• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගැටබරුවේ ඇසළ උත්සවය මේ මස 12 දා සිට (3)

gatabaruwa
මාතර - කොටපොල ගැටබරුව රාජ මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 12 වනදා සිට 18 වනදා දක්වා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදි ඇත.වර්ෂ 1957 දී ප්‍රථම වරට ආරම්භ කරන ලද මෙම පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 60 වෙනි වරටයි.

මේ මස 08 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 4.54 ට යෙදුණු සුභ මුහුර්තයෙන් ඇසළ උළෙලේ කප් සිටුවීම සිදු කරන ලදි. පළමු පේළි පෙරහැර 12 වැනිදා ප.ව. 3.00 ට කොටපොල හිඟුරුපනාගලින් ආරම්භ වී ගැටබරු රාජ මහා විහාරය දක්වා වීථි සංචාරය කෙරේ.

දෙවන පේළි පෙරහැර 13 වැනිදා ප.ව. 3.00 ට වරල්ල උත්තරගිරි විහාරස්ථානයෙන් ආරම්භ වී ගැටබරු රාජ මහා විහාරස්ථානය දක්වාද, තෙවන පේළි පෙරහැර 14 වැනිදා ප.ව. 3.00 ට කොස්මෝදර සුබෝධාරාමයෙන් ආරම්භ වී ගැටබරුව රාජ මහා විහාරස්ථානය දක්වා වීථි සංචාරය කිරීමට නියමිත ය.ප්‍රථම රන්දෝළි පෙරහැර 15 වැනිදා ගැටබරුව පූර්වාරමයෙන් ආරම්භ වී කොටපොල නගරය හරහා හිඟුරුපනාගල දක්වා වීථි සංචාරය කෙරේ. දෙවන රන්දෝළි මහා පෙරහැර 16 වැනිදා රාත්‍රී ගැටබරුව පූර්වාරමයෙන් ආරම්භ වී ගල්දොළ මංසන්ධිය දක්වා වීථි සංචාරය කිරීමට නියමිත ය.

රන්දොළි මහා පෙරහැර උඩරට, පහතරට, සබරගමුව නැටුම් සහ අලි ඇතුන් සහිතව ඉතා උත්කර්ෂයත් අන්දමින් පැවැත්වේ.ගැටබරුව රජ්ජුරු බණ්ඩාර දේවාලය ප්‍රමුඛකර ගනිමින් 17 වැනිදා උඩමළුවේ දී දේව තොවිලය පවත්වන අතර 18 වැනිදා දහවල් දේව දානය පිරිනැමීමෙන් අනතුරුව ගැටබරුව ඇසළ උත්සවයේ කටයුතු නිමාවට පත්කෙරේ.ගැටබරුව ඇසළ තොරණ 12 වනදා සිට 17 වනදා දක්වා ගැටබරුව මංසන්ධියේ ප්‍රදර්ශිත ය. මෙවර තොරණ අංගුලිමාල කතා වස්තුව පාදක කරගනිමින් නිර්මාණය කර ඇති අතර ඒ සඳහා යුද හමුදාවේ පූර්ණ අනුග්‍රහය ලබා දී ඇත.ගැටබරුව රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක බෙරලපනාතර චන්ද විමල නාහිමියන්ගේ, ඇසළ උත්සව කමිටුවේ ප්‍රධාන ලේඛකාධිකාරී කිරින්දේ ආනන්ද හිමියන්ගේ සහ ඇසළ උත්සව කමුටුවේ ප්‍රධාන සංවිධායක නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය කර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ මගපෙන්වීම හා මෙහෙයවීම මත  ගැටබරුව රාජ මහා විහාරස්ථ ඇසළ උත්සවය සංවිධානය කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.