• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අද සියලුදෙනා එක්ව සටන් කළ යුත්තේ බලය සඳහා නොව රට ගොඩනැගීමට බව ජනපති පවසයි

He news 2017 01 31 1අද අප සියලුදෙනා එක්ව සටන් කළ යුත්තේ බලය සඳහා නොව රට ගොඩනගමින් ජනතා ගැටලු විසඳීමට බව ජනාධිපතිතුමා පවසයි.ඇතැමුන් බලය ඉල්ලා සටන් කළද 2020 න් පසුව එන මැතිවරණයකදී ජනතා තීන්දුව අනුව මිස ඊට පෙර දේශපාලන බලය පිළිබඳ සිතීමටවත් කිසිවෙකුට නොහැකි බව ජනාධිපතිතුමා කියා සිටියේය.

මැතිවරණ සමයක දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් කළද ජනතා කැමැත්තෙන් පත්වූ නව රජයක් ඉදිරි සැලසුම් සමග රට ඉදිරියට ගෙන යන විට පටු දේශපාලන අරමුණු පසෙකලා එම වැඩපිළිවෙළට සහය දැක්වීම රටට ආදරය කරන සියලු දේශපාලනඥයින්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මොණරාගල කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට අද (28) පෙරවරුවේ එක් වෙමිනි.

ඌව වෙල්ලස්ස යළි කෘෂිකර්මාන්තයෙන් සශ්‍රීක කරමින් එහි ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීම සඳහා රුපියල් මිලියන 31,000 ක වියදමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ජලය සැපයීම මෙන්ම සීග්‍රයෙන් ව්‍යාප්ත වන වකුගඩු රෝගය මර්දනය කරමින් ජනතාවට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබාදීම ද ව්‍යාපෘතියේ අරමුණයි.මොණරාගල, බුත්තල, සියඹලාණ්ඩුව ප්‍රදේශවල ජනතාවට මෙමගින් ප්‍රතිලාභ හිමිවන අතර පවතින වගා බිම් අක්කර 3100 ක් සංවර්ධනය කිරීම, නව වගා බිම් අක්කර 10,315 ක් අස්වැද්දීම, වාර්ෂිකව ගිගාවොට් පැය 16 ක ජල විදුලි උත්පාදනයක් ඇතිකිරීම ද මෙමගින් අපේක්ෂා කෙරේ.

මොණරාගල, බුත්තල ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන් අමුණ පරිශ්‍රයේදී සුබ මොහොතින් ව්‍යාපෘතියේ කටයුතු ජනාධිපතිතුමා අතින් ආරම්භ කෙරිණි.එම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් රටේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට රජය ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය මෙන්ම නව වාරි යෝජනා ක්‍රම රාශියක් ආරම්භ කිරීමට ද කටයුතු කර තිබෙන බවයි.දැවැන්ත වාරි යෝජනා ක්‍රම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඉඩම් අහිමිවන ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවමින් ඔවුන් නැවත පදිංචි කිරීමේ කටයුතු ද රජය විධිමත් අයුරින් සිදු කරන අතර ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතු නොවන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.මොණරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය සියලු මුදල් වෙන් කර දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරා ගෙනයමින් එහි ජනතාවගේ ගැටලු විසඳීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.