• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කාන්තාවන්ගේ අයිතින් තහවුරු කිරීමට කටයුතු කරනවා - අගමැති

Ranil wickramasinghe 2017 PICමෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික හා දේශපාලන යන අංශයන්හි ශක්තියත් දෙකම දියුණු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා පැවසීය.

 




එක්සත් ජාතික පක්‍ෂය විපක්‍ෂයේ සිටින විට කාන්තා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට අප කැප වීමෙන් කටයුතු කළ බවත් උතුරේ කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳීමටත්, කාන්තා මූලික පවුල් සඳහා ආධාර ආදිය ලබාදීමටත් කටයුතු කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.


අගමැතිවරයා ප්‍ර‍කාශ කළේ සමස්ත කාන්තාවන්ගේ දේශපාලන සහ ආර්ථික අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන බවයි.


මාලඹේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ  පසුගියදා පැවැති කාන්තා බලගැන්වීමේ "දිරිය කතුන්" වැඩසටහනට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. ඒ මහතා සිදු කළ කතාව පහත සඳහන් වේ.


" සුජීව සේනසිංහ ඇමැතිතුමාගේ කඩුවෙල ආසනයේ කාන්තා සංවිධානය අද අලූත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. සුජීව සේනසිංහ ඇමැතිතුමා රාජ්‍ය ඇමැති ධූරය බාර ගෙන මලික් සමරවික්‍රම ඇමැතිතුමා සමග එක් වී විශාල වැඩ කොටසක් ඉටු කරමින් සිටිනවා. එතුමාගේ ප්‍රධානත්වයෙන් තායිලන්තයේ ප්‍රධාන සමාගමක් සමග එක්ව කලූතර ප්‍රදේශයේ අක්කර 400 ක් පුරා පැතිරුණු විශාල කර්මාන්ත කලාපයක් ආරම්භ කිරීමට අප කටයුතු සූදානම් කර තිබෙනවා. 



ඉන් පසුව අවිස්සාවේල්ල ප්‍රදේශයේත් එවැනිම විශාල කර්මාන්ත කලාපයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කලූතර, අවිස්සාවේල්ල සහ වැලිගම ප්‍රදේශයන්හි ආරම්භ කෙරෙන කර්මාන්ත කලාපයන්ට අමතරව හම්බන්තොට තවත් කර්මාන්ත කලාප කිහිපයක්ම ආරම්භ කිරීමට නියමිතයි. එම ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ඇතුලූ විශාල වැඩ කොටසක් සුජීව සේනසිංහ ඇමැතිතුමා යටතේ ක්‍රියාත්මක වෙනවා. 


මේ සියල්ල සිදු කෙරෙන අතරතුර රටේ අපනයනය වැඩි කිරීම ද සිදු කළ යුතුයි. අද රටේ අපනයනයට වඩා ආනයනය වැඩි වී තිබෙනවා. මේ හේතුවෙන් අපට ණය වීමට සිදු වෙනවා. එම ණය ගෙවීමට යාමේ දී තවත් ගැටලූ ඇති වෙනවා. මේ සියලූ දේ සඳහා ආර්ථික සංවර්ධන උපාය මාර්ග අමාත්‍යාංශය යටතේ එතුමා ගෙන යන වැඩපිළිවෙළ අප අගය කළ යුතුයි. 


ඒ වගේම පාර්ලිමේන්තුව තුළත්, රූපවාහිනියේ සියලූ සාකච්ඡා සඳහාත් ඉදිරිපත් වන ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ’’Front Line of Politics"  ලෙස සුජීව සේනසිංහ ඇමැතිතුමා ඇතුලූ තරුණ මන්ත්‍රීවරු අපේ පක්‍ෂය වෙනුවෙන් වැඩ කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම අද දිනයේ එතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන මෙම වැඩසටහනත් අපගේ ඇගයීමට ලක් විය යුතුයි. 


