• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික සංහිඳියා වැඩපිළිවෙළට අවශ්‍ය ගල් මුල් නොව සියලුදෙනාගේ සහය බව ජනපති පවසයි

He news 2017 8ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළේදී අවශ්‍ය වන්නේ ඒ පිළිබඳව සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කරමින් සහය ලබාදීම මිස ගල් මුල් එල්ලකිරීම නොවන බව ජනාධිපතිතුමා පවසයි.


රටේ සියලු ජාතීන් අතර සාමය සහ සමගිය ගොඩනගමින් යළිත් රට තුළ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය ගෙන යන මෙම වැඩපිළිවෙළට ගල් මුල් ගසන සියලුදෙනාට අනාගතයේ දී කුරිරු යුද්ධයක් හමුවේ හඬා වැටීමට සිදුවනු ඇති බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.


ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අත්තනගල්ල, තිහාරිය, අල් අස්හර් මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට ඊයේ(17) පෙරවරුවේ එක් වෙමිනි.


ජාතික සංහිඳියාව සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ඇතැමුන් අපහාසයට සහ උපහාසයට ලක් කළද රට තුළ ස්ථීරසාර සාමයක් ගොඩනැගිය හැක්කේ ජාතික සංහිඳියා පිළිවෙත සාර්ථක කර ගැනීම තුළින් පමණක් බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.


මල්වතු පාර්ශ්වයේ උපාධ්‍යාය ධූරන්ධර සීනාධී සිවු කෝරලයේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පන්නිල ශී‍්‍ර ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් මෙම නව තෙමහල් ගොඩනැගිල්ල පාසල වෙත ලබාදී තිබෙන අතර සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා එය සිසු අයිතියට පවරා දෙනු ලැබීය.


2013 වසරේ මුල්ගල් තබා එහෙත් මෙතෙක් ඉදිකිරීම් සිදු නොකෙරුණු පාසල් ගොඩනැගිල්ල පිළිබඳවද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ පාසල් ගොඩනැගිල්ලක් හෝ කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මුදල් නොමැතිව මුල්ගල් නොතබන ලෙසයි.


එම ගොඩනැගිල්ලේ කටයුතු කඩිනමින් නිම කරන ලෙසද පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා දරුවන්ගේ ඉල්ලීම පරිදි නව තාක්ෂණ විද්‍යාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 20 ක මුදලක් ලබාදෙන බවද ප‍්‍රකාශ කළේය.


පූජ්‍ය පන්නිල ශී‍්‍ර ආනන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර, අත්තනගල්ල තිහාරිය මුස්ලිම් ජනතාවගේ උපහාරය පිරිනමමින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්විණි.


මහනුවර මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ, කැළණිය විද්‍යාලංකාර පරිවෙනාධිපති පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා, පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් පිරිසක් සහ විදුහල්පති එම්.ඒ.එම් අස්මීර් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදිසිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


අල් අස්හර් මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – (2017-08-17)


අපේ ගෞරවනීය පන්නිල ශ‍්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් පරිත්‍යාග කරනු ලැබූ උන්වහන්සේගේ උපදෙස් මගපෙන්වීම තුළ ඉදිකෙරුණු ලැබූ මේ පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ වැදගත් අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.


දැනට වසරකට පමණ පෙර උන්වහන්සේ විසින් ඉදිකරන ලද ඌරාපොළ මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට මම සහභාගි වුණා. අපි සියලුදෙනා දන්නවා ගෞරවනීය ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මේ ප‍්‍රදේශය තුළ කරනු ලබන ඉමහත් ශාසනික සේවාව මෙන්ම සමාජමය සේවාවන් පිළිබඳව. පාසල්වලට අත්‍යවශ්‍ය ගොඩනැගිලි ලබා දීම වගේම වෙහෙර විහාරස්ථාන ඉදිකිරීමත් ප‍්‍රදේශයේ ජනතාවගේ දෛනික ජීවිතය වඩාත් ශක්තිමත් කිරීමට පහසුකම් ලබාදීමේදීි උන්වහන්සේ විසින් කරනු ලබන පරිත්‍යාග පිළිබඳව උන්වහන්සේට ගෞරව කරනවා වගේම, උන්වහන්සේට සහයෝගය දෙන සියලු දෙනාටමත් අපි පින් අනුමෝදන් කරනු ලබනවා.


