• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රට බව භෝගයෙන් අස්වද්දන ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය ලබන මස අරඹනවා

He news 2017 9 8 22ඔක්තෝබර් 05 වනදා සිට 11 වනදා දක්වා සතිය, ජාතික ගොවි සතියක් ලෙස ප‍්‍රකාශයට පත්කරමින් ආහාර නිෂ්පාදන ජාතික සංග‍්‍රාමය කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.



කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ වූ පුළුල් ජාතික වැඩසටහනක් ලෙස එය කි‍්‍රයාවට නංවන බව ද පැවසූ ජනාධිපතිතුමා පසුගිය නියං සමයේ සිදුවූ ආහාර නිෂ්පාදනයේ පහත වැටීම, මගහරවා ගනිමින් දේශීය සහ විදේශීය වෙළෙඳපොළ සඳහා ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම ඉන් අපේක්ෂා කරන බව ද ප‍්‍රකාශ කළේය.


ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කදුරුවෙල කෘෂි ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (07) පෙරවරුවේ එක්වෙමිනි.


මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මෙම ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පෞද්ගලික අංශයේ, ව්‍යාපාරික ප‍්‍රජාවගේ මෙන්ම සියලුදෙනාගේ සහය අපේක්ෂා කරන බවයි.


චීන රජයේ ආධාර යටතේ රුපියල් කෝටි 520 ක වියදමින් මෙම කෘෂි ආර්ථික මධ්‍යස්ථානය ඉදිකෙරෙන අතර ප‍්‍රධාන වාණිජ සංකීර්ණය සහ කෘෂි කර්මාන්ත පරිශ‍්‍රයකින් සමන්විත මෙම මධ්‍යස්ථානය වෙළෙඳ සැල්, ළමුන් සඳහා කී‍්‍රඩා කරන ස්ථාන, භෝජනාගාර පහසුකම්, බැංකු පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය.



කෘෂි ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමරු ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරුණු අතර එම පරිශ‍්‍රයේ රුක් රෝපණයක් ද සිදු කෙරිණි.


මේ අතර දිස්ති‍්‍රක්කයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන චාරිකා ඇතුළු ඔවුන්ගේ අවශ්‍යතා සඳහා භාවිතා කිරීමට බස් රථ 03 ක් පොළොන්නරුව, දිඹුලාගල සහ හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාල වෙත භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.



දිස්ති‍්‍රක්කයේ පාසල් කිහිපයක දරුවන් කළ ඉල්ලීම පරිදි ජනාධිපති කාර්යාලයේ අරමුදල් මත මෙම බස් රථ ලබාදීම සිදුවූ අතර එම බස්රථ දරුවන්ගේ අවශ්‍යතා සඳහා පමණක්ම යෙදවිය යුතු බවට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.


තමණ්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම සංකේතවත් කරමින් 06 දෙනෙකු වෙත ඉඩම් ඔප්පු පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.


උතුරු මැද හා නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පොළොන්නරුව තමන්කඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ඉසිපතනාරාමාධිපති පූජ්‍ය උඩගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ද, අමාත්‍ය පී. හැරිසන්, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, පළාත් අමාත්‍ය සම්පත් ශී‍්‍ර නිලන්ත යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරුන්ද, චීන තානාපති ෂී ෂියෑන්ග් ලියෑන්ග් මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



කදුරුවෙල කෘෂි වෙළෙඳ ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – (2017-09-07)



