• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඊළඟ වසර 10 තුළ දකුණේ සංවර්ධන පෙරළියක්

Pm news 2017 8 21ඊළඟ වසර 10 තුළ දකුණේ සංවර්ධන පෙරළියක් දක්නට ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.



වතුකරයේ ද්‍රවිඩ පාසල්වල උසස්පෙළ, විද්‍යාව විෂය පාසල් 25 ක ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන බවත් අධ්‍යාපනයේ ඉහළටම යා හැකි මාර්ග උදාකර දී තිබෙන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.


අකුරැස්ස ආසනයේ හුලංදාව, මාලිම්බඩ, තිබ්බටුවා යන ප්‍රදේශයන්හි ප්‍රාදේශීය සභා කාර්යාල විවෘත කිරීම් හා වතු නිවාස ව්‍යාපෘති හා කුඩා ජනහමු අවස්ථාවන්වලට සහභාගී වෙමින්  පසුගියදා අගමැතිවරයා මේ බව සඳහන් කළේය.


දකුණේ දියුණුව, මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වන අතර මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණ බවත් මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙන අතර ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කර ආරම්භ කර තිබෙන බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.


 අගමැතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.


"බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ගැන දයානන්ද වික්‍රමසිංහ මැතිතුමා සමග සාකච්ඡා කළා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹිමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි.


බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. නමුත් ආසනය වෙනුවෙන් කරන සේවය අප විශේෂයෙන්ම අගය කරනවා.


අද අප ප්‍රාදේශීය සභා කාර්යාල විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම, ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා.


අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. 2015 ආණ්ඩුව ලබාගෙන රටට කළයුතු මූලික වැඩකටයුත් පසුගිය අවුරුදු 2ක් ඇතුළත සිදු කළ නිසා එහි ප්‍රතිඵල අද ලැබෙමින් පවතිනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා වශයෙන් පත්වී ජනාධිපති ධූරයට පත් වුවායින් පසුව අගෝස්තු මස 16 වැනිදා මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වා. එක්සත් ජාතික පක්‍ෂයට 2/3 බලය ලැබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ ජාතික ආණ්ඩුවක් ඇති කරන බව ප්‍රසිද්ධියේ කියා සිටියා.


ජනාධිපතිතුමාත්, මමත් එදා සාකච්ඡා කරලා එම ඓතිහාසික වැඩකටයුත්ත සිදු කළා. ඩී.එස්. සේනානායක මහතා මේ රටට නිදහස ලබාගත්තා. එදා එතුමාට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණේ නැහැ. කෙසේ හෝ ආණ්ඩුවක් ඇති කළා. ඉන් අනතුරුව දේශපාලනයේ විශාලම පෙරළිය ඇති වුණේ 1956 වසරේය. එක්සත් ජාතික පක්‍ෂය පරාජය වී බණ්ඩාරනායක මහතා අගමැති වෙලා 2/3 බලය සමඟ ආණ්ඩුවක් ඇති කළා. මීළඟ දේශපාලන හා ආර්ථික පෙරළිය ඇති වුණේ 1977 ජේ.ආර්. ජයවර්ධන මහතා අගමැති වුණායින් පසුවයි. එම පාර්ලිමේන්තුවට 5/6 ක බලයක් හිමුවුණා. මමත් පාර්ලිමේන්තුවට ඒ සමයේ පැමිණියා. විවෘත ආර්ථිකය ඇතුළු විශාල සංවර්ධනයක් එදා ඇති වුණා. මෙම කාල වකවානු දෙකේදීම 2/3 බලය සමඟ ඉදිරියට ගියා. 


ඊළඟ විප්ලවය ඇති වුණේ 2015 වසරේදීය. පාර්ලිමේන්තුවේ 2/3 බලයක් නොමැතිවත් ඒ විප්ලවය ඇති කර තිබෙනවා. ප්‍රධාන පක්‍ෂ 2 එකට එක්වී ජාතික ආණ්ඩුවක් ඇති කර තිබෙනවා. දකුණු ආසියාවේ කවුරුත් එය සිදු කළේ නැහැ.


අපේ ජාතික ආණ්ඩුවේ මුල් වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමඟ සාකච්ඡා කොට යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි. 


