• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් මනාළියන් වැඩමුළුවක්

Matara 2016.11.09ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන මනාළියන් එළිදැක්වීමේ උත්සවය මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර - වල්ගම සරසි උත්සව ශාලාවේ දී පැවැත්විණි.

 මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි තෝරාගත් සිසුවියන් පිරිසක් වෙනුවෙන් තලල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සහයෝගය ඇති ව මනාළියන් හැඩගැන්වීම හා රූපලාවන්‍ය කටයුතු පිළිබඳ ව දින තුනක තාක්ෂණික පුහුණුවක් ලබා දී ඔවුන්ගේ හැකියාව හා දක්ෂතාව මැන බැලීම සඳහා ඔවුන් අතින් හැඩගැන් වූ මනාළියන් එළිදැක්වීම එහිදී සිදු කෙරිණි.

 මෙහි දී තරග ඉසව් හතරක් යටතේ මනාළියන් එළිදැක්විණි. උඩරට මනාළිය තරග අංශය අදියර දෙකකින් සමන්විත වූ අතර, එහි ප්‍රථම ස්ථාන දිනාගනු ලැබුවේ එම්.එම්.මධූකා දීපාලි සහ එල්.පී.නිලූපා යන රූපලාවන්‍ය ශිලපිණියන් දෙපළයි. පහතරට මනාළිය තරග අංශයෙන් එල්.ජී.ඉරේෂා රූපලාවන්‍ය ශිල්පිණිය ප්‍රථම ස්ථානය හිමිකර ගත්තා ය.

ශානිකා පෙරේරා රූපලාවන්‍ය ශිල්පිණිය බටහිර මනාළිය තරග අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදි. පිටත්ව යාමේ මනාළිය තරග අංශය ද අදියර දෙකකින් පැවති අතර කේ.නිරෝෂා ලසන්ති හා එල්.පී.නිලූපා රූපලාවන්‍ය ශිල්පිණියන් ප්‍රථම ස්ථාන දිනා ගත්තාය. 2016 වසරේ සිසුවියන් 32 දෙදෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ අතර මනාළියන් එළිදැක්වීමේ තරගයේ දී එම සිසුවියන් සහ මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටතේ පිහිටුවා ඇති බ්‍රයිඩ් ඇන්ඩ් සටයිල් සංගමයේ සාමාජිකාවන් ද ඇතුළව 43 දෙනෙකු ඉදිරිපත් වූහ. එයින් ප්‍රථම ස්ථාන 06ක් දෙවන ස්ථාන 06ක් හා තෙවන ස්ථාන 06ක් වශයෙන් 18 දෙනෙකු ජයග්‍රහණ ලබාගත්හ.

ඔවුන්ට වටිනා ත්‍යාග හා සහතිකපත්‍ර පිරිනැමිණි. සහභාගි වූ සියලු දෙනාට ද ත්‍යාග හා සහතික ප්‍රදානය කෙරිණි. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතාගේ සංකල්පයක් අනුව මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ පී.කේ.පතිරණ මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව මෙම වැඩසටහනේ සංවිධායක ව්‍යවසායකත්ව පුහුණු නිලධාරී කේ.ඒ.සී.දිල්රුක්ෂි මහත්මිය පැවසුවා ය.

 මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී රංජිත් වීරසේකර මහතා, මාතර ප්‍රාදේශිය ලේකම් රංජිත් යාපා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් සහභාගි වී සිටියහ. ඩ්‍රීම්රෝන්, බෙලෝස්, දේව් ක්‍රියේෂන්, ස්ටයිලිෂ් සහ දේවේන්ද්‍ර ට්‍රේඩ් සෙන්ටර් යන ආයතන මේ සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ලදි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.