• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජගත් ජයසූරිය මහතාට හෝ මේ රටේ කිසිදු රණවිරුවෙකුට අත තැබීමට ලෝකයේ කිසිවෙකුට ඉඩ නොතබනවා

He news 2017 9 4ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (03) පස්වරුවේ කොළඹ කැම්බල් පිටියේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර උත්සවය අමතමිනි.



“නොකිලිටි ගමනක් ජන බලය – හරි අතට”  තේමාව යටතේ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සංවත්සර උත්සවය අභිමානවත් අයුරින් පැවැත්විණි.


ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ලෙස ශක්තිමත් කරනවා සේම සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, ධීවර, රණවිරු සියලු බලවේග එක්වූ ශක්තිමත් පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනගන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.


ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය උගතුන්ගෙන් මෙන්ම බද්ධිමතුන්ගෙන් සැදුම්ලත් පක්ෂයක් විය යුතුවා මෙන්ම ආගමික නායකයින්ගේ උපදෙස් සහ අනුශාසනා අනුව කටයුතු කරන, එසේම බණ්ඩාරනායක මැතිතුමා සහ මැතිණිය ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන දේශපේ‍්‍රමී, ජනතාවාදී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ලෙස ගොඩනැගිය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.



එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඇති බවට අද ඇතැමුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට චෝදනා කළ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන් මග ආරම්භ නො කළේ නම් ආර්ථික සම්බාධක මෙන්ම ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනාවලට රටක් ලෙස අපට මුහුණදීමට නොහැකි වන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.


එක්සත් ජාතික පක්ෂය මේ රටේ ජනාධිපති ධූරය සඳහා තෝරාගනු ලැබුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාවීම හේතුවෙන් එම සම්මුතිවාදී ආණ්ඩුවට වඩා සහයෝගීතා ගමනක් යාමට හැකිවූ බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.


ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර උත්සවයට සහභාගීවන ලෙස සියලු මන්තී‍්‍රවරුන්ට ආරාධනාපත් යොමු කළ විට එක්සත් ජාතික පක්ෂය සමග සිටින තාක් කල් පක්ෂය සමග එක් නොවන බවට නිකුත් කර තිබූ ප‍්‍රවෘත්ති නිවේදනය පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ රටක් අභියෝගවලට මුහුණදුන් විට එම අභියෝගවලින් රට නිදහස් කර ගනිමින් රට ඉදිරියට ගෙන යාම සඳහා දේශපාලන, ජාති, ආගම්, භාෂා බේදයකින් තොරව සියලුදෙනා එක්වූ බවට ලෝක ඉතිහාසයේ සාක්ෂි සාධක රැසක් ඇති බවයි.


දූෂණය, වංචාව, අක‍්‍රමිකතාවය සහ පවුල්වාදය දේශපාලනයෙන් ඉවත්විය යුතු අතර බලය, බලය ශක්තිමත් කිරීම සඳහා නොව රටේ සහ ජනතාවගේ යහපත සඳහා භාවිතා කළයුතු බවත්, බලයට පත්වීම සහ බලයෙන් ඉවත්වීම සෑම විටම ජනතා අභිලාෂය අනුව සිදුවිය යුතු බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා මන්තී‍්‍රවරයෙක්, ජනාධිපතිවරයෙක් කිසිසේත් බලයේ සාධකය නොවන අතර බලයේ ප‍්‍රධාන සාධකය පොදු මහජනතාව බව ද කියා සිටියේය.



ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉතිහාසය පුරා පැමිණියේ දුෂ්කර ගමනක් බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා එය අනාගත ජයග‍්‍රහණය කරා සූදානම් කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා ඒකරාශිවන ලෙස තමා සියලු පාක්ෂිකයින්ට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.


මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් සහ හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතා ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම මැති ඇමතිවරු සහ පාක්ෂිකයින් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සර උළෙල අමතා ජනධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව  – 2017.09.03 වන දින කැම්බල් පිටියේදී 


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වෙනි ජන්ම දිනය 66 වෙනි සංවත්සර උළෙල ඔබ වැනි දේශපේ‍්‍රමී ඔබ වැනි ජාතික අභිමානී දේශහිතෛෂී ජාතිකානුරාගී ආදරණීය ජනතාවක් සහ ආදරණීය නායකයින් පිරිසක් සමග පැවැත්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.



ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 66 ක කීර්තිමත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා. ඒ වසර 66 ක කීර්තිමත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ මම අඛණ්ඩව එක දිගට අවුරුදු 50 ක් පක්ෂයේ සංවත්සර, සම්මේලන, මැයි දින පෙළපාළිවලට සහභාගි වුණු කෙනෙක් කියන එක විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතුයි. අපේ පක්ෂයේ ඉතිහාසය, ලාංකික දේශපාලනය නව මගකට ගත් ඉතිහාසයක් බව තමුන්නාන්සේලා දන්නවා. 1948 බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව අපේ කියන රටක, අපේම කියන දේශයක, අපේම කියන මව්බිමක ජීවත්වීමේ උවමනාව අපට තිබුණා. එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා 1951දි පක්ෂය හැදුවේ ඒ සඳහායි. එම පක්ෂය බිහිකර අවුරුදු 05 ක් වැනි කෙටි කාලය තුළ ආණ්ඩුවක් පිහිටුවන්න එතුමාට හැකි වුණා. එසේ වුවත් ආණ්ඩුව පිහිටුවා අවුරුදු තුනහමාරක් පමණයි එතුමාට රට පාලනය කරන්න පුළුවන් වුණේ. ඒ කාලය තුළ එතුමා මේ රටේ මහා පරිවර්තනයකට මුල පිරුවා. අද පවා මේ රටේ ජනතාවගේ හදවත් තුළ ජීවත්වන නායකයෙක් බවට එතුමා පත්වී ඇත්තේ ඒ නිසයි.



