• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර දිස්ත්‍රික්කයට වස විෂ නැති ආදර්ශ සමෝධාන ගොවිපොළ 23ක් (2)

matara 2016ඒක භෝගී හෝ බහු භෝගී ගොවිපොළ ක්‍රමය වෙනුවට සමෝධාන ගොවිපොළ ක්‍රමය වඩාත් උචිත බවට තහවුරු කර ගෙන රජය මගින් දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක කරනු ලබන වස විෂ නැති සමෝධාන ගොවිපළ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක ගොවීන් තෝරා ගෙන ආදර්ශ සමෝධාන ගොවිපොළ 23ක් මේ වන විට පිහිටුවා තිබේ.

අදාළ ගොවිපොළ පවතින ඉඩකඩ ප්‍රමාණය අනුව හා ගොවි මහතාගේ අවශ්‍යතාව පරිදි එළවලු, පළා වර්ග, අල භෝග, පළතුරු, පොල්, තේ, කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි ආදී වගාවන් මෙන්ම කිරි ගවයින්, එළුවන්, ඌරන්, හාවුන්, කුකුළන් වැනි සතුන් ඇති කිරීම සහ මිරිදිය මත්ස්‍ය වගාව ආදී ක්ෂේත්‍ර ගණනාවක එකතුවක් වශයෙන් සමෝධාන ගොවිපොළ ක්‍රියාත්මක කෙරේ.

වැඩසටහන ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සොයා බැලීමට සහ අනෙකුත් ගොවීන්ට ආදර්ශයන් ලබා ගැනීම සඳහා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එච්.යූ.සිරිවර්දන මහත්මියගේ ප්‍රධානත්වයෙන් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පාලටුව ප්‍රදේශයේ පිහිටි ඩී.එච්.ජගත්ප්‍රිය මහතාගේ සමෝධාන ගොවිපළ, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙනියාය, කිරිවැල්දොළ පිහිටි ඒ.ජී.දයාසේන මහතාගේ සමෝධන ගොවිපළ සහ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැටපළෙ කන්දේ පිහිටි කේ.ධම්මික නිශාන්ත මහතාගේ සමෝධන ගොවිපොළ නිරීක්ෂණය කිරීම ඊයේ (25) දින සිදු කෙරිණි.

රසායනික කෘමි නාශක වර්ග හෝ රසායනික පොහොර වර්ග කිසිවක් භාවිත නොකර කාබනික පොහොර වර්ග හා සාම්ප්‍රදායික දැනුම උපයෝගී කර ගෙන කෘමි අගුල් මෙන්ම වෙනත් ක්‍රමවේද භාවිත කරමින් වගාවන් සිදු කෙරේ. සත්ත්ව පාලනයේ දී ද සතුන්ගේ ආහාර සඳහා විවිධ හෝමෝන වර්ග වෙනුවට අපතේ යන ආහාර ආදිය යොදා ගනී. එයින් සතුන්ගේ ආහාර සඳහා ලබා දී ඉතිරි කොටස හා සත්ත්ව අපද්‍රව්‍ය කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් යොදි ගනී. මෙම සෑම සමෝධාන ගොවිපොළක ම නිවසට අවශ්‍ය බයෝ ගෑස් නිෂ්පාදනය ද සිදු කර ගනී.සමෝධාන ගොවිපොළ ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය, දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් අංශය, දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් වගා කිරීමේ මණ්ඩලය, ජලජීවී වගා ව්‍යාප්ති කාර්යාලය ආදී රාජ්‍ය ආයතන මූල්‍යමය හා තාක්ෂණික සහයෝගය ලබාදෙයි.

මෙහි දී චෙක්පත් ප්‍රදානය කිරීමක් හා බීජ පැකට් බෙදා දීමක් ද සිදු කෙරිණි.මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරු ප්‍රමුඛ කෘෂිකර්මාන්තයට අදාළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ දිස්ත්‍රික් ගොවි සංවිධාන බලමණ්ඩලයේ සභාපතිවරයා ප්‍රමුඛ සමෝධාන ගොවිපොළ වැඩසටහනට සම්බන්ධ ගොවීන් පිරිසක් එක්වී සිටියහ.මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශය නිරීක්ෂණ චාරිකාව සංවිධානය කරන ලදි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.