කදුරුවෙල ඉදිකෙරෙන කදුරුවෙල කෘෂි වෙළෙඳ ආර්ථික මධ්‍යස්ථානය චීන රජයේ අනුග‍්‍රහය මත අපට ලබාදීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වෙනවා.
ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිතුමා, චීනයේ ජනාධිපතිතුමා ඇතුළු චීන රජය මේ කටයුතුවලදී දක්වන සහයෝගය මා ඉතාමත් අගය කළ යුතු වෙනවා. චීන තානාපතිතුමාගේ කතාවේදී සඳහන් කළා අප දෙරටේ තිබෙන සම්බන්ධතාවය මෙන්ම අතීත සම්බන්ධතාවය සමග අනාගතය තුළ අපි මිත‍්‍රශීිලිභාවයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව. මෙය ආර්ථික මධ්‍යස්ථානයක් වශයෙන් හඳුන්වනවා වගේම මේ ගෙඩනැගිලි සංකීර්ණය දෙස බලන විට මෙයින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ තිබෙන අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවල කෙරෙන කාර්යයට වඩා වෙනස් කාර්යයක්. මේ මධ්‍යස්ථානය නවීන ගොඩනැගිලි තාක්ෂණය තුළ ඉදිවෙන නව වෙළෙඳ සංකීර්ණයක්. මෙම වෙළෙඳ සංකීර්ණය තුළ කෘෂි නිෂ්පාදන පිළිබඳව පමණක් නොවේ ප‍්‍රදේශයේ ජනතාවට අවශ්‍ය දෛනික ජීවිතයේ අවශ්‍යතාවයන් සපුරන භාණ්ඩ සහ ආහාර ලබා ගැනීමේ පහසුකම ද සැලසෙනවා. මෙම වෙළෙඳ මධ්‍යස්ථානයට මිලියන 5200 ක් නැතහොත් රුපියල් කෝටි 520 ක් වැය වෙනවා. කෝටි 520 ක් වැයකරමින් වෙළෙඳ මධ්‍යස්ථානයක් ලංකාවේ ඉදිවන ප‍්‍රථම අවස්ථාව ලෙසයි මා මෙය දකින්නේ. මෙය පොළොන්නරුව ජනතාව ලබාගත් ජයග‍්‍රහණයක් මෙන්ම මේ මධ්‍යස්ථානය පොළොන්නරුව නගරය මුල් කරගත් උතුරු මැද පළාත, නැගෙනහිර පළාත සම්බන්ධීකරණය වන පුළුල් වෙළෙඳ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. මා ඉතාමත් සතුටු වෙනවා මෙවැනි දායාදයක් පොළොන්නරුව ජනතාවට ලබා දීමට හැකිවීම පිළිබඳව.



චීනයෙන් අපිට ලැබෙන ජාතික වකුගඩු රෝහල රුපියල් කෝටි 1500 ක තෑග්ගක්. මේ වෙළෙඳ මධ්‍යස්ථානය කෝටි 520 යි. මම තානාපතිතුමා සමග මෙහි සිටින ගමන් කතා කළා, ලබන මාසයේ අපිට වකුගඩු රෝහලේත් වැඩ කටයුතු ආරම්භ කිරීමට හැකි වන බවට.



එතුමා සඳහන් කළ ආකාරයට, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ජනතාවට පානීය ජලය සඳහා නැගෙනහිර පොළොන්නරු ජලසම්පාදන ව්‍යාපෘතිය තුළින් අපිට විශාල මුදලක් ලැබෙනවා වැලිකන්ද, දිඹුලාගල යන ප‍්‍රදේශවල පානීය ජල ප‍්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳන්නට. මාදුරු ඔය වම් ඉවුර සංවර්ධනය වුණා බී කලාපය එක්ක. මාදුරු ඔය දකුණු ඉවුරු සංවර්ධනය සඳහා අපිට චීන රජය යටතේ මුදල් ලැබෙනවා. ඒ කටයුතු ද මේ වන විට සාර්ථකව සිදුවෙනවා. මා මේ ප‍්‍රකාශ කළේ චීන රජයෙන් තමුන්නාන්සේලා වෙත, අප රජය වෙත ලැබෙන ආධාර පිළිබඳවයි.



