• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මිනිපේ ව්‍යාපාරයට ප්‍රමාණවත් වර්ෂාව නොමැති නිසා වී වගාව සීමා කොට අතුරු බෝග වගාවට යොමු විය යුතුයි

minipeමෙවර නියමිත පරිදි වැසි නොලැබීම නිසා මිනිපේ ව්‍යාපාරයේ ගොවි ජනතාව එළඹෙන මහ අතුරු බෝග වගාව කෙරෙහි යොමු කිරීම වඩාත් සුදුසු බව මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව තීරණය කරන ලදී. කමිටුව විසින් මෙම තීරණයට එළඹියේ මිනිපේ ව්‍යාපාරයේ ගොවි සංවිධාන නියෝජිතයන්, නේවාසික කළමණාකරුවන් සහ වාරිමාර්ග ඉංජිනේරු විසින් ඉදිරිපත් කළ කරුණු විමසා බැලීමෙන් අනතුරුවය.
මීට පෙර රැස්වූ මිනිපේ ව්‍යාපාරයේ පෙර කන්න රැස්වීමේදී ගොවි සංවිධාන ඇතුළු සියලු ම ගොවිජනතාවගේ තීරණය එළඹෙන මහ කන්නයේදී සියයට සියයක් ම වී වගා කිරීමටයි.  නමුත් මේ වන විටත් බලාපොරොත්තු වූ තරම් වර්ෂාවක් නොලැබීම නිසා වී වගාව සඳහා බලාපොරොත්තු වූ පරිදි ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තීරණය වී තිබේ. එබැවින් කොටස්  හතරකින් යුත් මිනිපේ ව්‍යාපාරයේ 4 සහ 5 පියවරවල වී වගා කරන ගොවිජනතාවට ප්‍රමාණවත් තරම් ජලය ලබාදීමට නොහැකිවන බවද වාරිමාර්ග අධ්‍යක්ෂ කේ.එම්.ඒ.පී. කාරුණානායක මහතා කමිටුව වෙත දැනුම් දෙන ලදී.  මිනිපේ ගොවි සංවිධාන නියෝජනය කරමින් පැමිණී ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඒ.පී.වී.ඒ. සුනිල් ගමගේ  මහතාගේ අදහස වූයේද ප්‍රමාණවත් පරිදි ජලය නොලැබුනොත් සියලු ම ගොවියන් වී වගා කිරීමෙන් ගැටලු රැසක් ඇති විය හැකි බවයි.

කමිටුව වෙත ඉදිරිපත්වූ කරුණු විමසා බැලූ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා පැවසුවේ ජලය ලබාදීමේ අපහසුතාවය නිසා 4 සහ 5 පියවර ගොවිජනතාව වී වගාව සීමා කොට අතරුබෝග වගා කිරීම සදහා පෙළඹවිය යුතු බවත්, ඒ සඳහා බඩ ඉරිගු බෝගය වඩාත් සුදුසු බවත්ය. එවැනි පූර්ව සැළසුම් සහ උපායන් යෙදීමෙන් පමණක් මෙම අභියෝග ජයගත හැකි බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී. එමෙන්ම  වගා රක්ෂණය නොකළ සියලු ම ගොවියන් රක්ෂණය සඳහා යොමු කරවන ලෙසද ගොවි සංවිධාන නියෝජිතයන්ට සහ නේවාසික කළමණාකරුවන් වෙත උපදෙස් දුන් දිස්ත්‍රික් ලේකම්වරයා ගොවි සංවිධාන ඉල්ලා සිටින සහනාධාර පිළිබඳ යෝජනාවද රජයට යොමු කරවන බවද දැනුම් දෙන ලදී.

මෙවර පැවති වියලි කාලගුණික තත්ත්වය නිසා මුරපොළ ඇල ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන්ගෙන් කොටසක්ද වැල් දොඩම් වගාව සදහා යොමු වී ඇති බව පෙන්වා දුන් මිනිපේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.ඒ.පී. විජේනාරායන මහතා, ඒ සදහා කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මුල් වී ගොවිජනතාවට පුහුණුවක්ද ලබාදුන් බව පැවසීය. වැල් දොඩම් වගාවෙන් සැලකිය යුතු ලාභයක් ලබාගත හැකි බැවින් ගොවීන්ද ඒ සඳහා වැඩි උනන්දුවක් දක්නව බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති මෙම කමිටු රැස්වීම සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී රණේපුර, කෘෂිකර්ම අධ්‍යක්ධ එච්.ආර්.ජී.බී. එරබදුපිටිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රජයේ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.