒ විවේචන, චෝදනා කොතෙක් තිබුණත් මීට පෙර කිසිම රජයක් නොකරපු වැඩ කොටසක් මේ ව්‍යාපෘතිවල කටයුතු කෙරී ගෙන යන විට මේ ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකරන්න මට පුළුවන්කම තිබෙනවා. ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, ත‍්‍රිකුණාමලය ඒවගේම අනික් පැත්තෙන් උතුරේ කොටසකට 50 ක් 60 ක් තිබුණු බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. ඒ තමයි ස්ථිර විසඳුම.



මේ දිස්ත‍්‍රික්ක දෙක විතරක් නොවෙයි. මේ රටේ තුනෙන් දෙකක ප‍්‍රදේශයක අද දැඩි නියඟයක් තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ මැදිහත් වීමෙන් යුද හමුදාවත් එක්ක වැව් 25 ක් ප‍්‍රතිසංස්කරණය කරලා විවෘත කරන්න මම දැන් සති දෙකකට කලින් ත‍්‍රිකුණාමලයේ ගියා. අපි වැව් 25 ක වැඩ අවසන් කළා. තවත් ඒ වැඩ කර ගෙන යනවා. ඒ වගේම මම දැන් සති දෙකකට කලින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ හොරොව්පතාන, කහටගස්දිගිලිය, මැදවච්චිය ගම්මානවලට ගියා. ඒ ප‍්‍රදේශවල ජනතාව හමු වුණා. ඒ තිබෙන තත්ත්වයන් දැන ගත්තා. පානීය ජලයේ තිබෙන ප‍්‍රශ්න. දෛනික ජීවිතයට අවශ්‍ය ජලය පිළිබඳව ප‍්‍රශ්නය. ඒවගේම ආහාර හිඟය. ආර්ථික වශයෙන් ඇති වෙලා තිබෙන කඩාවැටීම. ඒ නිසා තමයි මම එදා හොරොව්පතාන ප‍්‍රදේශයේ ඉඳලාම දුරකතනයෙන් කතා කරලා කොළඹ නිලධාරීන්ට කිව්වේ වහාම වියළි ආහාර සලාකය පටන් ගන්න කියලා. නියඟය පවතින ප‍්‍රදේශවල ලංකාවේ පවුල් ලක්ෂ පහක් සඳහා දෙන්න කියා. අපි ලබන සතියේ පවුල් ලක්ෂ පහකට වියළි ආහාර සලාකය නිකුත් කරනවා. ලංකාවේ දිස්ත‍්‍රික්ක 11 ක් අයත් වෙනවා.



ස්වභාවධර්මයාගේ ප‍්‍රශ්නය තමුන්නාන්සේලාට අපිට අද ඊයේ ආ ප‍්‍රශ්නයක් නොවේ. රජරට වයඹ ජීවත්වන ජනතාව විදියට තමුන්නාන්සේලාගේ අපේ ජීවිත කාලය තුළ අපි දන්නවා අපි නියඟ කීයකට මුහුණ දී තිබෙනවා ද කියා.


අනුරාධපුර, පොළොන්නරු, ත‍්‍රිකුණාමලය, කුරුණෑගල ගොවි ජනතාව ජලය පිළිබඳව සැමවිටම දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නේ තමන්ගේ ආර්ථිකයට බලපාන මේ ජල ප‍්‍රශ්නය සමග ඇතිවන අසීරුතා නිසායි. අපි බලාපොරොත්තු වෙනවා, ලබන සැප්තැම්බර්, ඔක්තෝබර් වෙනකොට අපිට වර්ෂාව ලැබේ කියා. ඒ තුළ මොරගහකන්ද ජලාශයත් පිරෙනවා. අපිට හැකියාව ලැබේවි මේ තියෙන නියං තත්ත්වය මගහැරලා තමුන්නාන්සේලාගේ ආර්ථික සංවර්ධනය සඳහා නව කෘෂිකාර්මික වැඩසටහන ආරම්භ කරන්න. අපි වර්තමාන රජය විදියට කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය ඒ වගේම හැරිසන් ඇමතිතුමාගේ අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය මීට අදාළ තවත් අමාත්‍යාංශ තිබෙනවා. අපි ජාතික සංවර්ධන සැලැස්මක් සකස් කරලා රටේ ආහාර නිෂ්පාදනය වර්ධනය කරන්න, ගොවි ජීවිතය නගාසිටුවන්න පුළුල් සැලසුම් රාශියක් සකස් කරලා එම වැඩසටහන 2016 සිට ක‍්‍රියාත්මක කරන්න තිබුණු වේලාවකයි මේ නියං තත්ත්වය රටේ ඇති වුණේ.