පසුගිය අවුරුදු එකහමාරක කාලයක සිට අප ප‍්‍රදේශවලට දරුනු නියඟයකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ඒ හේතුවෙන් ආහාර නිෂ්පාදනයේ විශාල අඩු බවක් දක්නට ලැබෙනවා. මා මේ පිළිබඳව චීන තානාපතිතුමා දැනුවත් කරමින් විශේෂ ඉල්ලීමක් ද කළා. එනම්, සහල් පිටරටින් ගෙන ඒමේදී අපිට මතුවී ඇති ප‍්‍රශ්න කිහිපයක් පිළිබඳවයි. ඒ අනුව අපට අවශ්‍ය සහල් ප‍්‍රමාණයෙන් යම් කොටසක් චීනයෙන් ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කළා. කාලගුණික දේශගුණික තත්ත්වය යහපත් අතට පත්වී අපේ කෘෂිකාර්මික නිෂ්පාදනය යහපත් තත්ත්වයකට පත්වන තෙක් ඇති විය හැකි සහල් හි`ගය මගහරවා ගැනීමයි අප ඉන් බලාපොරොත්තු වන්නේ.


ඒ අනුව ලබන මාසයේ සිට චීනය අපිට සහල් මෙටි‍්‍රක් ටොන් 2600 ක් ආධාරයක් ලෙස දෙනවා. පරිත්‍යාගයක් විදියට අපිට ලැබෙන්නේ. ඒ පිළිබඳව තානාපතිතුමාටත් චීන රජයටත් ස්තූතිවන්ත වෙනවා. දැනට අවුරුදු එකහමාරක සිට තිබෙන නියං තත්ත්වයත් අනෙක් පැත්තෙන් තිබෙන අධික වර්ෂාව සමග ගංවතුර තත්ත්වය නිසා ඇති වී තිබෙන කෘෂිකර්මාන්තය බිඳ වැටීම, ආහාර නිෂ්පාදනය පහත වැටීම තුළ අපි රටක් විදියට අසීරුතාවයට පත්වී තිබෙනවා. මෙය අපේ රට පමණක් මුහුණ දෙන නියං තත්ත්වයක් නොවේ. ඉන්දියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, තායිලන්තය වැනි රටවල්වලත් මේ නියං තත්ත්වය මෙන්ම ගංවතුර තත්ත්වය තිබෙනවා.



අපිට චීනයෙන් ලැබෙන සහල් ලබන මාසයේ සිට නියඟයෙන් පීඩාවට පත්වී සිටින ප‍්‍රදේශවල ජනතාවට රජයේ පරිත්‍යාගයක් විදියට නොමිලේ ලබාදීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලබන මාසයේ, ඔක්තෝබර් මාසයේ 05 වැනිදා සිට 11 වැනිදා දක්වා සතිය ජාතික ගොවි සතියක් විදියට ප‍්‍රකාශයට පත් කරලා රජයේ සියලු නිලධාරීන්, ආයතන ප‍්‍රධානීන් සහ ගොවි ජනතාව දැනුවත් කරනු ලබනවා.



අපි ලබන මාසයේ ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයක් සිදුකරන්නයි අපේ සැලසුම වන්නේ. පරිසර, මහවැලි හා වාරිමාර්ග අමාත්‍යාංශ විතරක් නෙමේ සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ වූ ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙලකට අපි මේ වනවිට සැලසුම් කරලා තිබෙනවා. පසුගිය කාලය තුළ වර්ෂාව නොමැතිවීම නිසා ඇතිවුණ තත්ත්වය හේතුවෙන් මුහුණදුන් අලාභ, නිෂ්පාදනයේ අඩුවීම් මඟහරවාගෙන ආහාර නිෂ්පාදනය අපේ රටේ යථාතත්වයට ගැනීමට වගේම වැඩි නිෂ්පාදනයක් දේශීය වෙළෙඳපොලට ලබාදීමත් අතිරික්තයක් තිබුණොත් විදේශීය වෙළෙඳපොළට යැවීමට අප කටයුතු කරනවා. ඒ නිසා වර්ෂාව සමග ඇතිවන ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය මේ රටේ රාජ්‍ය හා පෞද්ගලික අංශය, ඇතුළුව පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සියලුදෙනාම එක්ක මෙම සංග‍්‍රාමය ක‍්‍රියාත්මක කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ අතරම රටේ සංවර්ධනය සඳහා මෙන්ම පොළොන්නරු දිස්ත‍්‍රික්කය තුළ කරන වෙනස්කම් ඔබ දන්නවා. පොළොන්නරුවේ ඉදිවන නව ගොඩනැගිලි, මංමාවත්වල සිදුවන වෙනස්කම්, නගරය මංතීරු හතරකට වෙනස්වන ආකාරය ආදිය ඔබ දකිනවා.


