• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ව්‍යාපාරික කටයුතු පහසු කිරීමේ සංසදයේ 11 වැනි සමුළුව හෙට

businessශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර පහසුකම් වැඩිදියුණු කරගනු වස් තිබෙන බාධක ඉවත්කිරීමේ අරමුණෙන් ආරම්භ කරන ලද ව්‍යාපාරික කටයුතු පහසු කිරීමේ සංසදයේ 11 වැනි හමුව හෙට (27) සවස 2.00ට කොළඹ 01 ශ්‍රීමත් රසීක් ෆාරීඩ් මාවතේ ‘මිලෝදා’ මූල්‍ය අධ්‍යයන ආයතනයේ දී පැවැත්වේ.


මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ යෝජනාවක් අනුව මුදල් අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද මෙම වැඩපිළිවෙළ යටතේ ආනයන හා අපනයනකරුවන් හට තම ව්‍යාපාර කටයුතු පහසුවෙන් හා කඩිනමින් ඉටුකරවා ගැනීමට තිබූ බාධක බොහොමයක් මේ වන විට ඉවත් කිරීමට මෙම සංසදය සමත් වී ඇත.

ණය පිළිබඳ ව තොරතුරු සපයන (CRIB) ආයතනය මඟින් ස්වයං වාර්තා අන්තර්ජාලය හරහා ලබා ගැනීම, ආනයනය කරනු ලබන මාළු සඳහා කිරණ පරීක්ෂණ පැවැත්වීම අවලංගු කිරීම, අත්හරින ලද ධීවර වරායන් සංවර්ධනය කොට විදේශ ධීවර බෝට්ටු අලුත්වැඩියා කිරීම සඳහා අවස්ථාව සලසාදීම ආදී වෙළඳ පහසුකම් මෙම ව්‍යාපාර පහසුකම් සංසදය හරහා දේශීය ව්‍යාපාරිකයන්ට ලබා ගැනීමට හැකිව තිබේ.

ව්‍යාපාරික කටයුතු පහසු කිරීම සඳහා ම කැපවුන මෙම සංසදය, පෞද්ගලික අංශයේ ව්‍යාපාරික කටයුතු වලට අදාළ කාර්ය පටිපාටි‚නියාමන ගැටලු විසඳීම සඳහා සජීවි සංවාද මණ්ඩපයක් සපයන අතර ව්‍යාපාරික කටයුතු පහසු කිරීමේ මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කරමින් ස්වකීය ව්‍යාපාරික ගැටලු වලට එම අවස්ථාවේම විසඳුම් සොයා ගැනීමට පහසුකම් සලසනු ඇත.

 මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ හමුව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්,රාජ්‍ය ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, කබීර් හෂීම්සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, අග්‍රමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශක ආර්.පාස්කරලිංගම් යන මහත්වරුන් ද සහභාගී වීමට නියමිතය. 

මෙම සංසදයට සහභාගී වන ලෙස මුදල් අමාත්‍යංශය‚ පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ප්‍රජාවට හා මහජනතාවට  ආරාධනා කරනු ලබයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.