අමාත්‍යවරුන් වන විජිත් විජයමුණි ද සොයිසා, රංජිත් මද්දුමබණ්ඩාර, නියෝජ්‍ය ඇමතිනි සුමේධා ජී. ජයසේන යන මහත්ම මහත්මීන් ද, ඌව පළාත් විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජගත් පුෂ්පකුමාර, ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව ( 2017.01.28 වන දින පෙ.ව. 10.00 ට මොණරාගලදී )    මොණරාගල  දිස්ත්‍රික්කයට පැමිණිලා මේ ආදරණීය ජනතාව හමුවෙන්න අවස්ථාව ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයත්, මොණරාගල දිස්ත්‍රික්කයත් බොහෝ සමානකම් තිබෙන එකම සමාජ, ආර්ථික, සංස්කෘතික පසුබිමක ජීවත්වෙන ජනතාවක් සිටින ප‍්‍රදේශයක්. මේ ආදරණීය ගොවි ජනතාව හමුවන සෑම අවස්ථාවකම මගේ හෘද සාක්ෂියට දැනෙන්නේ ඒ නිසයි.    අද මේ වේදිකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට ගියාට වඩා මට විශේෂයක් දැනෙනවා. ඒ විශේෂය තමයි 1989 මම මුලින්ම පාර්ලිමේන්තුවට යන විට එදා පාර්ලිමේන්තුවට ගිය 89 මැතිවරණයේ මාත් එක්ක හතර දෙනෙක් අද මේ වේදිකාවේ ඉන්නවා. රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමා, ගාමිණී විජිත් විජයමුණි සොයිසා ඇමතිතුමා. සුමේධා ජී ජයසේන ඇමතිතුමිය. මේ දිස්ත‍්‍රික්කයෙන් ඒ තුන්දෙනාම එදා මාත් සමගම 89 පාර්ලිමේන්තුවට ගියා. කිසිම දිස්ත්‍රික්කයකට ගිය විට මේ කාලේ 89 පාර්ලිමේන්තුවට ගිය හතර දෙනෙක් ඒ විදයට එක වේදිකාවේ වාඩි වෙන්න ලැබෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් ලැබෙන එකම දිස්ත්‍රික්කය මොණරාගල දිස්ත්‍රික්කය. මම ඒ ගැන ඉතාමත් සතුටු වෙනවා.    අද කුඹුක්කන් ඔය වාරි යෝජනා ක‍්‍රමයේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයයි මේ පවත්වන්නේ. අපේ හාමුදුරුවනේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙත් තිබෙනවා කුඹුක්කන් ඔය කියලා ජලාශයක්.

මොණාරාගල කුඹුක්කන් ඔයේ ජලය දිගටම ගලා යන්නේ මුහුදටයි කියන එක ඔබත් මමත් දන්නවා. මොණරාගල දිස්ත්‍රික්කයේ තිබෙන්නේ ආර්ථික වශයෙන් අපට සතුටු වෙන්න පුළුවන් පසුබිමක් නොවෙයි. මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවගෙන් බහුතරයක් ඉතාම දුෂ්කර අමාරු ජීවිතයක් ගත කරන්නේ. එක් පැත්තකින් ආර්ථික අමාරුකම්, ඒවගේම සෞඛ්‍යමය ප‍්‍රශ්න. මෙවැනි දුෂ්කර තත්ත්වයන් රාශියක් එක්කයි මොණරාගල දිස්ත‍්‍රික්කයේ ජනතාව ජීවත් වෙන්නේ. මේ ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමේදී ප‍්‍රමුඛත්වයක් ගන්නේ ඒ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ.    