තමුන්නාන්සේලා සෑම කෙනෙක්ම වගේම යහපත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳව කතා කරනවා. දේශපාලන හික්මීමක් ගැන කතා කරනවා. දේශපාලන ශික්ෂණයක් පිළිබඳව, දේශපාලන චින්තනයක් පිළිබඳව, දේශපාලන දැක්මක් පිළිබඳව කතා කරනවා. රටට සහ ජනතාවට දේශපාලන අනාගතයක් පිළිබඳව කතා කරනවා. අපේ දේශපාලන සංස්කෘතිය, හැදියාව, ශික්ෂණය, හික්මීම, විනයගරුක බව, දැක්ම, දර්ශනය, සියල්ල පැහැදිලිව රටට දුන්නු ශ්‍රේෂ්ඨ නායකයා තමයි එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මැතිතුමා. බණ්ඩාරනායක මැතිතුමාට අවුරුදු තුනහමාරයි රටේ රාජ්‍ය නායකයා විදියට කටයුතු කරන්න ලැබුණේ. කටුක අත්දැකීම්, දැඩි මානසික වේදනා සියල්ලත් එක්කයි ඒ අවුරුදු තුනහමාර එතුමා රට පාලනය කළේ. බණ්ඩාරනායක මහත්මයාට විරුද්ධවාදීයෝ කිව්වා කොන්ද පණ නැති බණ්ඩා කියලා. බණ්ඩාරනායක මහත්මයාට විරුද්ධවාදීයෝ කිව්වා සෙවල බණ්ඩා කියලා. බණ්ඩාරනායක මහත්මයා වැඩකරන කොට හිටපු අගමැති සර් ජෝන් මැතිතුමා කිව්වා අපි බැඳපු බල්ලෝ බණ්ඩා ලිහලා දැම්මා කියලා. මේ රටේ බලයට පත් වුණු රාජ්‍ය නායකයින්ගෙන් වැඩිපුරම නින්දා අපහාස, උපහාස, අගෞරව, ගල්මුල් වැදිච්ච නායකයා බණ්ඩාරනායක මැතිතුමා. මුළු ලෝකයම ගරු කරන දේශපාලනඥයෙකුට වැඩිය ලෝකයේ සාන්තුවරයෙක් විදියට පිළිගන්න ඉන්දියාවේ මහත්මා ගාන්ධි මැතිතුමා ඉන්දීය නිදහස් ජාතික අරගලය මෙහෙයවන කාලයේ ගාන්ධි මැතිතුමාට ඉන්දියාවේ විපක්ෂය ඉන්දියාවේ දේශපාලන විරුද්ධවාදීයෝ කිව්වා මේ පිස්සා මේ නාකියා, මේ මහල්ලා, බැරිදෙයක් කරන්න යනවා. රට විනාශ කරනවයි කියලා. නමුත් මහත්මා ගාන්ධිතුමා ශ්‍රේෂ්ඨ නායකයෙක් විදියට ඉන්දීය ජාතික නිදහස් අරගලයට දැවැන්ත නායකත්වයක් ලබාදී මහා භාරතය ජයග‍්‍රහණය කරා මෙහෙයවූවා පමණක් නොව මුළු ලෝකයටම ආදර්ශයක් දුන්නා. එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මැතිතුමා 1959 සැප්තැම්බර් මාසේ 25 වෙනිදා මහා ඛේදවාචකයකට ලක්වෙලා එතුමාගේ ජීවිතය අවසන් වුණාට පස්සේ බණ්ඩාරනායක මැතිණිය ප‍්‍රමුඛ බණ්ඩාරනායක පවුල, දරුවෝ තිදෙනත් එක්ක මුහුණ දුන්න අනික් ප‍්‍රශ්නය තමයි කොළඹ රොස්මිඩ් පෙදෙසේ බණ්ඩාරනායක මැතිතුමාට අයිතිව තිබුණු නිවසෙන් එළියට යන තත්ත්වයක් ඇති වීම.