මේ වැඩපිළිවෙළ මගින් මෙහි සිටින කාන්තාවන් සියලූ දෙනාටම රෙදි මහන යන්ත්‍ර ලබා දෙන අතර එමගින් මේ කාන්තාවන්ට අලූත් ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනවා. අද මෙහි සිටින්නේ මේ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන පළමු කණ්ඩායම පමණයි. මෙම කාන්තා සංසදය තුළ සිටින මීටත් වඩා අති විශාල සංඛ්‍යාවකට මෙම වැඩසටහන යටතේ ඉදිරියේදීත් රෙදි මහන යන්ත්‍ර ලබා දෙනවා. 


ඇඟලූම් කර්මාන්තය ඉතා හොඳ ව්‍යාපාරයක්... වර්තමානය වන විට විවිධ මාදිලියේ ඇඳුම් පැළඳුම් සඳහා විශාල ඉල්ලූමක් පවතිනවා. අද බොහෝ තරුණ තරුණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ වෙළෙඳපොළෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගන්නවාට වඩා තමන් වෙනුවෙන්ම නිර්මාණය කරන ඇඳුම් පැළඳුම් භාවිතා කිරීමටයි. මේ ප්‍රවණතාවය ලෝකයේ සෑම රටකම දැකිය හැකියි. එම නිසා ලෝකයේ කෙතරම් විශාල ඇගලූම් නිෂ්පාදන ආයතන තිබුණත් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වන්නේ තමන් වෙනුවෙන්ම නිර්මාණය කරගත් හෝ තමන් විසින්ම නිර්මාණය කර ගත් ඇඳුම් පැළඳුම්වලටයි. 



මේ ආකාරයට මහා පරිමාණ සහ සුළු පරිමාණ වෙළෙඳපොළවල් දෙකටම ඇතුළත් වීමේ අවස්ථාව අපි ජනතාවට ලබාදිය යුතුයි. මෙවැනි වෙළෙඳපොළ ගණනාවක් ලෝකයේ දැකිය හැකියි. අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා සුපිරි වෙළෙදැසල් කෙතරම් තිබුණත් ඇතැමුන් වැඩි කැමැත්තක් දක්වන්නේ පොළට ගොස් තමන්ට අවශ්‍ය බඩු මිලදී ගැනීමටයි. අද පවතින ආර්ථිකය තුළ මෙම කණ්ඩායම් දෙකම දැකිය හැකියි. 


අද ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා කාන්තාවන්ට විශාල සහනයක් ලැබෙනවා. මෙම මහන යන්ත්‍ර ලබා ගෙන සුළු ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ණය ලබාදීමේ වැඩසටහනක් ද මේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සිංගර් සමාගමත්, හැටන් නැෂනල් බැංකුවත් එකට එකතු වී තිබෙනවා. මේ සියල්ල ලබා දෙන්නේ ස්වයං රැකියා ආරම්භ කරන ඔබ සඳහායි. 


තවත් වසර පහකින් මම මේ ස්ථානයට පැමිණෙන විට මේ පිරිසෙන් ස්වයං රැකියා කරන්නන් ඉතිරිව නැති බව මට පෙනේවි. ඊට හේතුව ඒ වන විට ඔවුන් කුඩා ව්‍යාපාරිකයන් බවට පත් වන නිසයි. කොටසක් ස්වයං රැකියා කරන විට තවත් කොටසක් කුඩා ව්‍යාපාරිකයන් බවට පත්වී ඔවුන් යටතේ සේවකයන් කිහිප දෙනෙකු සේවය කිරීම දක්වා දියුණුවක් ලබාගත හැකියි. තවත් අවුරුදු පහකින් පමණ මෙහි පැමිණියහොත් ඒ සියලූම දෙනා ළඟ පරිගණක යන්ත්‍රත් තියෙන්න පුලූවන්. මොකද නවීන ක්‍රමයට එය අත්‍යවශ්‍ය වන නිසයි. 