මේ රටේ නිදහස් අධ්‍යාපනය තුළ තිබෙන දියුණුව පිළිබඳව අපි සතුටු විය යුතුයි. ගෙවී ගිය දශක කිහිපය තුළ නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිඵල අපි ඉතාමත් හොඳින් ලබාගෙන තිබෙන රටක්. ලෝකයේ වෙනත් රටවල්වලට ගිය විට අපට සලකන කරුණු ගණනාවක් තිබෙනවා. අපේ රට බෞද්ධ රටක් විදියට තිබෙන පිළිගැනීම ඉන් එකක්. අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ තිබෙන ගුණාත්මකභාවය නිසා අපේ රටට කරනු ලබන සැලකීම තවත් කරුණක්. දකුණු ආසියාතික රටවල් ගත්විට, අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තිබෙන භෞතික හා ගුණාත්මකභාවය ගැන ඉතා උසස් පිළිගැනීමක් තිබෙනවා. අපේ රටට උගතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් අඩුවක් නැහැ. අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම අංශයකින්ම උගතුන් බිහිවී සිටිනවා. ඒ තුළ විවිධ ක්ෂේත‍්‍රවල ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් ශ‍්‍රී ලාංකිකයින් විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරනු ලබනවා.


ඉදිරියට අපේ රට හොඳ රටක් කරන්න, යහපත් රටක් කරන්න දියුණු රටක් කරන්න ප‍්‍රධාන වශයෙන්ම අධ්‍යාපන ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීම ඉතා වැදගත් වෙනවා. උගත්කම වර්ධනය වන්න වර්ධනය වන්න, දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න, රට ලෝකයේ විශිෂ්ට ජාතියක් බවට පත්වෙනවා. රජය, රාජ්‍ය නොවන ආයතන ආගමික පූජකතුමන්ලා ඇතුළු සෑම කෙනෙකුගේම වගකීමක් මෙන්ම යුතුකමක් ලෙස සලකන්නේ දරුවන් සඳහා හොඳ අධ්‍යාපනයක් දීමයි. ඒ තුළ හොඳ උගත්, බුද්ධිමත් ජාතියක් බිහිකිරීමයි.


අපේ ගෞරවනීය ආනන්ද ස්වාමීන් වහන්සේ, උන්වහන්සේට ලැබෙන ආධාර හා පරිත්‍යාග අධ්‍යාපන ක්ෂේත‍්‍රය වැඩි දියුණු කිරීම සඳහා ජාතියේ යහපත සඳහා කරන්නාවූ දීර්ඝ කාලීන ආයෝජනය මේ රටට ඉතාමත් වැදගත්. ඒ සඳහා උන්වහන්සේගේ තිබෙන කැපවීම උන්වහන්සේගේ නායකත්වය සහ මගපෙන්වීම වෙනුවෙන් අපි ගෞරව කරනවා. උන්වහන්සේ මේ සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් ශාසනය වෙනුවෙන් මුළු මහත් සමාජයට මේ කරන්නාවූ විශිෂ්ට මෙහෙවර පිළිබඳව ගෞරව කරනවා.


උන්වහන්සේගේ අනුශාසනාවේදී සඳහන් කළා මේ පාසල මුස්ලිම් පාසලක් විදියට තිබෙන අඩුපාඩු දැකලා මේ තෙමහල් ගොඩනැගිල්ල ලබාදීමට තීරණය කර එම කටයුතු සිදු කරගෙන යන විට උන්වහන්සේට බොහෝ නින්දා අපහාස කළා කියා. මෙයයි අද සමාජය තුළ තිබෙන තත්ත්වය. මේ දේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාට වගේම සමාජයේ සෑම කෙනෙකුටම පොදු වූ ධර්මතාවයක්.


ඇතැම් අය තාක්ෂණය යොදා ගන්නේ සමාජයේ විනාශය සඳහායි. චරිත ඝාතන සඳහා. නින්දා අපහාස සඳහා. අද ෆේස්බුක් එක වැඩි පිරිසක් යොදා ගන්නේ සමාජය විනාශ කිරීම සඳහායි. අසත්‍යටයි මූලිකත්වය ලැබිලා තියෙන්නේ.


තාක්ෂණයේ දියුණුව මිනිසාගේ යහපත සඳහා නිර්මාණය වූවත් එය අයහපත සඳහා භාවිතා කරන, මිනිසුන් නොවන මිනිසුන් පිළිබඳව අපි එතරම් පුදුමයට පත්වීම අවශ්‍ය වන්නේ නැහැ. අපි අපේ යුතුකම් සහ වගකීම් ඉටු කළ යුතු වෙනවා.


විදුහල්පතිතුමා මට දුන් කුඩා පත‍්‍රිකාවේ තිබුණා විද්‍යාලයේ තොරතුරු. පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහත්මයත් කිව්වා මට මතක හැටියට 2013 දී මුල්ගල තියලා එතනින් එහාට කිසිම වැඩක් හරියට කෙරිලා නැහැ. කම්බිත් දිරලා ගිහින් කියලා. වැරදි වැඩක් මේ කරලා තියෙන්නේ. සල්ලි නැතිව මුල් ගල තියලා. මම ප‍්‍රතිපත්තියක් විදියට කිසිම තැනක මුල්ගල තියන්න යන්නේ නැහැ. මම යන්නේ විවෘත කරන ඒවට විතරයි. මේ මුල් ගල තිබ්බ පළාතේ හිටපු අධ්‍යාපන ඇමතිවරයා මේ පාසල සහ මේ දෙමව්පියෝ රවට්ටලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව.