බණ්ඩාරනායක මැතිතුමා මැතිවරණය කෙරුවේ රොස්මිඞ් පෙදෙසේ නිවස ව්‍යාපාරිකයෙකුට උකස් තියලා. බණ්ඩාරනායක මැතිතුමා බලයේ ඉඳලා අවුරුදු තුනහමාරක් ගියත් උකස බේරගන්න එතුමාට බැරිව ගියා. කොමිස් ගහලා, ටෙන්ඩර්වලින් හොරකම් කරලා, පගා ගහලා අත යට මගඩි කරලා, හොර ගිවිසුම් ගහලා, බණ්ඩාරනායක මහත්මයා එතුමාගේ ගෙය බේරගන්න සල්ලි හොයන්න ඒ අවුරුදු තුනහමාරේ කටයුතු කෙරුවේ නැහැ. ඒ නිසා තමයි එතුමාගේ මරණයෙන් පස්සේ ගෙය උකසට ගත්ත අය කිව්වේ ගෙය ඕනැයි කියලා. සර් ජෝන් කොතලාවල මැතිතුමා මුල්වෙලා ගෙය උකසට ගත්ත ව්‍යාපාරික මහත්මයාට කතා කෙරුවා. රොස්මිඞ් පෙදෙසේ බණ්ඩාරනායක මැතිතුමාගේ ගෙදරට එන්න කිව්වා. මැතිණිය ඉස්සරහ සර් ජෝන් කොතලාවල මහත්මයා ගෙය  උකසට ගත්ත කෙනාට කිව්වා ඔබ මේ ගෙය උකසට ගත්ත එක ඇත්ත. නමුත් මැතිණියටත් දරුවන්ටත් මේ ගෙය අහිමි කරලා මහපාරට යවන්න එපා. එතුමියට ඉඩම් තිබෙන බව ඇත්ත. වතු තිබෙන බව ඇත්ත. නමුත් මේ ගේ බණ්ඩාරනායක මැතිතුමා මේ රටේ නායකයෙක් විදියට ගොඩනැගුණ තැන. මේ උකස අත් හැරලා මැතිණියට ගේ දෙන්න කියලා කිව්වා. ඒ ව්‍යාපාරිකයා ඒක පිළිගත්තා. මේ රටේ හෝ වෙන රටවල්වල බණ්ඩාරනායක මහත්මයාගේ බැංකු ගිණුම්වල හොර බැංකු ගිණුම් තිබුණේ නැහැ. අපේ ශ්‍රේෂ්ඨ නායකයා මේ රටට, ප‍්‍රගතිශීලී ව්‍යාපාරයට, මේ රටේ දේශපාලනය කරන අයට, මේ රටේ දේශපාලන නායකයින්ට ඒ ආදර්ශය දුන්නා. ඒ නිසා අද අපේ පක්ෂයේ ප‍්‍රධාන දේශපාලන සටන් පාඨය කුමක්ද? දූෂණයෙන්, වංචාවෙන්, අක‍්‍රමිකතාවයෙන් සහ නාස්තියෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරන පිරිසිදු ජාතික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න මුළු රටම ඒකරාශී වෙන්නයි කියන පණිවිඩය තමයි මේ රටේ සමස්ත පොදු ජනතාවට දෙන්නේ.



ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අද සමහර අය චෝදනා කරනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා අෘණ්ඩුවක් කරනවයි කියලා. මේ සම්මේලනයට අපි පක්ෂයේ සියලු මන්ත‍්‍රීවරුන්ට ආරාධනා කෙරුවා. මම දැක්කා ඊයේ පුවත්පත් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා අපේ ආරාධනාවලට පිළිතුරු විදියට, එක්සත් ජාතික පක්ෂය සමග සිටින තාක් කල් පක්ෂයත් එක්ක එකතු වෙන්නේ නැහැයි කියලා.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වගේම රටට සහ ජනතාවට ආදරය කරන මගේ ආදරණීය හිතුවතුනි, මිත‍්‍රවරුනි, රට බරපතළ අසීරුවකට වැටුණු විට, රටක් විනාශ වෙන්න යන විට, රටකට බරපතළ අභියෝග ආ විට දේශපාලන පක්ෂ ආගම් භාෂා ජාතිභේදවලින් තොරව සියලුදෙනා එකතු වෙලා ඒ ප‍්‍රශ්නවලට මුහුණ දීලා රට ඉස්සරහට ගෙන යන්න කළ කැපවීම් පිළිබඳව ලෝක ඉතිහාසයේ සාක්ෂි සාධක අනන්තයි අප‍්‍රමාණයි. ලෝක ඉතිහාසය කියවලා බලන්න පළවෙනි ලෝක යුද්ධය, දෙවෙනි ලෝක යුද්ධය තිබුණු කාලයේ සෑම රටක්ම පක්ෂ භේද, ජාති භේද, ආගම් භේද භාෂා භේද අමතක කරලා ඒ යුද්ධවලට මුහුණ දෙන්න ඒ රටවල් ඒකරාශී වූ බවට සාක්ෂි සාධක රාශියක් තිබෙනවා. පක්ෂ භේද සියල්ලම අමතක කරලා බි‍්‍රතාන්‍ය එකතු වුණු හැටි ඔබට මතක ඇති. පක්ෂ භේද සියල්ලම අමතක කරලා ජපානය එකතු වුණු හැටි මතක ඇති. සියලු භේද අමතක කරලා වියට්නාමය එකතු වුණු හැටි මතක ඇති. සියලු භේද අමතක කරලා. දකුණු කොරියාව එකතුවුණු හැටි මතක ඇති. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් සමග සම්මුතිවාදී ආණ්ඩුවකට ගියේ සංගීත පුටු තරගයකට නෙවෙයි. විනෝදයට නෙවෙයි. 2015 ජනවාරි මාසේ 08 වෙනිදා පැවැති ජනාධිපතිවරණය පවත්වන්න කලින් මගේ හිටපු නායකතුමාට එදා හිටපු ජනාධිපතිතුමාට මම තමයි පක්ෂයේ ලේකම් විදියට 2014 අපේ‍්‍රල් මාසේ ලිඛිතව දුන්නේ ජනාධිපතිමනි, මැතිවරණයකට යන්න එපා. කළ යුතු දේශපාලන ප‍්‍රතිසංස්කරණ රාශියක් තිබෙනවා. රටේ වෙනස්කම් රාශියක් තිබෙනවා. ජාතික සංහිඳියාව පිළිබඳව යුද්ධයෙන් පසුව කළ යුතු වැඩකොටස් රාශියක් තිබෙනවා. ඒවා නොකර ඡන්දයකට යන්න එපා පරදිවනවා. මෙන්න මේ කරුණු ටික ඉෂ්ට කරන්න කියලා මම කරුණු හයක් ලිඛිතව දුන්නා. මේ වේදිකාවේ ඉන්න පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු එදා ඒ මේසේ එකට වාඩි වෙලා හිටියා. මම ඒ හැම කෙනෙකුගේම අතට ඒ පිටපතක් දුන්නා. මම කිව්වා ජනාධිපතිවරණයට යන්න එපා. දේශපාලන ප‍්‍රතිසංස්කරණවලට යන්න.