ඇතැමුන් ඒ වන විට තමන්ගේ ජංගම දුරකථනයෙන් තමන්ට අවශ්‍ය මෝස්තරය ඍජුවම මහන මැෂිම දක්වාම සම්බන්ධ කිරීම දක්වා දියුණු වීමට හැකියි. ඉන් තවත් අවුරුදු 10 ක් ගත වන විට කුමක් සිදුවේදැයි මට කිව නොහැකියි. කෙසේ හෝ මෙම කුඩා ව්‍යාපාරිකයන් සහ ස්වයං රැකියා කරන්නන් යන ඛාණ්ඩ දෙකම අපට අවශ්‍ය වනවා. 


ඉදිරියේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු අප සිදු කරනවා. මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වසරකට ලක්‍ෂ 20 ක් පමණ වනවා. අපේ අරමුණ එය ලක්‍ෂ 50 දක්වා වර්ධනය කිරීමයි. ඒ හරහා අප බලාපොරොත්තු වන්නේ විශාල අලෙවියක් ඇති කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමයි. මේ සියල්ල තුළින් අප උත්සාහ කරන්නේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි. 


මහා සංඝ රත්නය මෙහිදී ප්‍රකාශ කළ ආකාරයට එදා රට ණය බරට හසු වී තිබුණා. මේ ණය ප්‍රමාණය නිසා අපේ ආණ්ඩුව එක් වසරක් හෝ පවතින්නේ නැති බව ඇතැමුන් එදා පැවසුවා. නමුත් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ පරමාර්ථය ඇතිවයි. මේ වන විට අපි ක්‍රමක්‍රමයෙන් ආර්ථිකය ගොඩනගමින් සිටිනවා. 



2015 – 2016 කාලවල දී ජනතාවට ප්‍රශ්න කිහිපයකට මුහුණදීමට සිදුව තිබුණා. නමුත් 2017 වසරේ මේ වන විට ජනතාව අතේ මුදල් ගැවසීමට පටන් අරන්... එළැඹෙන සිංහල අලූත් අවුරුද්ද වන විට මේ තත්ත්වය තවත් වර්ධනය කර ගත යුතුයි. රටේ වැඩිම අලෙවියක් වාර්තා වන්නේ නත්තල් කාලයේ සහ සිංහල අලූත් අවුරුදු කාලයේයි. එම අලෙවිය තවදුරටත් වැඩි කරමින් ශක්තිමත් ආර්ථිකයක් අප ඇති කරන්නේ කෙසේද? 


සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට විදේශ ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් රටට ගෙන්වා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර දේශීය ආයෝජකයන්ට සහන සලසා ඔවුන්ව දිරිගැන්වීමට කටයුතු කරනවා. ඒ වගේම කුඩා ව්‍යාපාරිකයන් ශක්තිමත් කරනවා. රටේ ආර්ථිකය ශක්තිමත් වීමට අනුකූලව රැකියා අවස්ථා ඇති වෙනවා. මේ වන විට රටේ රැකියා අවස්ථා බොහොමයක් නිර්මාණය වී තිබෙනවා. එවිට ජනතාවගේ ආදායම ඉහළ යනවා. ජනතාවගේ පසුම්බියේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි වූ විට සුපිරි වෙළෙඳසැලට, වෙළෙඳසැලට හෝ පොළට පැමිණ බඩු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. 


අප ක්‍රියා කරන්නේ එම ආර්ථික දියුණුව ඇති කිරීමටයි. ආර්ථිකය දියුණු වූ විට ආගමික සිද්ධස්ථාන සඳහා මීටත් වඩා ආධාර උපකාර ලබා දීමට හැකි වෙනවා. පැවැති රජයන් ආදායම් උපයා ගත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම මගිනුයි. නමුත් අපි එම පිළිවෙත අනුගමනය කළේ නැහැ. ලෝක වෙළෙඳපොලේ පවතින ඉන්ධන මිලට අනුව අපේ තෙල් මිල පාලනය කළා. ඉන්ධන මගින් අපට අධික ලාභයක් හෝ අලාභයක් අවශ්‍ය නැහැ. ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදය ඔස්සේ අපි ජනතාවට සහනයක් ලබා දුන්නා. 


ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 20,000 බැගින් ලබාදීම අප ආරම්භ කළා. ඒ අනුව ඉදිරි වසර තුන අපේ සංවර්ධන යුගය ලෙස අප වැඩ කටයුතු කරනවා. ඒ පිළිබඳව එළැඹෙන සඳුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රටට හෙළි කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ආර්ථික වැඩසටහනේ අපේ අවදානය යොමු වූ විශේෂ කණ්ඩායමක් සිටිනවා. ඒ කාන්තාවයි. 



වැවිලි කර්මාන්තයේත්, ඇගලූම් කර්මාන්තයේත්, රාජ්‍ය සේවයේත් අංශ ගණනාවක සිටින්නේ කාන්තාවන්. මැදපෙරදිග රැකියා ක්ෂේත්‍රයේ වැඩි ප්‍රමාණයක් කාන්තාවන්. ඒ අනුව රටේ ආර්ථිකය වැඩි වශයෙන් බලාත්මක කරන්නේ කාන්තාවන් විසින්. එම කාන්තාවන් හැමදාම රටේ ආර්ථික ව්‍යූහයේ යටිපෙළෙහි පමණක් සිටිය යුතු නැහැ. ඔවුන් එතැනින් ඉහළට පැමිණිය යුතුයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ලේකම්වරුන් දක්වා පැමිණිය යුතුයි. මේ කටයුතු ක්‍රමක්‍රමයෙන් ආණ්ඩුව විසින් සිදු කරමින් සිටිනවා. පුද්ගලික අංශයේ අධ්‍යක්‍ෂක, කළමනාකාර ධූරවලට කාන්තාවන් පත්විය යුතුයි. අපේ රටේ එම ප්‍රවණතාවයෙහි අඩුවක් තිබෙනවා. නීති සහ වෛද්‍ය වෘත්තියෙහි කාන්තාවන්ගේ නියෝජනය හොදින් දක්නට ලැබෙනවා. කම්කරු ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස 35% ක් වනවා. එය 40% දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 



ඒ වගේම කාන්තාවගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම පිළිබඳවත් අප අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව මේ වැඩසටහන හරහාත් කාන්තා ව්‍යාපාරිකයන් බිහිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. කාන්තාවගේ ආර්ථික ශක්තිය ඉහළ නංවන අතරම මේ වන විට අප කාන්තාවගේ දේශපාලන ශක්තියත් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනවා. මෙතෙක් කල් මැතිවරණ සඳහා කාන්තා නියෝජනය ඉතා පහළ අගයක් ගෙන තිබුණා. 


මනාප ක්‍රමය සමඟ කාන්තාවන් සහ අලූත් තරුණයන් පවා මැතිවරණවලට තරග කිරීමට අකමැති වුණා. එවිට සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට, ඇතැම් තරුණ තරුණියන් බලෙන් මැතිවරණවලට ඉදිරිපත් කරවීමට එකල මට සිදු වුණා. 



නමුත් දැන් තත්ත්වය වෙනස් වී තිබෙනවා. කේවල සහ අනුපාත ක්‍රමය සම්මිශ්‍රණය වූ මැතිවරණ ක්‍රමයක් අප ඇති කර තිබෙනවා. කේවල ක්‍රමය යටතේ මැතිවරණ පවත්වන විට මනාප 25% - 30% ක් ලබා ගත්ත ද ඇතැම් අපේක්‍ෂකයන් පරාජය විය හැකියි. නමුත් ඔවුන්ට ද අවස්ථාවක් ලැබිය යුතුයි. පසුගිය වසරේ මෙන් ඡන්ද අපේක්‍ෂක නාම ලේඛනයක් ඉදිරිපත් කර, ඡන්දය ලබා දෙන්නේ කාටදැයි යන ක්‍රමය එළැඹෙන මැතිවරණයේ දී ක්‍රියාත්මක වන්නේ නැහැ. එය කොට්ඨාශවලට බෙදෙනවා. කොට්ඨාශ ක්‍රමය අනුව කඩුවෙල ආසනය කොට්ඨාශ 28 කට බෙදෙනවා. එම කොට්ඨාශ 28 කට අපි අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් 28 ක් පත් කළ යුතු වෙනවා. 