අපි රට වශයෙන් ගත්තත් ඇමතිතුමා කලින් කිව්වා වගේ අපි අලුත් ආණ්ඩුව විදියට රටේ තිබෙන වැව් අමුණු, විශේෂයෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණයේ වැව් සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණය කිරීම, අලුත් යෝජනා ක‍්‍රම ඒවගේම මහා සංවර්ධන ව්‍යාපෘති රාශියක් අපි ගිය අවුරුද්දේ සිට පටන් ගත්තා. එදා ඌව වෙල්ලස්ස සටනේ ඓතිහාසික පසුබිමේ කතාවේ අපි දන්නවා කෘෂිකර්මාන්තය මොනතරම් වැදගත්ව ඒ පසුබිමේ තිබුණද කියන කාරණාව. ඒ නිසා මේ රට ගොඩනගන්න ප‍්‍රමුඛත්වය දිය යුත්තේ සැමවිටම කෘෂිකර්මාන්තයට. මොණරාගල දිස්ත්‍රික්කය වශයෙන් ගත් විට ඒ දිස්ත්‍රික්කයේ ජනතාවගේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී අපි දන්නවා විවිධ ප‍්‍රශ්න සහ ගැටලු රාශියක් තිබෙනවා. දුප්පත්කම වගේම මන්දපෝෂණ තත්ත්වයන් ගත්තාම මොණරාගල දිස්ත‍්‍රික්කය අපිට සතුටු විය හැකි තැනක නෙවෙයි තිබෙන්නේ. ලංකාවේ වැඩිපුරම මන්දපෝෂණය වාර්තා වන දිස්ත්‍රික්කය නුවරඑළිය. දෙවෙනි තැනට තිබෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කය. මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් විශාල පිරිසකට පානීය ජල ප‍්‍රශ්නය තිබෙනවා. කෘෂිකාර්මික ජල ප‍්‍රශ්නය තිබෙනවා. මොණරාගල දිස්ත්‍රික්කයට රටේම ජනතාවගේ ගෞරවය හිමවන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි ඒ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් වී නිෂ්පාදනයට ලැබෙන දායකත්වය. කොතරම් අමාරුකම් තිබුණත් ගොවි ජනතාවක් විදියට රටේ ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය. දෙවැනි කාරණය තමයි ලංකාවේ වන ගණත්වය ගත් විට දිස්ත්‍රික්ක වශයෙන් වන ඝනත්වය වැඩිම දිස්ත්‍රික්කය මොණරාගල දිස්ත්‍රික්කය.    අද ලංකාවේ භූමියෙන් වන ගණත්වය සියයට විසි හතක්, විසි අටක් වගේ තිබෙන්නේ. ඉදිරි අවුරුදු තුන තුළ අපේ වන ගණත්වය සියයට 32ක් වත් ඇති කරන්න අපි අලුත් ආණ්ඩුව විදියට කටයුතු ආරම්භ කරලා තිබෙනවා. මොණරාගල දිස්ත්‍රික්කය ලංකාවේ තිබෙන දිස්ත්‍රික්කවලින් දැනට වැඩි ප‍්‍රමාණයක් කැලෑව ඉතිරි වෙලා තිබෙන වන ගණත්වයෙන් තවත් පොහොසත් දිස්ත්‍රික්කයක් විදියට සැලකෙනවා. ඒ ගැන අපි ඉතාමත්ම සතුටු වෙනවා. දේශපාලන පක්ෂවල එකමුතුවක් ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීමත් සංවර්ධනය වේගවත් කිරීමත් මේ කරුණුවලට අපි ප‍්‍රමුඛත්වය දීලා තිබෙන්නේ. දැන් මෙහිදී සඳහන් වුණා නැවත පදිංචි කිරීම පිළිබඳව මේ ජලාශයට අසුවෙන ප‍්‍රදේශවල ජනතාව. ඇමතිතුමා කිව්වා පවුල් තිබෙන්නේ 200 ක් විතර කියලා. ඔහු දන්නවා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ මහවැලි මහ සැලැස්මේ යෝජනා ක‍්‍රියාත්මක වන විට නැවත පදිංචි කිරීම් පවුල් ලක්ෂයකට වැඩියි. ඒ ප‍්‍රදේශවලින් වෙනත් ප‍්‍රදේශවලට. පොළොන්නරුව දිස්ත්‍රික්කය නැවත පදිංචි කිරීම්වලට තිබුණු ප‍්‍රධාන දිස්ත්‍රික්කයක්. බදුල්ල දිස්ත්‍රික්කය, මහියංගණය ප‍්‍රධාන දිස්ත්‍රික්කයක්. ගිරාඳුරුකෝට්ටේ ප‍්‍රදේශය.