රට තුළ කළ යුතු වෙන්සකම්වලට යන්න. සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවගේ සමගිය සංහිඳියාව, ජාතික එකමුතුව ගොඩනගලා අපි මැතිවරණයකට යමු කියලා. මම කිව්ව දේ ඇහුවෙත් නැහැ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කියපු දේ ඇහුවෙත් නැහැ. එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර පක්ෂවල නායකයින් සියලුදෙනා කිව්වා ජනාධිපතිවරණයක් තියන්න එපා කියලා. ඒ කිසිකෙනෙක් කියපු දේ ඇහුවේ නැහැ. මැතිවරණයකට ගියා. මගේ හෘද සාක්ෂියට එකඟව මම මේ කියන්නේ ඒ වනවිට ජාත්‍යන්තර වශයෙන් අපිට මුහුණ දෙන්න බරපතළ අභියෝග තිබුණා. විදේශ ණයත් එක්ක ආර්ථික අර්බුදය බරපතළයි. ඒ වගේම ජාතික දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් බැහැරව වෙනත් ගමනක් යන්න සැලසුම් කරපු තොරතුරු සියල්ල ඒ වන විට මා අත තිබුණු නිසා එදා පොදු අපේක්ෂකයා විදියට ආණ්ඩුවෙන් එළියට එන්න මම තීරණය කළා. එක්සත් ජාතික පක්ෂයේ සහ අනික් පක්ෂවල විතරක් නොවෙයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද සියයට විස්සකට ආසන්න සංඛ්‍යාවක්, හැට දෙලක්ෂයකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාදීලා මේ රටේ ජනතාව ජනාධිපති විදියට මාව පත් කර ගත්තා. පොළොන්නරුව මැතිවරණ කොට්ඨාශය වැඩි ඡන්ද 31,000 කින් මම ජයග‍්‍රහණය කෙරුවා.


මිත‍්‍රවරුනි, අපි සැබෑ ලෙස ප‍්‍රශ්නයට මුහුණ දිය යුතු වෙනවා. සමහර අය කියනවා මේ ආණ්ඩුවේ වැරදි විවේචන සියල්ල අපි දකිනවා. ඇත්ත. වැරදි අඩුපාඩු රාශියක් තිබෙනවා. ආණ්ඩුවේ නිවැරදි කළ යුතු බොහෝ දෙවල් තිබෙනවා. යන ගමනේ වෙනස්කම් කළ යුතුව තිබෙනවා. ඒ සියල්ල ඇත්ත. මම අහන්නේ අද තිබෙන ප‍්‍රශ්නය අද කතා කරන දේවල් අද කියන කරුණුවලට වඩා 2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව මාව ජනාධිපතිවරයා විදියට පත් කර නොගත්තා නම් මේ වනවිට මේ රට තිබෙන්නේ කොතනද කියන එක උගත් බුද්ධිමත් බහුශ‍්‍රැත සියලු ජනතාවගේ හෘද සාක්ෂියෙන් අහන්න කියලා මම කියනවා. අපි ජනාධිපතිවරණයට යන විට යුරෝපය 2015 ආර්ථික සම්බාධක පටන් අරගෙන ඉවරයි. අපේ මාළු ගැනීම තහනම් කරලා ඉවරයි. අපේ ජීඑස්පී සහනය ඉවත් කරලා ඉවරයි. 2013, 2014 වර්ෂ මුළු ජාත්‍යන්තරයම අපේ මාතෘභූමියට විරුද්ධව අවි අමෝරා ගෙන හිටපු කාලයක්. යුද්ධය අවසන් වෙලා රට තුළ කළ යුතු වෙනස්කම් නො කළ නිසා යුද්ධයේදි සිදුවූවා යැයි කියන එහෙත් මා පිළිනොගන්නා මානව හිමිකම් කඩවීම් පිළිබඳව චෝදනාත් එක්ක ඔළුව උස්සන්න බැරි පසුබිමක් ජාත්‍යන්තරය තුළ ගොඩනැගිලා තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපි නිසා දෙකට බෙදුනා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලංකාව පැරදුනා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ ලංකාව පැරදුනා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව තුළ ලංකාව පැරදුනා.