දැවන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. "බට්ටා" වාහනවල බද්ධත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්‍ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.


තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමඟ බඩු භාණ්ඩ, මගින් ප්‍රවාහන කටුයුතු සඳහා වාහන අවශ්‍යයි. අප කුඩා වාහන ගෙන්වීම අරම්භ කළේ 1977 දී  මුල්වරට ත්‍රීරෝද රථ ගෙන්වීමෙන්.


ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප ඒවායේ මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරු පැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි.


තරුණයන් සඳහා යතුරු පැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරු පැදි මිලදීගත හැකියි. නමුත් කුඩා වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මාන වල ආර්ථිකය දියුණුවට ගත් වෙනවා. 


මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳ සැල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. එකළ බාබර් සාප්පුවක් පමණක් තිබුණා. අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි.
රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වුයේ නැහැ.


හෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා.


අප රට බාරගනිද්දි ආදායම වැඩි කරන්න තවත් මර්ග තිබුණා. එදා පැවැති ප්‍රෙටල් ගාස්තුව මතකද? සියලූම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලුම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳ පොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ පළ අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට දී වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි. 


ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩු වුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලූත් බදු පැනවීමට සිදු වුණා. අන්තර්ජාල බද්දක් පැනවුයේත් ඒ අනුවයි. තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල් දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදු වෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.


නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි. මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමඟ සාකච්ඡා කොට අන්තර්ජාල බද්ධ ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ධ අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා.


ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩු පාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩි වෙනවා.


දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.


අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කොට පාර්ලිමේන්තුව ඉදිකළා. කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමඟත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.


ජේ.ආර්. ජයවර්ධන ජනපතිටවත්, ප්‍රේමදාස ජනපතිටවත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිටත් මුහුණ දීමට සිදුවී තිබෙනවා.


ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා. අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තාටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත් වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යානා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොලේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නත් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙනුයි.


පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමුයැයි චීන ජනපති අපට පැවැසුවා. දැන් අප වසර 70 ක් සඳහා චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමකට එහි කළමණාකරන මෙහෙයුම් දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. මේ පියවර නිසා අපට ලැබී තිබෙන මුදල ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා.


මත්තල ගුවන් තොටුපොල වැඩිදියුණු කොට කළමණාකරන මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන් වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන් තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වකට පැමිණේවි.


චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු. 


හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලූම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්.


හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර, විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තකරණයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබනෙවා. ලබන වසරේ ආරම්භ කොට ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.


වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදු කරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන් කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපෘතිය ආරම්භ කරනවා.


එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ, වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි.


සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.


වැවිලි සමාගමේ සේවය කරන ජනතාවට නිවාස සහිත ඉඩමක් ලබා දෙන බව එදා 2015 මැතිවරණ සමයේ පැවැසුවා. වතුකරයේ ජනතාවට විශේෂයෙන්ම ද්‍රවිඩ ජනතාවට ඔවුන්ගේම නමට බිම් අඟලක් තිබුණේ නැහැ. විශාල විදේශ විනිමය ගෙනත් දෙන මේ ජනතාවට ඔවුන්ගේම නමට බිම් අඟලක් නැහැ. මේ හේතු වෙන් එදා ඒ පොරොන්දුව ලබාදෙමින් අද එම පොරොන්දුව ඉටුකරමින් සිටිනවා.


වතුකරයේ ද්‍රවිඩ පාසල්වල උසස්පෙළ, විද්‍යාව විෂය පාසල් 25 ක ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපනයේ ඉහළටම යා හැකි මාර්ග උදාකර දී තිබෙනවා.
දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලියුවා. දැන් අපි දකුණේ පෙරලිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරලිය දැකගන්නට හැකිවේවි.


මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1ක වටිනාකම රුපියල් ලක්‍ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් ශීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යා යුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි.
දකුණේ දියුණුව, මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි.


මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම්ද ආරම්භ කර තිබෙනවා.


ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩනගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්‍ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන ලබා දී වැඩකටයුතු කළා. 


දැන් අප සංවර්ධනය යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාභ ලබන දේවල් බවට පත් කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි."

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.