එවිට ජනතාව තමන්ගේ ප්‍රදේශය වෙනුවෙන් සේවය කිරීමටට වඩාත් සුදුසු පුද්ගලයාට මනාපය ප්‍රකාශ කරනවා. එම ක්‍රමය වඩාත් පහසුයි... නුසුදුසු පුද්ගලයන් කවුදැයි ජනතාව හඳුනා ගන්නවා. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයාට තම ප්‍රදේශය දියුණු කළ හැකි දැයි ජනතාව දන්නවා. ඒ අනුව තමන්ට සුදුසු අපේක්‍ෂකයා පහසුවෙන් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා. 



එමෙන්ම මැතිවරණයෙන් පරාජයට පත් වන පක්‍ෂවලට හිමි වන අනුපාත ක්‍රමයක් ද මෙම මැතිවරණයට ඇතුලත් වෙනවා. අපි තවත් අත්හදා බැලීමක් කරනවා. ඒ 25% කාන්තා නියෝජනයක් ඇති කිරීමයි. එක් එක් පක්‍ෂ එය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි අප අවධානයෙන් සිටිනවා. සෑම පක්‍ෂයක්ම මෙය කළ යුතුයි. මේ ආකාරයට අපි අලූත් ක්‍රමවේදයක් ඇති කර තිබෙන අතර මැතිවරණයෙන් අනතුරුව එහි යම් අඩුපාඩු දැකිය හැකියි. නමුත් පළාත් සභා මැතිවරණයේ දී කාන්තා නියෝජනය අනිවාර්යෙන් 25% දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා.



මේ අත්හදා බැලීම සඳහාත්, නව මැතිවරණ ක්‍රමය සඳහාත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාලය වුවමනා බැවින් පළාත් සභා මැතිවරණය අවුරුද්දකින් කල් දමා තිබෙනවා. මේ අනුව ක්‍රියා කළ විට පළාත් සභාව තුළත් කාන්තා නියෝජනය ඉහළ යනවා. ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවටත්, පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවටත් හොඳ ක්‍රියාකාරීන්ට තේරී පත් විය හැකියි.



මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික ශක්තියත්, දේශපාලන ශක්තියත් යන අංශ දෙකම දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්‍ෂය විපක්‍ෂයේ සිටින විට කාන්තා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට අප කැපවුණා. තවදුරටත් ඒ සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡා සිදු කරනවා. උතුරේ කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳීමටත්, කාන්තා මූලික පවුල් සඳහා ආධාර ආදිය ලබාදීමටත් අප කටයුතු කරනවා. අපේ  සමස්ථ කාන්තාවන්ගේ දේශපාලන සහ ආර්ථික අයිතිය තහවුරු කිරීමට අප කටයුතු කරන බව මම කියන්න කැමතියි.



පක්‍ෂයක් ලෙස පසුගිය වසර 10 තුළ අප තීරණ ගත්තත් ඒවා ක්‍රියාත්මක කිරීමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ආණ්ඩු බලය ලබාගත් මේ අවස්ථාවේ අප එම තීරණ ක්‍රියාත්මක කරනවා. කාන්තාවන්ට මෙවැනි නියෝජනයක් ලබාදීම පිළිබඳව ඇතැමුන්ට ප්‍රශ්න තිබුණා. නමුත් මේ වන විට රටේ කාන්තා ප්‍රතිශතය ජනගහනයෙන් 50% ඉක්මවා තිබෙනවා. එම නිසා තවත් ඒ පිළිබඳව වාද විවාද කර පළක් නැහැ. එබැවින් පාර්ලිමේන්තුව තුළත් 25% ක අවම නියෝජනයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. එය නෝර්වේ රාජ්‍යයේ වගේ 50% ක කාන්තා නියෝජනයක් බවට පත් වන්නට පුළුවන්... කෙසේ නමුත් ආරම්භයක් ලෙස අප මේ කටයුතු සිදු කරනවා. ඉදිරි වසර 10 තුළ දී අපට එමගින් විශාල ප්‍රගතියක් ලබා ගත හැකියි."

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.