මුළු ලෝකයෙන්ම අපි පැරදුනා, ජාත්‍යන්තරය අපිට අණ කරද්දි, නියෝග කරද්දි අපිට නොගැලපෙන යෝජනා රාශියක් ඉදිරිපත් කරද්දි තමයි ජනාධිපතිවරණයක් පැවැත්වුයේ. මගේ මිත‍්‍ර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මම කිව්වේ මුලින්ම ඡන්දයකට යන්න එපා කියලයි. ඒ තිබුණු දේ දැක්ක නිසා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් විදියට ඒවාට අපි විසඳුම් සොයමු කියලයි මම කිව්වේ.එහෙත් එතුමාට බලයේ සිටින්න අවුරුදු දෙකක් තිබියදී මේ ජාත්‍යන්තර අභියෝගයට මුහුණ දීමට නොහැකි නිසයි, විදේශීය ණය කන්දරාවත් එක්ක ආර්ථික අර්බුදයට මුහුණ දිය නොහැකි නිසයි අවුරුදු දෙකක් තිබියදී එතුමා ඡන්දයකට ගියේ. ඇත්ත කතාව ඒකයි. මැතිවරණයෙන් මම ජයග‍්‍රහණය කළා. ඒ ප‍්‍රශ්න අපේ පිටට ආවා. ඒ ප‍්‍රශ්න අපේ පිටට ආපුවහම තමයි එජාපය, ශී‍්‍රලනිපය එක්ව ගොඩනගන සම්මුතිවාදී ආණ්ඩුවක වැදගත්කම පෙනී ගියේ. ඒ වැදගත්කම ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ඉතා වැදගත් වූවක්. මම ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ලෝක නායකයින් හමුවීමට ගියේ ජාතික ආණ්ඩුවක නායකයෙක් ලෙස. එසේ ගොස් මම ඔවුන්ට කියා සිටියේ මගේ රට බේරාගැනීමට අපට උදව් කරන්න කියලයි. ඒ සඳහා රට පාලනය කරන්නට මට ඉඩ දෙන්න කියලයි.



අපට එරෙහිව ඉදිරිපත්වී තිබූ අශිලාචාර යෝජනාවට අපට කැමතිවීමට නොහැකි බවද අපි දැනුම් දුන්නා. ඒ සමගම නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කරන හැටි අපි ඉදිරියේදී ලෝකයට පෙන්වන බවද මා ප‍්‍රකාශ කළා.



2015 මාර්තු මාසයේ එන්න තිබුණු යෝජනාව සැප්තැම්බර් මාසය දක්වා කල්ගියේ ඒ අනුවයි. කවුරුන් කෙසේ කිව්වත් මේ රටට ස්ථිරවම එන්න තිබූ ආර්ථික සම්බාධක අපි ඉවත් කර ගත්තේ ඒ ආණ්ඩු වෙනසත් එක්කයි. සම්මුතිවාදී ආණ්ඩුවක් විදියට ලෝකයේ ඉදිරියට ගොස් අපිට ප‍්‍රශ්න විසදීම සඳහා කාලය ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට ඔවුන්ගේ සහාය ලැබුණා.


ලෝක නායකයෝ හැම කෙනෙක්ම නිල වශයෙන් ආණ්ඩුවට කිව්වා වගේම පුද්ගලිකවම මට කිව්වේ ඔබ රට කරගෙන යන්න, අපි ඔබට කිසිඳු බාධාවක් කරන්නේ නැහැ කියලයි. ඔබ ඔබේ රටට අවශ්‍ය වෙනස්කම් කරන්න, රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න, මානව හිමිකම් තහුවරු කරන්න, ජනතාවගේ නිදහස තහවුරු කරන්න කියලයි ඔවුන් මාගෙන් ඉල්ලා සිටියේ.



අද මොන චෝදනා විවේචන කළත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරලා තිබෙනවා. රටේ වගේම පක්ෂය තුළ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරලා තිබෙනවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරලා තිබෙන නිසා රට තුළ හොඳ දේ වගේම සමහර අය නරක විදියටද ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්ති විඳිනවා. ෆේස් බුක්, වෙබ් සයිඞ්, උද්ඝෝෂණ, පෙළපාලි, විරෝධතා වැනි දේ රටකට නොගැලපෙන විදියට සීමාව ඉක්මවා යනවා. බණ්ඩාරනායක මැතිතුමාගේ අවුරුදු තුනහමාරත් ඒ වගේම තමයි. ඉතිහාසය කියවා බලද්දි අවුරුදු ගණනාවක් පක්ෂයට ප‍්‍රජාතන්ත‍්‍රවාය තිබුණේ නැහැ. මම සභාපති වෙන්න කලින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වුණාම හැමදෙනාම ගොළුවෙලා ඉන්නේ.
මේ ඉන්න මැති ඇමතිවරුන්ගෙන් මම අහනවා, මම කියන්නේ බොරුද කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් ආපුවහම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය පමණක් නොවෙයි ඔය අද කතා කරන සමසමාජ, කොමියුනිස්ට්, මහජන එක්සත් පෙරමුණ, ඒ සියලු නායකයොත් කට අරින්නේ නැහැ සද්ද නැතිව ඉන්නවා. තමුන්නාන්සේලා මට උසුළු විසුළු කරන ආප්ප කතාව තමුන්නාන්සේලාට හොඳට මතක ඇති. ආප්ප කතාව දවසේ 2014 නොවැම්බර් 20 වෙනිදා ද ? සියලුදෙනා ආප්ප කාලා තේ බීලා තිබුණු රැස්වීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින්ගේ රැස්වීමක්. එතනදි මගේ හිටපු නායකතුමා ඇහුවා දැන් මැතිවරණයකට යන්න ලෑස්තිද කියලා. සන්ධානේ එක නායකයෙක් වත් ඒකට ඔව් කිව්වේ නැහැ. කට ඇරියේ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස බුක්ති විඳීමේ සීමාව ඉක්මවා ඇතැම් පිරිස් කටයුතු කරනවා වගේම පක්ෂය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළවිටත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්තිවිඳින්න සමහර අයට පුරුදු නැහැ.