මේ නියං තත්ත්වය අපේ රටට පමණක් නොවේ. මේ කලාපයේ සියලු රටවල්වලට මේ තත්ත්වය තිබෙනවා. දකුණු ඉන්දියාවේ කෝටි ගණනක් බොන්න ජලය නැතිව අපිට වඩා පීඩාකාරී තත්ත්වයකට පත්වී තිබෙනවා. සෑම රටකම එක් පැත්තක නියඟය තවත් පැත්තක ගංවතුර. මීට සති කීපයකට පෙර මම බංග්ලාදේශයට ගියා. ගංවතුර නිසා බංග්ලාදේශයේ සියලු වගාවන් විනාශ වෙලා. මම බංග්ලාදේශයට ගොස් පහුවදා පුවත්පත් බලන විට මුල් පිටුවේම තියෙනවා බංග්ලාදේශ රජයේ නිලධාරීන් හාල් තිබෙන රටවල්වලට යවලා තායිලන්තයට, බුරුමයට, ඉන්දියාවට හාල් අරගෙන එන්න කියලා. ඉන්දියාවේ සහල් මිල වැඩි වුණා නියඟය නිසා. පකිස්ථානයේ සහල් පිළිබඳ ප‍්‍රශ්නයක් මතුවුණා ගංවතුර නිසා. මෙයයි විදේශ වෙළෙඳපොළ තත්ත්වය.නමුත් මිනිසුන්ගේ ආරම්භයේ සිට මිනිස් පරිණාමයේ අදියරේ සිට මිනිස්සු සටන් කළේ ස්වභාවධර්මය සමගයි. පසුකාලීනව වෙන වෙන සටන් ආරම්භ කළා. මිනිස්සු දියුණු වෙන්න දියුණු වෙන්න දේශපාලන පක්ෂ විදියට නොයෙක් සටන්, උද්ඝෝෂණ, විරෝධතා ආරම්භ කළා. මිනිසාගේ ආරම්භයේ සිටම ස්වභාවධර්මයාගේ අභියෝගවලට මුහුණ දුන්නා. එතැන් සිට මිනිසුන් ආහාර සොයාගන්න, සෞඛ්‍ය පහසුකම්වලට, නිවාස හදාගන්න, ගමන් බිමන් යන්න තමන්ගේ දෛනික ජීවිතයට අවශ්‍ය දේ සොයා ගැනීමට මිනිස්සු විදියට දියුණු වෙන්න අද ලෝකය නිර්මාණයවී තිබෙන්නේ මිනිසා පළමුව ස්වභාවධර්මයාට විරුද්ධව සටන් කරලා ලෝකය ජයගත් නිසායි මානව සමාජය තුළ. නියඟ, ගංවතුර, අව්ව වැස්ස, සුළි සුළං මේවා අපේ රටට වගේම ලෝකයේ සෑම මිනිසෙක්ම අත්විඳින්නේ අද ඊයේ නොවේ. අපේ රටේ ඒ අත්දැකීම් සමග අතීතයේ අප ලබා ඇති දැනුම සහ අවබෝධය සමග මේ තිබෙන තත්ත්වයන්ට අපි මුහුණදී තමුන්නාන්සේලා අපි රටක් විදියට ගොඩනැගිය යුතුයි ඉදිරියට යා යුතුයි.