ඕනෑම ක්ෂේත‍්‍රයක ව්‍යාපෘතියක් පටන් ගන්න මුල්ගල තියනකොට රජයේ නිලධාරී මහත්වරුත් ප‍්‍රදේශයේ ජනතාවත් සොයා බලන්නට ඕනෑ මේ සඳහා මුදල් තියෙනවාද. මුදල් වෙන් කරලා නම් ඉදිකිරීම් කරන ආයතනය කවුද. එහි නිලධාරීන් පැමිණිලා ඉන්නවාද කියලා. ඉදිකිරීම් කරන්න බාරගෙන තිබෙන ආයතනය තමයි මුල් ගලක් තියනකොට එහි කටයුතුවලට මූලිකත්වය ගන්න ඕනෑ, මැති ඇමතිවරුන්ගේ සහ නිලධාරී මහත්වරුන්ගේ උපදෙස් මත. මෙතනත් වෙලා තියෙන්නේ මුල් ගලක් තියලා රවට්ටලා. මම ඒ පිළිබඳව දැක්කා. රංජිත් සෝමවංශ මහත්මයා මට මේ පිළිබඳව කිව්වා. මම එතුමාගෙනුත් ඇහුවා දැන් ඔබතුමාත් තනතුර බාර අරගෙන වසර එක් හමාරක් විතර වෙනවා, ඒ නිසා මේ වැඩේ ඉක්මනට කරන්න කියලා.


මෙහිදී කතා කළ ශිෂ්‍ය නායිකාව සිය කතාවේදී පැහැදිලි කලා තාක්ෂණාගාරයක් පිළිබඳව. කවුරුවත් කලින් මුල්ගල තියලා අතරමග නැවැත්වූ ඒවට සල්ලි දෙන්න මට පුළුවන්කමක් නැහැ. ඒක දැන් පළාත් සභාවේ ඇමතිතුමා කරනවා කියලා භාරගෙන තිබෙනවා. විදුහල්පතිතුමාගේත් කතා කළ දියණියගේත් ඉල්ලීමක් වුණා තාක්ෂණ විද්‍යාගාරයක්. ඇස්තමේන්තුවේ සඳහන් වෙලා තිබුණා මිලියන විස්සක්. මම අදම ඒ මිලියන 20 වෙන් කරනවා ඉදිකිරීම් කටයුතුවලට. මේක පළාත් සභාවට අයිති පාසලක්. නීත්‍යානුකූලව පළාත් සභාවෙන් එම කටයුතු කරයි. මම මුදල් දුන්නට මුල් ගල තියන්න මම එන්නේ නැහැ. මම එන්නම් විවෘත කරන්න.


ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් පැවසුවා, ස්වාමීන් වහන්සේලාත් අනුශාසනා කළා රටේ ජාතික සංහිඳියාව සඳහා රජය ගෙන යන පුළුල් ජාතික වැඩපිළිවෙළේදී සෑම කෙනෙක්ම ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව. ඒ සඳහා නායකත්වය ගෙන සිටින පිරිස්වලට ගල් මුල් ගැසීම නෙවෙයි කළ යුත්තේ. ඒ අයට යම් දවසක අඬන්න වෙයි. මේ රටේ නැවත යුද්ධයක් ඇති වෙලා අඬන දවසක් ඇති නොවීමටයි.


නොයෙක් අය ඒ වැඩසටහනට උසුළු විසුළු කරනවා. අඩු තක්සේරුවකට ලක් කරනවා. නමුත් රටේ සිදුවන භෞතික සංවර්ධනය වගේම මේ රටේ ජාතික ආර්ථිකය ගොඩ නගමින් වාසනාවන්ත රටක් බවට අනාගතයේ පත්වෙන්නේ ජාතික සංහිඳියා පිළිවෙත් ශක්තිමක් වෙලා මේ රටේ නැවත යුද්ධයක් ඇති නොවෙන ආකාරයට සිංහල දමිළ මුස්ලිම් සියලු ජනකොටස් අතරේ සහෝදරත්වය විශ්වාසය සහ මිත‍්‍රත්වය ගොඩනැගුනු දවසක පමණයි. එය ඉතා පැහැදිලිව කියන්නට ඕනෑ. ඒ අසීරු අමාරු කාර්යයටයි අපි අත ගහලා තියෙන්නේ.


මේ ප‍්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර තිබෙන සහෝදරත්වය විශ්වාසය සහ මිත‍්‍රත්වය රටේ අනෙක් ප‍්‍රදේශවලටත් හොඳ ආදර්ශයක්.


මේ ආදරණීය දරුවන්ගේ අනාගතය සඳහා රජයක් විදියට අප විසින් කළ යුතු වගකීම නොපිරිහෙළා ඉටුකරන බවට සඳහන් කරමින් ඔබෙන් සමුගන්නවා.


ස්තූතියි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.