• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රේඛාව චිත්‍රපට කර්මාන්තයේ විශාල පෙරළියක් සිදු කළා - අගමැති

PMරේඛාව චිත්‍රපට නිසා මෙරට චිත්‍රපට කර්මාන්තයේ විශාල පෙරළියක් සිදු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 රීගල් සිනමා ශාලාවේ පැවති රේඛාව චිත්‍රපටියේ 60 වන සංවත්සරයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අගමැතිවරයා සිදු කළ කතාව පහත සඳහන් වේ.

"අද අපි මෙතැනට පැමිණ සිටින්නේ රේඛාව චිත්‍රපටියේ 60 වන සංවත්සරය වෙනුවෙන්. මට මතක ඇති ආකාරයට 1956 නැත්නම් 1957 ජනවාරි මාසයේ දී මේ රේඛාව චිත්‍රපටිය නැරඹිම සඳහා මගේ දෙමවිපියන් සමග මමත්, මගේ වැඩිමහල් සොහොයුරු ශාන් වික්‍රමසිංහත් රීගල් සිනමාහලට පැමිණියා.

මේ චිත්‍රපටයට දැන් වසර 60 ක් ගතවෙලා. එදා බැල්කනියේ සිට රේඛාව චිත්‍රපටය නැරඹූ මම, අද ගැලරියේ සිට එය නරඹනවා. මේ කාලය තුළ රේඛාව නිසා අප රටේ චිත්‍රපට කර්මාන්තයේ විශාල පෙරළියක් සිදු වුණා. ඒ පිළිබද මම දීර්ඝ වශයෙන් කථා කරන්නේ නෑ. මේ පිළිබද ස්තුතිය හිමිවිය යුත්තේ ලෙස්ටර් ජේමිස් පීරිස් මැතිතුමාට සහ සුමිත්‍රා පීරිස් මැතිනියටයි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා අවුරුදු එකහමාරක් පමණ දුක්වින්දා. චිත්‍රපටිය නිෂ්පාදනය කරන අවස්ථාවක වැස්ස බලාපොරොත්ත වුනත් වැසි ලැබුණේ නෑ. මම හිතන්නේ සුමිත්‍රා පීරිස් මහත්මියට කියන්න පුලූවන් මුදල් එකතු කරලා මේ හැමදේම කරන්න ගිය ආකාරය.

රේඛාව චිත්‍රපටය ගැන හොදම කථාව මට කීවේ ජේ. ආර් ජයවර්ධන මැතිතුමායි.  මේ චිත්‍රපටය පටන්ගන්න කොට මම කැලණියේ මන්ත්‍රී, සභානායක සහ කෘෂිකර්ම ඇමති. චිත්‍රපටය පෙන්වනකොට මට සභානායකකමත් නෑ. කෘෂිකර්ම ඇමතිකමත් නෑ. මන්ත්‍රීකමත් නෑ. නිකන් ජේ. ආර් ජයවර්ධන හැටියටයි මම මෙතැනට ආවේ යැයි එදා එතුමා කියා සිටියා.

රේඛාව චිත්‍රපටයේ වැස්ස තියෙන අවස්ථාව පටිගත කළේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ මානෙල් වත්තේ දීයි. වැස්ස නැති නිසා කොළඹ නගර සභාවෙන් කණ්ඩායමක් ඇවිත් කැළණි ගගෙන් වතුර ගෙනාවා. මේ එක් කතාවක් පමණයි. මම නැති වුනත් ලෙස්ටර් ජේමිස් පීරිස් මැතිතුමා සිංහල සිනමාවට විශාල සේවයක් ඉටු කරනවා යැයි ජේ. ආර් ජයවර්ධන මැතිතුමා මා සමග කිව්වා. එදා සමහර අය මේ දේවල් විශාල ලෙස විවේචනය කළ අතර ඔවුන් මෙහි වටිනාකම දැක්කේ බොහෝ පසුවයි.

දෙවෙනි චිත්‍රපටිය ලෙස සංදේශය නිර්මාණය කළා. අපි හැම කෙනාම එය නැරඹුවා. විශේෂයෙන් රේඛාවේ සංගීතය සුනිල් සාන්ත සහ මර්සලීන් ජයකොඩි පියතුමා විසින් සිදු කළා. එදා ජනප්‍රියම ගීතය වුණේ සංදේශය චිත්‍රපටයේ පෘතුගීසිකාරයා ගීතයයි. ඊළගට  “රැජිණ මමයි” ගීතයයි. එහි පද රචනය කළේ අරිසෙන් අහුබුදු සූරීන් විසිනුයි. තුන්වෙනි චිත්‍රපටය වූයේ ගම්පෙරළිය චිත්‍රපටයයි. එහි ගීත තිබුණේ නැහැ. ශ්‍රී ලංකාවේ සිනමාව අලුත් යුගයකට පා තැබුවේ මෙම චිත්‍රපට තුන නිසයි. එම නිසා අපි සියලු දෙනාගේත්, රටේත් ස්තුතිය ලෙස්ටර් ජේමිස් පීරිස් මැතිතුමාට හිමි විය යුතුයි. සුමිත්‍රා පීරිස් මැතිනියටත් ඒ අයුරින්ම ස්තුතිය පිරිනමනවා. ශ්‍රී ලංකාවේ අපි සියලු දෙනාත්, අපේ සිනමාවත් ඔබට ණයගැතියි. ‘සිලෝන් තියටර්’ සමාගම ඇතුලු සියලු දෙනා ලබා දුන් උදව් වලටත් අපි ණය ගැතියි.

රේඛාව චිත්‍රපටයේ 60 වෙනි සංවත්සරයට සහභාගි වී වචන ස්වල්පයක් කථා කරන්න අවස්ථාව ලැබෙනු ඇතැයි එදා පළමු අවස්ථාවට රේඛාව චිත්‍රපටය නරඹන විට මට සිතුණේ නැහැ. මෙවැනි ඓතිහාසික වූත්, සිනමාවේ පෙරළියක් ඇති කළා වූත් මෙම සිනමා පටය අපේ දේශීය සිනමා ඉතිහාසයේ සංධිස්ථානයක් බවට පත් වී හමාරයි."

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.