ආණ්ඩුවේ ප‍්‍රමුඛතාවය තිබෙන්නේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි. ඒ සඳහා අපි සැලසුම් රාශියක් හදලා තිබෙනවා. අපි රසායනික පොහොර ඉවත් කොට තමුන්නාන්සේලාගේ අතට මුදල් එවන විට කාබනික පොහොර ගන්න කැමතිනම් රසායනික පොහොර ගන්න කියා එම වැඩපිළිවෙළෙහි අද සාර්ථකත්වයක් තිබෙනවා. මම පෙරේදා මුල්ගල තබා ආරම්භ කළා, කොළඹ කැළි කසළ ඉවත් කරලා එයින් විදුලිය නිෂ්පාදනය කරන චම්පික රණවක ඇමතිතුමාගේ අලුත් ව්‍යාපෘතිය. චම්පික රණවක ඇමතිතුමා මට ඒ වෙලාවේ කිව්වේ, කාබනික පොහොර ගොවීන්ට නිකුත් කිරීම පිළිබඳව ඉක්මණින් වැඩපිළිවෙළක් හදමු. ඒ අනුව අපිට හැකියාව ලැබේවී විශාල ලෙස නිෂ්පාදනය වන ප‍්‍රමාණය ගොවි ජනතාවට නිකුත් කරන්න කියා.



මේ රටේ කැළි කසළ ප‍්‍රශ්නය කිසිම ආණ්ඩුවක් විසඳලා තිබුණු ප‍්‍රශ්නයක් නොවේ. අපි මේ ප‍්‍රශ්නයට බැණුම් ඇහුවට, අපිව විවේචනය කළාට සෑම ආණ්ඩුවකින්ම කළේ නගරයේ, ගමේ තිබෙන කුණු එකතු කරලා කුණු කන්දක් හදන එක. කොළඹ සිට රටේ හැම තැනම කුණු කඳු දෙසිය ගාණක් තිබෙනවා. එයයි සත්‍යය. තිබෙන තාක්ෂණික දැනුම සමග කැළි කසළ කළමනාකරණය සම්බන්ධයෙන් කැළි කසළ වලින් කාබනික පොහොර නිෂ්පාදනයට, විදුලිබල උත්පාදනයට කිසිම ආණ්ඩුවක් අත තිබ්බේ නැහැ. අන්තිමට කුණුගොඩ කඩාගෙන වැටුණා අපේ ඇඟට. අවුරුදු විසි තිස් ගණනක් ගොඩගැහුණු කුණු ගොඩවල්. අපි එයට ස්ථිර විසඳුමක් දුන්නා. මීට පසු බලයට එන කිසිම ආණ්ඩුවකට මේ රටේ කැළි කසළ ප‍්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ලබන අවුරුද්ද වෙනකොට මුළු රටේම ඒ සඳහා ස්ථිර විසඳුම් අපි දී අවසන් කිසිම තැනක එවැනි ප‍්‍රශ්නයක් ඇති නොවන විදියට. මම පෙරේදා යෝජනා කළා චම්පික රණවක ඇමතිතුමාට අපි පළවන වටයේදී කාබනික පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට. මොකද ඇතැම් ගොවි මහතුන් කාබනික පොහොරවලට ආකර්ෂණය කරගැනීමට දුෂ්කර නිසා. ඒ පොහොර භාවිතා කළාම තමුන්නාන්සේලටම පැහැදිලි වේවි එහි ප‍්‍රතිඵලයක් තිබෙනවා ද නැද්ද කියා. ඒ විදියටයි අපි රටක් ලෙස ගොඩනැගිය යුත්තේ. අපි ඉන්න තැනින් වෙනස් වෙලා නව තාක්ෂණය සමග කෘෂිකාර්මික විද්‍යාත්මක ක‍්‍රම සමග අස්වැන්න වැඩි වෙන්න, නිෂ්පාදනය වැඩි වෙන්න මේ විදියේ අලුත් සැලසුම්වලට යන්න ඕන.