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය නැවත පදිංචි කිරීමේ ප‍්‍රධාන ප‍්‍රදේශයක්. මහවැලි මහ ජලාශය ආරම්භ කිරීමේදී පවුල් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් නැවත පදිංචි කළා. අද ඒ ජනතාව ඉතාමත් සමෘද්ධිමත් ආර්ථිකයක් තුළ ජීවත් වෙනවා. මම ආරම්භ කළ මොරගහකන්ද ජලාශ ව්‍යාපාරයේ 2007 නැවත පදිංචි කිරීම් සමීක්ෂණයේදි මම ගෙයක් ගානේ ගියා. මොරගහකන්ද ව්‍යාපාරයේ නැවත පදිංචි කිරීම්වලට පවුල් දෙදහස් ගණනක් තිබුණා. අද ඒ අයට ඒ පහසුකම් දීලා ඒ නැවත පදිංචි කිරීම් සාර්ථකව කරනවා. මේ නැවත පදිංචි කිරීම්වලට අසුවන සංවර්ධන යෝජනා ක‍්‍රමවල විශේෂයෙන් වාරි ව්‍යාපෘතිවලදි ඒ අවශ්‍ය පහසුකම් දීලා, සම්පත් දීලා ඒ අයගේ ප‍්‍රශ්න විසඳලා ඔවුන්ට හොඳ ජීවන තත්ත්වයක් ඇති කරමින් තමයි මේ කටයුතු සාර්ථකව කරන්නේ. ඒ නිසා මේ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රශ්නයක් ඇති කර ගැනීම අවශ්‍ය වන්නේ නැහැ කියන කාරණාව ඉතා පැහැදිලිව කියන්නට ඕනෑ. රටේ ආර්ථිකයට ප‍්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකයට ශක්තියක් දෙන පුළුල් යෝධ සංවර්ධන ක‍්‍රම ආරම්භ කිරීමේදී එවැනි ප‍්‍රශ්නවලට අපිට මුහුණ දීමට සිද්ධ වෙනවා.    අපි අද නියං තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. යම් ප‍්‍රමාණයකට වර්ෂාව ලැබුණත් අපේ හාමුදුරුවනේ, තාමත් ලංකාවේ ප‍්‍රධාන ජලාශවල හොඳ තත්ත්වයක් නැහැ. උල්හිටිය ජලාශය පමණක් පිටාර ගලනවා. කුඩා වැව් මධ්‍යම ප‍්‍රමාණයේ සාමාන්‍ය වැව් පිරිලා තිබෙනවා. නමුත් මහ වැව් ලංකාවේ එකක්වත් තවම සම්පූර්ණයෙන් පිරිලා නැහැ. පරාක‍්‍රම සමුද්‍රය, කලා වැව වගේ මහ වැව් අද සියයට පනහක් විතර තමයි තවම වතුර පිරෙන්නේ. නමුත් විශාල ජලාශ රාශියක ඉතාමත් අවම ජල මට්ටමක් තිබෙන්නේ. ඒ තත්ත්වය සැලකිල්ලට අරගෙන තමයි අපිට පිටරටින් සහල් ගෙන්වන තත්ත්වයකුත් ඇති වුණේ.    නියඟය කියන එක ඔබ කවුරුත් දන්නවා ස්වාභාවික ප‍්‍රශ්නයක්. ස්වභාවධර්මයාගේ ප‍්‍රශ්නයක්.

මේක මේ ආණ්ඩුවට විතරක් ආපු කාරණයක් නෙවෙයි. මට මතකයි 2013 අවුරුද්දේ මම ඒ කාලේ සෞඛ්‍ය ඇමතිවරයා විදියට ඉන්න කාලේ බරපතළ නියඟ තත්ත්වයක් ආවා. විශාල ප‍්‍රශ්නයකට මුහුණ දුන්නා. අපේ රටේ අවුරුදු හතරකට පහකට සැරයක් නියං තත්ත්වයක් ඇති වීම සාමාන්‍ය දෙයක්. ඒක පසුගිය අවුරුදු පනහක්, හැටක්, හැත්තෑවක් අතීතයට ගිය විට ඉතාම පැහැදිලිව පෙන්නුම් කරනවා. මේ කාලගුණික සහ දේශගුණික වෙනස්වීම් සමග ප‍්‍රධාන වශයෙන්ම අපේ කෘෂිකර්මාන්තය අපි හැසිරවීමේ කළමනාකරණයේ වෙනස්කම් අපිට අවශ්‍ය වෙනවා.    අද විද්‍යාඥයින් කියන පරිදි ඔබ අප ප‍්‍රායෝගිකව දන්නා පරිදි අපේ වගා කාලසටහන් අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා. අපි බොහෝ විට කතා කරපු යල, මහ අද වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරනවා. වාර්ෂික වර්ෂාපතනයේ වෙනස්කම් තිබෙනවා. දැන් වර්ෂාව ලැබෙන්නේ වර්ෂාව මීට අවුරුදු විසිපහකට තිහකට හතළිහකට එහා ලැබුණු මාසවල නෙවෙයි. වෙනස් විදියකට කියලා ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා මෙය අපේ රට පමණක් මුහුණ දෙන ප‍්‍රශ්නයක් නෙවෙයි. මේ කාලගුණික සහ දේශගුණික වෙනස්වීම් සමග ඇති වන ඒ විපර්යාසයන්වලදි කෘෂිකර්මාන්තයේ සංවර්ධන ක‍්‍රමෝපායන් වෙනස් කරන්න වෙනවා. සැලසුම් වෙනස් කරන්න වෙනවා. කාලසටහන් වෙනස් කරන්න වෙනවා.