මේ රටේ දීර්ඝකාලීන යුද්ධයක් ඇති වුණේ ඇයි. නිදහස දිනා ගන්න සිංහල, දමිළ, මුස්ලිම් නායකයෝ සියලුදෙනාම සහෝදරත්වයෙන් නිදහස් ජාතික අරගලයට බි‍්‍රතාන්‍ය පාලකයින් එක්ක සටන් කෙරුවා. නිදහස ගත්තට පස්සේ සිංහල කියලා බෙදුනා. දෙමළ කියලා බෙදුනා. මුස්ලිම් කියලා බෙදුනා. ඒ මේ පක්ෂ අනුව විතරක් නොවෙයි. පක්ෂවල දේශපාලන ප‍්‍රතිපත්ති අනුව විතරක් නොවෙයි. භාෂාමය වශයෙනුත් බෙදුණා. සිංහල, දමිළ, මුස්ලිම් කියලා දේශපාලන පක්ෂ හැදුනා. රට නරක පැත්තකට ගියා.



එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා තමයි මේ රටේ බලය බෙදීමේ නිර්මාතෘවරයා. බණ්ඩාරනායක මැතිතුමා 58 චෙල්වනායගම් ගිවිසුමත් එක්ක එදා බලය බෙදෙන්න දුන්නා නම් මේ රටේ ප‍්‍රභාකරන් කෙනෙක් ඇති වෙන්නේ නැහැ. ඉන්පසුව බලය බෙදීම මුල්කර ගනිමින් ඩඩ්ලි සේනානායක මැතිතුමා චෙල්වනායගම් මහත්මයත් එක්ක ඇතිකරගත් ගිවිසුම කි‍්‍රයාත්මක කරන්න දුන්නේත් නැහැ.



අවසානේ අපි යුද්ධයකට තල්ලු වුණා. අපි යූඑන්පී, ශ‍්‍රී ලංකා කියලා ලෝකයේ හැම තැනම බෙදිලා කතා කෙරුවා. යුද්ධය තියන කාලෙත් අපි බෙදිලායි සිටියේ. ලෝකයේ කිසිම රටක අභ්‍යන්තර යුද්ධයක් තිබෙන විට ඒ රටේ ඉන්න මිනිස්සු බෙදී කටයුතු කර නැහැ. නමුත් අපේ රටේ බෙදුණා.



යුද්ධය තිබෙන කාලේ යූඑන්පියත් ආණ්ඩු කෙරුවා. යුද්ධය තියෙන කාලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩු කෙරුවා. නමුත් ලෝකයේ රාජ්‍ය නායකයෝ හමුවුණාම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ එකක් කියනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ තව එකක් කියනවා. ඒක තමයි සිද්ධ වුණේ. 2015 ජනවාරි 08 න් පස්සේ ඒ බෙදීම නැතිව ලෝකයේ සෑම රාජ්‍ය නායකයෙකුටම, සෑම ආණ්ඩුවකටම ජාත්‍යන්තර සංවිධානවලට ගිහිල්ලා අපි බෙදීමක් නැතිව එකට කතා කරලා කිව්වා අපි දැන් එකට ආණ්ඩු කරන්නේ අපේ මතය මේකයි කියලා. අපි ඒ සියලුදෙනාට සහතික වුණා නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව, සමගිය, මානව හිමිකම් පිළිබඳව. ඒ ප‍්‍රතිඵල අද තිබෙනවා. මොන විවේචන ආවත්. බඩු මිල, ජීවන වියදම රැකී රක්ෂා ප‍්‍රශ්න තිබුණත්, ජාත්‍යන්තරය ඉදිරියේ අපිට තිබුණු ප‍්‍රශ්නත් එක්ක ඒවා රටක් විදියට එකට මුහුණ දීලා අපිට විසඳාගත හැකි ප‍්‍රශ්න. නමුත් ලෝකය ඉදිරියේ තිබුණේ ඊට වඩා සංකීර්ණ ප‍්‍රශ්නයක්, අසීරු ප‍්‍රශ්නයක්.



අපට විසදා ගැනීමට නොහැකිව තිබූ ප‍්‍රශ්න විසඳාගැනීමට හැකියාව ලැබුණේ ලෝක නායකයින් ඉදිරියේ අපි පක්ෂ දෙකම එකම මතයක් දරපු නිසයි. අප දෙපාර්ශවයම එක්වී මේ රට ඉදිරියට ගෙන යන්න සහය දෙන්න කියලා ඒ කරපු ඉල්ලීම නිසයි. ඒ නිසා කුමන ව්වේචන, කුමන ප‍්‍රශ්න ආවත් ජාත්‍යන්තරය හමුවේ තිබූ බරපතල චෝදනාවලින් රට නිදහස් කර ගැනීම අප මේ වන විටත් පැහැදිලිවම සිදුකර අවසන්.



ඇතැම් අය බොහෝ අසත්‍ය දේවල් කියනවා. මම දැක්කා ඊයේ පෙරේදා හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා පිළිබඳව ප‍්‍රශ්නයක්. ඒක මුහුදෙන් එගොඩ තිබෙන ප‍්‍රශ්නයක්, මේ රටේ ප‍්‍රශ්නයක් නොවේ, ජගත් ජයසූරිය මහතාටවත්, මේ රටේ කිසිම හමුදාපතිවරයෙකුට, කිසිම රණවිරුවෙකුට අත තියන්න ලෝකයේ කිසිම කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාට කියනවා. එල්.ටී.ටී.ඊ යට සම්බන්ධකම් තිබෙන, එල්.ටී.ටී.ඊ යෙන් සල්ලි ගන්න විදේශයන්හි කටයුතු කරන ඇතැමුන් ලංකාවට බලපෑම් කරනවා. එල්.ටී.ටී.ඊ යට සමීප සම්බන්ධකම් තිබෙන එන්ජී ඕ කියන විදියට මම කටයුතු කරන්න ලෑස්ති නැහැ කියන එක මම පැහැදිලිව කියනවා. හොද රාජ්‍ය නොවන සංවිධාන තිබෙනවා. ඒවත් එක්ක අපි වැඩ කරනවා.



ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මුළු ඉතිහාසය පුරාම ආවේ දුෂ්කර ගමනක්. පක්ෂයේ නායකයා වෙඩි තියලා මරලා දැම්මා, දෙවැනි නායිකාවගේ ප‍්‍රජා අයිතිය අහෝසි කෙරුවා. තුන්වැනි නායිකාව ආබාධිත කෙරුවා. හතරවැනි නායකයාට යුද්ධයත් සමග බරපතල තත්ත්වයන්ට මුහුණදීමට සිද්ධ වුණා. මම පක්ෂයේ පස්වෙනි ඔබ තෝරාගත් නායකයා ලෙස, ඔබේ සේවකයා විදියට මටත් බරපතල ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මම එල්.ටී.ටී.ඊ ප‍්‍රහාරවලට මුහුණ දුන්නේ ජනාධිපති වෙන්න කළින්. එල්.ටී.ටී.ඊ ප‍්‍රහාරවලට පස්වතාවක් මුහුණදීලා මගේ ජීවිතය බේරාගත්ත කෙනෙක් මම.



ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අනාගත ජයග‍්‍රහණ සඳහා අපි සකස් කළ  යුතුයි. 2015 ජනවාරි මාසේ 08 වෙනිදා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පැරදුණේ ඇයි, කවුරු හරි කියයි මම නිසා කියලා. එහෙම පුළුවන්ද ආණ්ඩුවක් පරද්දන්න. නැහැ ඒ ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළගැසීමක් තිබුණා. ඒ ආණ්ඩුව වෙනස්  කළ යුතුයි කියලා ජන මතයක් තිබුණා. එක්සත් ජාතික පක්ෂයට මොන විදිහේ චෝදනා ආවත් මම එක දෙයක් කියන්න ඕන, එක්සත් ජාතික පක්ෂය මේ රටේ ජනාධිපති ධූරයට තෝරගත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයායි. ඒ නිසා අපිට සම්මුතිවාදී ආණ්ඩුවක් විදියට සහයෝගීතා ගමනක් යන්න පුළුවන්කමක් ලැබුණා.



රක්ෂාවලින් දොට්ට දාන අය නැවතුනා. ගෙවල් ගිනි තියන එක නැවතුනා, මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවතුනා. තමුන්නාන්සේලාට මතකද 2001 මැතිවරණයෙන් පස්සේ පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා. 2015 ජනවාරි 08 වෙනිදායින් පස්සේ එවැනි සිදුවීම් මේ රටේ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයින්ට සිදුවුණේ නැහැ. ඒ ජයග‍්‍රහණය අපි ලැබුවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් විදියට ශක්තිමත් කරනවා සේම සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, ධීවර, රණවිරු යන සියලු බලවේග ඒකරාශි වූ ශක්තිමත් පුළුල් ජාතික ව්‍යාපාරයක් ලෙස ගොඩනගන්න මම තමුන්නාන්සේලාගේ සහයෝගය ඉල්ලනවා. දෑත් දිගු කරලා මම ඉල්ලන්නේ සියලුදෙනා එකතුවෙලා පක්ෂය ශක්තිමත් කරමු කියලයි.



මම මේ පක්ෂය උගතුන්ගේ පක්ෂයක් බවට පත් කරනවා. මේ පක්ෂය බුද්ධිමතුන්ගේ පක්ෂයක් බවට පත්කරනවා. මේ පක්ෂය බහුශ‍්‍රැතයින්ගේ පක්ෂයක් බවට පත් කරනවා. මේ පක්ෂය මහා සංඝරත්නයේ, අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ උපදෙස්, අනුශාසනා සමග කටයුතු කරන පක්ෂයක් බවට පත්කරනවා. මේ පක්ෂය එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතතුමා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගෙන ගිය වැඩපිළිවෙළ සමග ඒ අතීත මතක සටහන්, සාධක සහ සාක්ෂි සමග ඒ ඓතිහාසික තොරතුරු සමග දේශපේ‍්‍රමි, ජනතාවාදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශක්තිමත් දේශපාලන පක්ෂයක් විදියට ගොඩනගනවා. ඒ වගේම ඒ සඳහා සියලුදෙනාගේම සහයෝගය දෙන්න කියලා මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.