නව පරපුර කෘෂිකර්මාන්තයට ආකර්ෂණයක් නොමැති බව, ඒ සඳහා වැඩි ළැදියාවක් නොමැතිබව ඔබ දන්නවා. අපේ අලුත් උගත් පරපුර කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කරගැනීමට වෙළෙඳපොළ හඳුනා ගැනීම ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදීම, පුහුණුව ලබා දීම තුළ අපි බලාපොරොත්තු වෙනවා නව විශේෂ වැඩපිළිවෙළක් හදන්න. එදා වගේ නොව අද ගොවි මහත්වරුන් කුඹුරට බහින්නේ නැහැ. සියලු දේ යන්ත‍්‍ර සූත‍්‍රවලින් කරනවා. ඊළඟ ප‍්‍රශ්නය වන්නේ වෙළෙඳපළයි. තරුණ පරපුරට මේ සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීලා වෙළෙඳපළ හඳුනාගෙන කටයුතු කිරීමේ පසුබිම අපි ගොඩනගන්නට ඕන. ඒ සඳහායි අපි බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය පුහුණුවීම් සහ මගපෙන්වීම් කරන්න. අද තිබෙන ස්මාර්ට් ෆෝන් එකත් අතට අරගෙන ගොවිතැන් කරන තරුණ උගත් ගොවියෙකුට පුංචි වාහනයක් අරගෙන ගොවිපළේ සිටම තමන්ගේ කුඹුරේ සිටම කතා කරන්න පුළුවන් නගරයේ වෙළෙඳපළේ මිල ගණන් කෙසේද කියා. කතා කරන්න පුළුවන් කොළඹ වෙළෙඳපොළ මිල කොහොමද කියලා. තමන්ගේ ගොවිබිමේම සිට අන්තර්ජාලය හරහා අවට රටවල්වල ප‍්‍රධාන නගරවල වෙළෙඳපොළේ මිල ගණන් දැනගැනීමට හැකියාව තිබෙනවා. නිෂ්පාදනය, වෙළෙඳපොළ, මිල, බෙදාහැරීම, නව තාක්ෂණික ක‍්‍රම, ගබඩා කිරීම් මේ සියල්ල සඳහා අපි ආරම්භ කළ නව වැඩපිළිවෙළේ යම් පසුබෑමක් ඇති වුණේ නියං තත්ත්වය නිසායි.



නමුත් අපි විශ්වාස කරනවා නව වැඩපිළිවෙළ හඳුන්වා දී ඉදිරියේ ඇති වන වර්ෂාව සමග අලුත් උගත් තරුණ දරුවන්ට මේ පිළිබඳ අවශ්‍ය සම්පත් ලබාදී, ණය මුදල්, ආධාර දී ස්වයං රැකියා කිරීමට අවශ්‍ය සම්පත් ලබාදී නව වැඩපිළිවෙළ අපි ආරම්භ කරනවා. මේ සියලු කාර්යයන් තුළ බලාපොරොත්තු වෙන්නේ තමුන්නාන්සේලාට ආර්ථික වශයෙන් පදනමක් ඇතිකර ගැනීමයි. අද ලැබෙන ඔප්පුව පිළිබඳව තමුන්නාන්සේලා සමග කතා කරන විට මේ පිළිබඳව බොහෝ දුක් සහිත කතා කියන බව මම දන්නවා. මහවැලි ඇමතිවරයා විදියට දීර්ඝ කාලයක් මම වරින් වර කටයුතු කර තිබෙන නිසා තමුන්නාන්සේලා මේ සඳහා පත්වුණු අපහසුතාවයන් මම හොඳට දන්නවා. මේ එක ගොවි මහත්මයෙක් සමහර විට පනස් සැරයක් හැට සැරයක් සිය සැරයක් ගිහිල්ලා ඇති කොට්ඨාස කාර්යාලයට. සමහර නිලධාරි මහත්වරුන් හොඳට කතා කරලා ඇති. සමහර අය නරකට කතා කරලා ඇති. මහවැලි අධිකාරියේ අපේ නිලධාරීන් ඉතා හොඳට වැඩකරනවා වගේම තිබෙන චෝදනාත් මේ ආකාරයටමයි. මේකත් මම නොකියා බැහැ. ඊයේත් මම මේක කිව්වා.