බීජ වර්ග වෙනස් කරන්න වෙනවා. කෘෂිකර්මාන්තයේ අපේ යම් යම් සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන් වෙනස් කරන්න වෙනවා. ඒ නිසා අපි දන්නවා මොණරාගල විදියට ගත් විට ඈත අතීතයේ සිට මහා ගොවි බිමක් විදියට මේ රටේ තිබෙන සම්පත් පිළිබඳව අපි සතුටු විය යුතු වෙනවා. අපි සෑමවිටම මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන හොඳ රටක් හදන්න හොඳ ප‍්‍රදේශයක් ගොඩනගන්න, සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගන්න මේ කටයුතු කරන්නේ. මේ සියලු කටයුතුවලදි තමුන්නාන්සේලාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා වගේම මොණරාගල දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ කාර්යය අලුත් ආණ්ඩුවක් විදියට විශාල වශයෙන් මුදල් වෙන් කරලා මේ සියලු ක්ෂේත‍්‍ර හඳුනාගෙන මේ මැති ඇමතිවරුන්ගේ සහයෝගයෙන් ඉතා සාර්ථකව අපි ඉදිරියට කර ගෙන යනවා. ඒ නිසා මේ සියල්ලට තමුන්නාන්සේලාගේ සහයෝගය අවශ්‍ය වෙනවා. මේ කටයුතු කරන සියලු නිලධාරී මහත්ම, මහත්මීන්ට මගේ ගෞරවනීය ස්තූතිය මම පුද කරනවා.    විජිත් විජයමුණි සොයිසා ඇමතිතුමා මගේ දීර්ඝ කාලීන මිත‍්‍රයෙක් විදියට එතුමාට වාරිමාර්ග ඇමති ධුරය දුන්නේ මේ දිස්ත්‍රික්කයේ වාරි මාර්ග ක්ෂේත‍්‍රයේ ප‍්‍රශ්න විසඳන්න. මීට කලින් මේ ප‍්‍රශ්න විසඳුණේ නැති නිසා මම මේ දිස්ත්‍රික්කයට ඒ වාරිමාර්ග ඇමතිකම දුන්නේ. නැත්නම් වෙනත් දිස්ත්‍රික්කයකට මේක දෙන්න තිබුණා. මේ දිස්ත්‍රික්කයේ ආර්ථික අමාරුකම් මම හොඳින් දන්න නිසා. වාරිමාර්ග ගැටලු මම හොඳින් හඳුනාගෙන තිබෙන නිසා. ඒ නිසා එතුමා ඒ කටයුතු හොඳින් කරනවා. රංජිත් බණ්ඩාර ඇමතිතුමාත් අපි එකට පාර්ලිමේන්තුවේ ගිය මාගේ පැරණි මිත‍්‍රයෙක් විදියට එතුමත් මගේ හොඳම හිතවතෙක්. එතුමාත් දක්ෂ ඇමතිවරයෙක් විදියට කටයුතු කරනවා. ඒ ගැන මම ඉතාම සතුටු වෙනවා. අපි එක ආණ්ඩුවක අද පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන්නේ. සුමේධා ජී. ජයසේන මැතිනිය මම ඉතාම හිතවත්ව එදා ඉඳන්ම ඇසුරු කරන කෙනෙක්. එතුමියට භාරදෙන වගකීම් එතුමිය ඉතාමත් හොඳින් ඉෂ්ට කරනවා. මේ දිස්ත්‍රික්කයට හොඳ දේශපාලන නායකත්වයක් දෙනවා. ඒ වගේම ජගත් පුෂ්පකුමාර ඇමතිතුමත් පසුගිය මැතිවරණයෙන් ජයග‍්‍රහණය නොකළත් දක්ෂ විදියට කටයුතු කරනවා. භාරදෙන වගකීමක් හොඳින් ඉෂ්ට කරන කෙනෙක්. ඒවගේම තමයි පළාත් සභාවේ අනිත් සියලු මැති ඇමතිතුමාලා තමාගේ වගකීම් ඉටු කරන නිසා අපි අලුත් ආණ්ඩුවක් විදියට ඒ සියලුදෙනාට අවශ්‍ය සහයෝගය දෙනවා. මේ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න. අපේ වගකීම් සහ යුතුකම් අපි හැමවිටම අපි ඉතාමත් හොඳින් ඉටු කරනවා. 