අද එදා මෙන් නොවේ, අද 50 දශකය නොවේ, 60, 70, 90 දශකය නොවේ, අද නවීන විද්‍යාව, නවීන තාක්ෂණය, නවෝත්පාදන ආර්ථිකය සමග ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. අද තමුනාන්සේලාගේ අපේ ඉතා පිටිසර පැලක ඉන්න දරුවෙකු පවා ඔවුන් අත තිබෙන ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය හරහා මුළු ලෝකයම දකිනවා. මුළු ලෝකයම වෙනස් වෙනවා තත්පරයක් පාසා. මුළු ලෝකයේම තොරතුරු බෙදා හදා ගන්නවා. ඒක ගමද, නගරය ද, රට තොට ද ගුවන් තොටුපළ ද කියලා ප‍්‍රශ්නයක් නැහැ. ඒ නිසා නව තාක්ෂණය සමග නවීන ලෝකයේ අධි තාක්ෂණය සමග අපේ උගත් තරුණ පරපුර එක්ක මේ පක්ෂය ගොඩනගලා තමුන්නාන්සේලා අපි සියලුදෙනා හෙට දවසේ හොඳ රටක් හදන්න, අනාගත ආණ්ඩුවක් හදන්න සියලුදෙනාම ඒකරාශිවෙන්න කියලා මම තමුන්නාන්සේලාට ආයාචනා කරනවා.



අපි හැම කෙනෙක්ම හෘද සාක්ෂිය තුළ කටයුතු කරමු. දූෂණය, වංචාව, අක‍්‍රමිකතාව, නාස්තිය ඒවා අපේ හදවත්වලින් අපේ දේශපාලනයෙන් ඒවා ඉවත් කර ගනිමු. බලය ශක්තිමත්වීම සඳහා නොව බලය ජනතාවගේ යහපත සඳහා රටේ යහපත සඳහා පැහදිලි ලෙසම බලය පාවිච්චි කරීම අවශ්‍යයයි. බලයට පත්වීම මෙන්ම බලයෙන් ඉවත්වීම ද සෑමවිටම ජනතා අභිලාෂය තුළ සිදුවිය යුතුයි. ඒ තමයි සත්‍ය. සියල්ල ජනතාවගේ ශක්තිය මතයි රඳා පවතින්නේ.


මන්ත‍්‍රීකම බලයේ සාධකයක් නොවෙයි, මම ඒක පැහදිලිව කියනවා. ජනධිපතිකම බලයේ ප‍්‍රධාන සාධකය නොවෙයි. බලයේ ප‍්‍රධාන සාධකය සහ ශක්තිය රටක පොදු ජනතාවයි කියන එක අපි කිසිසේත් අමතක කරන්නට හොඳ නැහැ. ජනතාව ඕන කෙනෙක් වෙනස් කරනවා. ජනතාව ඕන කෙනෙක් පත් කර ගන්නවා. අපි පිරිසදු පවිත‍්‍ර දේශපාලන ව්‍යාපාරයකට එක්වෙමු. ඒ අවංක කැපවීම කරමු. මුළු ලෝකයටම ඒ ආදර්ශය දෙමු. අපි දූෂණය වංචාව, නාස්තිය, අකමිකතාවය, පවුල්වාදය නැතිව අපි සෑම කෙනෙක්ම අද දවසේ සිට හෙට දවස වෙනුවෙන් කැපවෙමු.


නව පරපුරකට අලුත් පරපුරකට, උගත් පරපුරට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න ඒ වගකීම භාර දෙමු. ඒ ඓතිහාසික තීන්දුවලට යමුයි කියලා තමුන්නාසේලා සිලුදෙනාගෙන් මා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි මෙහිදී ඉතා වැදගත් යෝජනා කිහිපයක් සම්මත කළා. ඒ යෝජනා සියල්ල අපි ක‍්‍රියාත්මක කළ යුතුයි.



තමුන්නාන්සේලා අපි සෑම කෙනෙක්ම සම්මුතිවාදී ආණ්ඩුවක් විදියට ඉරියේදී කටයුතු කිරීමේදී ඒ කාලසීමාව තුළ ජාත්‍යන්තරය තුළින් ආපු ප‍්‍රශ්නවලට මුහුණදීලා ජයග‍්‍රහණ ලබා ගත්තා වගේම අපිට තවත් ජාත්‍යන්තරය තුළින් ලබා ගත යුතු ජයග‍්‍රහණ රාශියක් තිබෙනවා. ඒ සඳහා අපි ඉදිරි කාලය වැය කරමු.


කතා කරන සුරංගනා සංවර්ධනයත් එක්ක ඒ තිබුණු අසුන්දර ණය බර, උහුලන්න බැර ණය බර මේ රට පත්වෙලා තිබුණු ඒ තත්ත්වයෙන් ගොඩගන්නට මේ වගේ සම්මුති ආණ්ඩුවක් ඉතා වැදගත් වුණා. අද අපි සිටින්නේ බරපතළ ණය කන්දරාවක් තුළ සිරවුණ ආර්ථික අර්බුදයකයි. ඒ නිසා එය ද සැලකිය හැක්කේ අපි ඉදිරියේ ඇති ජාත්‍යන්තරය හා බැදුනු අර්බුදයක ඉතිරි කොටස ලෙසයි. මේ මහ ණය අර්බුදයෙන් ගැලවී එම ඉතිරි කොටස ජය ගන්නයි අප අද සම්මුතිවාදී මාවතක ගමන් කරන්නේ.



නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා කිව්වා අපි අද ආණ්ඩුවක් විදියට එකට කටයුතු කරනවා වගේම ඉදිරි මැතිවරණයකදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විදියට එක්සත් ජනතා නිදහස් සන්ධානය විදියට මේ රටේ වාමාංශික ප‍්‍රගතිශීලි බලවේග ඒකරාශි කර ගනිමින් එකම පෙරමුණක් විදියට කටයුතු කර ජයග‍්‍රහණය කරා යමු. ඒ සඳහා සූදානම් වන්නැයි මම තමුන්නාන්සේලාට ගෞරවයෙන් ආරාධනා කරනවා.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.