සමහර වෙලාවට මට ලිපි එනවා. බලපත‍්‍රය හදන්න ෆයිල් එක පෙන්නලා කීයක් හරි ඉල්ලවා සමහර අය. කොළඹ යවන්න කියා කීයක් හරි ඉල්ලනවා. කොළඹින් ගෙන්නන්න කියා කීයක් හරි ඉල්ලනවා. මේ ඔප්පු දීම පිළිබඳව ගොවි මහත්වරු මාස ගාණක ඉඳන් දන්නවා. මට එච් කලාපය ඒ වගේම හුරුළු වැව කලාපය වලවේ මේ ඔප්පු ලබාදීමට දින දුන්න දවසේ සිට මට නිර්ණාමික ලිපි එවනවා, ගොවි මහත්වරුන්ගෙන් ඔප්පුව දෙනවා කියලා මෙච්චර මුදලක් ඉල්ලනවා කියා. හැම කෙනාම නෙවෙයි නමුත් මම මේවා කියන්නට ඕන. දැන් ඒවා හුඟාක් අඩුයි. එක ඉඩමට බලපත‍්‍ර තුන දුන්න නිලධාරීන් ඉන්නවා. සමහර අය දැන් විශ‍්‍රාම ගිහින්. සමහර අය ජීවතුන් අතරේ නැහැ. මහවැලි කලාපවල කොට්ඨාස කාර්යාලයේ කොට්ඨාස කළමනාකාරතුමාගේ සිට තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කරනවා නම් මේ ගොවි මහත්වරු රස්තියාදු වෙන්න ඕන නැහැ. බැණුම් අහන්න ඕන නැහැ. කාටවත් මුදල් දෙන්න ඕනෙත් නැහැ.


අපේ රටේ ඉඩම් පිළිබඳ ප‍්‍රශ්නයේදී ඉඩම් ඔප්පු දීම, බලපත‍්‍ර දීම, දීමනා දීම, ඉඩම් ගැටලු නිරවුල් කිරීම ඉඩම් අංශයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලද පළාත් ඉඩම් කාර්යාලවලද ඉඩම් කොමසාරිස් අමාත්‍යාංශ මහවැලි මේ සියල්ල ගත්විට ඒ සම්බන්ධයෙන් හොඳ නමක් නැහැ කියන එක නොකියාම බැහැ. මම ඇත්ත කියන්න ඕන. මහවැලියේ පමණක් නොවේ සියලු කාර්යමණ්ඩලවල නිලධාරීන්ගෙන් මම ඉල්ලීමක් කරනවා හොඳ නමක් හදාගන්න, හොඳ නමක් ඇති කරගන්න. මේක පිනක් මේ ඉඩමේ අයිතිය පිළිබඳව මේ අහිංසක ගොවි ජනතාව තබා තිබෙන බලාපොරොත්තු එය තමාගේ ජීවිතයේ මූලික අවශ්‍යතාවයක්. තමාගේ ප‍්‍රාර්ථනාවක් මැරෙන්න ඉස්සෙල්ලා ඉඩමේ ඔප්පුව ලබාගැනීම. මම මේ කියන්නේ සෑම නිලධාරීන්ට නෙවෙයි. වැඩි පිරිසක් හොඳයි. නමුත් සුළු පිරිසක් කරන වැරදි නිසා සියලු දෙනා කෙරෙහි එක වගේ නරක නාමයක් ඇති වෙනවා. මේ තත්ත්වය අපි වෙනස් කරගත යුතුයි. මේ තත්ත්වය වෙනස් කරගන්නේ නැතිනම් අපිට ජනතාවගෙන් හොඳ නමක් එන්නේ නැහැ. මේ ඔප්පුව ලබාදීම තුළින් බොහෝ දෙනෙකුගේ කරදර ඉවර වෙනවා කියා මම හිතනවා.