 අද මේ කාලය ගත් විට දේශපාලන බලය සඳහා සටන් කළ යුතු කාලයක් නෙවෙයි මේ. මොකද මේ මැතිවරණ කාලයක් නෙවෙයි. මැතිවරණ කාලයකට දේශපාලන බලයට සටන් කළාට කමක් නැහැ. අද තිබෙන්නේ සෑම කෙනෙක්ම එකතු වෙලා සටන් කරන්න රට ගොඩගන්න. ආර්ථිකය ගොඩගන්න. රටේ සමෘද්ධිය ඇති කරන්න. ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න. ඒ සඳහා තමයි තරගකාරිත්වයක් තිබිය යුත්තේ. ඒ සඳහායි සටනක් තිබිය යුත්තේ. දේශපාලන බලය පිළිබඳව සටන් කළාට කාට හෝ ඒ බලය හිතන්නවත් බැහැ. 2020 න් පස්සේ තමයි ජනතාව දෙන තීන්දුත් එක්ක ඒ ගැන හිතන්න පුළුවන්කම කාට හෝ තිබෙන්නේ. ඒ නිසා අපි අලුත් ආණ්ඩුවක් විදියට ඉදිරි කාලසීමාව තුළ අපේ වගකීම් සහ යුතුකම් අපි ඉතාමත් හොඳින් ඉෂ්ට කරනවා.    මේ අවුරුද්ද දුගීබවෙන් නිදහස් වීමේ වසර විදියට අපි නම් කරලා තිබෙන්නේ. තිරසර සංවර්ධන ප‍්‍රතිපත්තිය තුළ ප‍්‍රමුඛත්වය දෙන්නේ මේ රටේ ජනතාවගේ දුගී භාවයෙන් ජනතාව නිදහස් කරන්න. ඒ සඳහා අලුත් සැලසුම් රාශියක් සකස් කර තිබෙන බව ඔබ දන්නවා.

ඒ නිසා ඒ කටයුතුවල ඉතාම හොඳ ප‍්‍රතිඵලයක් ඉදිරියේදී ලැබේවි. හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍ය සේවයක්, හොඳ කෘෂිකර්මාන්තයක්, හොඳ යටිතල පහසුකම් හොඳ, වාරිමාර්ග ක්ෂේත‍්‍රයක් මේ කටයුතු සම්බන්ධයෙන් අපි කරගෙන යන වැඩපිළිවෙළවල ප‍්‍රතිඵල ඉදිරියටයි තිබෙන්නේ. ඒ නිසා රට ආර්ථික අර්බුදයෙන් ගොඩ අරගෙන සමෘද්ධිමත් රටක් විදියට ගොඩනගමින් යහපත් සමාජයක් ගොඩනැගීමේ උතුම් කාර්යයට ඔබ සියලුදෙනාගේම සහයෝගය ඉල්ලා සිටිමින් අපි රජයක් විදියට ඒ සඳහා සැමවිටම කැපවෙන බව ප‍්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.