• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහනුවර ගඩොල් කර්මාන්තකරුවන්ගේ ඉල්ලීමට සම්බන්ධීරණ කමිටුවේ අනුමැතිය ලැබේ

stoneපාතදුම්බර සහ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත ගම්මානවල ගඩොල් කර්මාන්තයේ නියැලෙන පිරිසට පස් ප්‍රවාහනයේදී උද්ගතව තිබූ ගැටලුවට පසුගියදා රැස්වූ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී විසඳුම් ලබා දෙන ලදී.

ඒ අනුව ගෘහ ආශ්‍රිත කර්මාන්ත වශයෙන් ගඩොල් කර්මාන්තයේ නියැලෙන පිරිසට පස් ප්‍රවාහනයේදී ඇති නීති ලිහිල් කොට සහනයක් ලබාදීමට කමිටුව ඒකමතික ව තීරණය කරන ලදී. කමිටුව විසින් මෙම තීරණයට එළඹියේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පද්මලාල්ද අල්විස් මහතා විසින් ඉදිරිපත් කළ කරුණූ විමසා බැලීමෙන් අනතුරුවය.

ගෘහ ආශ්‍රිත කර්මාන්තයක් ලෙස ගඩොල් කර්මාන්තයේ නියැලෙන පිරිසක් පසුගිය 22 වැනි දින ඒ - 9 මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේ සිට මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂණයක නියැලුනු අතර, එහිදී ඔවුන් ඉල්ලා සිටියේ මහා පරිමාණයෙන් පස් ජාවාරම් කිරීමේ නියැලෙන පුද්ගලයන්ට පනවන බලපත්‍ර ගාස්තුව තමන්වෙත පැනවීම අසාධාරණ බවයි.

සුළු ජීවනෝපායන කර්මාන්තයක් ලෙස ගඩොල් කර්මාන්තයේ නියැලෙන තමන් වසර ගණනාවක් තිස්සේම පාර්ම්පරිකව මෙම වෘත්තියේ නියැලෙනබව පෙන්වා දුන් ඔවුන් මෙතෙක් කල් පස් ප්‍රවාහනයේදී තමන්ට රජය මගින් සහනයක් ලබාදී තිබූ බව පවසයි. නමුත් මෑතක සිට මහා පරිමාණ පස් කැපීමේ ව්‍යාපාරවල නිරතවන්නන්ට බලපාන පරිදි නියම කරතිබූ ප්‍රවාහන බලපත්‍රය ලබා ගන්නා ලෙස තමන්ටද පොලීසිය දැනුම් දී තිබෙන බව පැවසූ ඔවුන් එසේ නොවන විට රුපියල් 50000ක දඩයක් නියම කරන බවද පෙන්වා  දෙන ලදී.

සාම්ප්‍රදායික සුළු පරිමාණ ගෘහ ආශ්‍රිත කර්මාන්තයක් ලෙස ගඩොල් කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන්ගේ ගැටලු ව ගැන විමසා බැලූ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ සමාජ සවිබල ගැන්වීම් සහ සුභසාධන අමාත්‍ය  එස්.බී දිසානායක මහතා පැවසුවේ කමිටුවේ විරුද්ධතාවයක් නොමැති නම් ඔවුන්ට සහනයක් ලබාදිය හැකි බවයි.

ඒ අනුව කමටුවේ කිසිවෙක් ඒ සඳහා විරුද්ධ නොවූ බැවින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශ මත ගෘහ ආශ්‍රිත ගඩොල් කර්මාන්තකරුවන්ට පස් කියුබ් 35කට අඩු ප්‍රමාණයක් ප්‍රවාහනය සඳහා අවසර ලබා දෙන ලදී.  තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින ගෘහ ආශ්‍රිතව සාම්ප්‍රදායික ගඩොල් කර්මාන්තයේ නියැලෙන්නන් පිළිබඳ සත්‍ය තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින බැවින් ඔවුන් තෝරාගෙන ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කරන ලෙසද එස්.බී. දිසානායක මහතා දැනුම් දෙන ලදී. මහනුවර දිස්ත්‍රික්කයේ එගොඩවෙල, මෙගොඩවෙල, පොල්ලේගොඩ, කළුගලවත්ත, මොලගොඩයායවත්ත, කලුගල්වත්ත වැනි ප්‍රදේශවල සුළු කර්මාන්තයෙක් ලෙස ගෘහ ආශ්‍රිත ව ගඩොල් කර්මාන්තයේ නියැලෙන පිරිස් සිටියි. ඔවුන් පාරම්පරිකව මෙම කර්මාන්තයේ නියැලෙන අතර, මීට පෙර ඔවුන් සඳහා පස් කැපීමේදී සහ ප්‍රවාහනයේදී සහනදායි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. මෙම තීරණය නිසා පැරණි ක්‍රමවේදයටම ඔවුන්ට පස් කැපීම සහ ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.