මේ එච් කලාපය ගත්විට මම කලින් සඳහන් කළා වගේ අසූව දශකයේ මුල කොත්මලේ ව්‍යාපාරය සමග කොත්මලේ වික්ටෝරියා ප‍්‍රදේශවලින් ආපු ජනතාවයි මේ ප‍්‍රදේශවල සිටින්නේ. මේ ගැටලු අපි නිරාකරණය කරගත යුතුයි. අපි සෑම කෙනෙක්ම කරන කාර්යය අවංකව ඉටුකිරීම පිළිබඳව අපි රටක් විදියට සිතිය යුතුයි. වංචාව, හොරකම, දූෂණය, නාස්තිය ඉහළම තැන සිට පහළට ගලා ගිය යුගයක් මේ රටේ තිබුණා. ඒවා වෙනස් කරන්න ගියාම නොයෙකුත් ප‍්‍රශ්න මතුවෙනවා. රටක් විදියට ඒවා වෙනස් කරගෙන යනවා. මේක දවසකින් දෙකකින් කරන්න පුළුවන් වැඩක් නොවේ. දීර්ඝ කාලයක් පුරුදු වූ දේවල් ඉහළ සිට පහළට. සාමාන්‍යයෙන් කතාවක් තිබෙනවා, ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියා. දේශපාලන වශයෙන් අපි හැමකෙනෙක්ම බලයට එන්නේ වංචාව, දූෂණය නැති කරන්න. නමුත් බලයට ආවට පසු අනිත් අය කරන වැඩේම ඒ එන අයත් කරන්න පටන් ගන්නවා. මේක තමයි මේ රටේ දේශපාලන සංස්කෘතිය. ඒ නිසායි ජනතාව අද සෑම කෙනෙකුටම දොස් කියන්නේ. සියලුදෙනාම එකයි කියන්නේ.



ඒ නිසා යහපත් දේශපාලන සංස්කෘතියක් හදන්න හොඳ රටක් හදන්න අවංකව වැඩ කරන දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් බිහිකරන්න මෙය පහසු කාර්යයක් නොවූවත් විවේචන, චෝදනා, නින්දා, අපහාස මැද අප සියලුදෙනා එකතුව සාමූහිකව මේ දේ කළ යුතු වෙනවා. එවිටයි අපිට හොඳ රටක් ගැන සතුටු වෙන්න පුළුවන්කම තිබෙන්නේ. මේ නියං තත්ත්වය අවසන් වෙලා ලැබෙන වර්ෂාව සමග තමුන්නාන්සේලාගේ ආර්ථිකය වැඩි දියුණු කරන්න රජය විදියට දියහැකි සෑම පහසුකමක්ම ලබා දිය හැකි සුභ සාධන කටයුතු සිල්ලක්ම අපි ඉටු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ කාර්යය ඉටු කිරීම සඳහා සහයෝගය දැක්වූ සියලු නිලධාරීන්ට මම ස්තූතිවන්ත වෙනවා. මේ ආදරණීය ගොවි ජනතාවටත් ස්තූතිවන්ත වෙනවා වගේම ඔබේ ජීවත තත්ත්වය උසස් කරන්න ආර්ථික වැඩි දියුණු කරන්න රටක් විදියට ගොඩනැගෙන්න ගොවි ආර්ථිකය ශක්තිමත් කරලා ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සැලසුම් සහගතව විධිමත්ව මේ ක‍්‍රියාත්මක කරන වැඩපිළිවෙළ තුළ සියලුදෙනාටම සමෘද්ධිමත් රටක යහපත්ව ජීවත්වීමේ උරුමය සහ අයිතිය තහවුරු කරන බව ප‍්‍රකාශ කරමින් ඔබෙන් සමුගන්නවා.


ස්තූතියි. තෙරුවන් සරණයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.