• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සංගණනය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ නිලධාරීන් පුහුණූ කොට අවසන්

Department of Censusජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට යෝජිත රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ සංගණනය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 600කට අධික පිරිසක් පුහුණු කොට ඇති බව මහනුවර දිස්ත්‍රික් ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේනඥ  ජී.ඩබ්. ගුණසේකර මහතා පවසයි.


ඒ යටතේ රාජ්‍ය සේවයේ නිලධාරීන් 341ක් සහ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් 270ක් පුහුණු කොට ඇති අතර, ඒ සඳහා පුහුණු වැඩමුළු හයක් පවත්වා තිබේ. ඒ අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ මේ මස 17වැනි දින දීප ව්‍යාප්තව පැවැත්වෙන සංගණනය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සංගණන කටයුතු අපහසුවකින් තොරව පැවැත්විය හැකි බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ පැවැත්වෙන මෙම සංඝණනයේ අරමුණ වන්නේ රාජ්‍ය සේවකයන්ගේ ප්‍රජා විද්‍යා සහ ආර්ථික තොරතුරු ලබා ගැනීමයි. සාමාන්‍යයෙන් වසර පහකට හෝ හතරකට වරක් මෙවැනි සංගණනයක් පැවැත්විය යුතු වුවත් නොවැළැක්විය හැකි හේතූන් මත එම සංගණනය පැවැත්වීමට නොහැකි ව තිබේ. ඒ අනුව අවසන් වරට මෙම සංගණනය පවත්වා ඇත්තේ 2006 දීය. එබැවින් රාජ්‍ය සේවකයන්ගේ දත්ත පිළිබඳ සැලකිය යුතු හිගයක් පවතින බව පෙන්වා දුන් ගුණසේකර මහතා, මෙවර සංගණනයෙන් පසු එම අඩුපාඩු සකස් කර ගත හැකි බවද පැවසීය.

මෙවර පවත්වන සංගණනයේ තවත් විශේෂත්වයක් වන්නේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය පමණක් නොව රජයේ පත්වීම් ලබා ඇති අනියම්, දෛනික, තාවකාලික හා කොන්ත්‍රාත් පදනම මත පත්වීම් ලබා දැනට සේවය කරන සියලු ම සේවකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමයි. සංගණනය පැවැත්වෙන දිනයේ සියලු ම රජයේ නිලධාරීන් තම සේවා ස්ථාන වෙත පැමිණ සංගණනය ලබා ගන්නා නිලධාරීන්ට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසද ගුණසේකර මහතා ඉල්ලා සිටියි.

මහනුවර දිස්ත්‍රික් ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේනඥ  ජී.ඩබ්. ගුණසේකර මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති විශේෂ දැනුවත් කිරීමේ රැස්වීමකදීය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම සංවිධානය කොට තිබුනි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.