පොළොන්නරු රෝහල වගේම දිස්ත‍්‍රික්කයේ සියලු රෝහල්, පාසල් මේ පිබිදෙමු පොළාන්නරුව වැඩසටහන තුළ ඉතාම ඉහළ සංවර්ධනයක් කරා යන බව සෑම කෙනෙක්ම දකිනවා. පොළොන්නරුවෙන් ජනාධිපති කෙනෙක් බිහිකළා වගේම ඒ ජනාධිපතිවරයා පොළොන්නරුවට මොනවාද කළේ කියලා අහන්න කිසිම කෙනෙක්ට මම ඉඩ තියන්නේ නැතිවෙන විදියට පොළොන්නරුවේ ඉතාමත්ම පැහැදිලි සංවර්ධනයක් ඇති කිරීම තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. මේ සඳහා සහයෝගය දෙන සියලුදෙනාටම මම මගේ ගෞරවනීය ස්තුතිය පළකරනවා. ඒ වගේම අද මෙතැන බස් තුනක් තිබෙනවා ගෙනත්. මේ ගෙනත් තියෙන්නේ පාසල්වලට දෙන්න. පොළොන්නරුවේ අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන්ට තමයි ඒ බස් බාරදෙන්නේ.


පසුගිය දවසක අනුරාධපුර උත්සවයකට ගිය වෙලාවේ පාසල් දරුවෝ මගෙන් ඉල්ලීමක් කලා බස් රථයක් ඕන කියලා. මම ඒ බස් රථය ලබාදුන්නා. මම පේෂල ජයරත්න මැතිතුමා සමග මේ ගැන කතාකරන විට මහඇමතිතුමා මට කළ යෝජනාව තමයි මම පාසල් කීයකට වෙනවෙනම දෙන්නද?, ඒක අපිට අමාරු වැඩක් ඒ නිසා අපි කලාප කාර්යාලවලට බස්රථ දෙමු කියලා. ඒ අනුව අපි කලාප කාර්යාල තුනට බස්රථ තුනක් දෙනවා. මේ බස්රථ ජනාධිපති කාර්යාලයේ මුදල්වලින් අරන් තිබෙන්නේ. ඒ වගේම මේ බස්රථ පාසල් දරුවන්ගේ ගමන් බිමන් සඳහා පමණක් කියන එක පැහැදිලිවම සඳහන් කරන්න ඕන. අධ්‍යාපනික ගමන් යන්න අවශ්‍ය පාසල් කලාප කාර්යාලයෙන් ඉල්ලීමක් කළාම බස්රථ ලබාදෙනවා. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරගන්න. එතකොට ප‍්‍රශ්නයක් වෙන එකක් නැහැ.


ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිතුමා ඇතුළු චීන රජය මේ කටයුතු වෙනුවෙන් ලබාදුන් දායකත්වය පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඉදිරි සංවර්ධන කටයුතු මගින් සංවර්ධිත රටක් බිහිකරන්න හැකිවෙනවා අපේ වර්තමාන රජයේ වැඩපිළිවෙළ තුළින්. මේ සඳහා දායක වුණ සියලුම මැතිඇමතිවරුන්ට හා සහය දුන් නිලධාරීන්ටත් ව්‍යාපාරිකයින්ටත් පැමිණි සියලුදෙනාටමත් ස්තුතිය පළකරනවා.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.