• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නීත්‍යානුකූල නොවන විදේශ රැකියා උප ඒජන්තවරු (Sub Agent) වහාම අත්අඩංගුවට ගන්නවා

Thalatha athukorala 2017 02 02විදේශ රැකියා ක්ෂේත‍්‍රයට අදාළ ව නීත්‍යානුකූල නොවන අයුරින් උපඒජන්තවරු ලෙස පෙනී සිටින (Sub Agent) පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීමට සූදානම් බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

 අමාත්‍යවරිය මේ බව පැවසුවේ, අද (02) වන දින ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ කින්නියා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ශ‍්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමිනි. මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ,  මීට ඉහතදී උප ඒජන්තවරු ලෙස පෙනී සිටිමින් රැකියාවන් සඳහා කාන්තාවන් විදේශ ගත කිරීමට උප ඒජන්තවරු නීත්‍යාණුකූල නොවන අයුරින්  කටයුතු කර ඇති බවත්, එම නිසා රැකියා සඳහා විදේශ ගතවී විවිධ කරදර හා ගැටලූ වලට ලක්වූ පුද්ගලයින් ඉහළ ප‍්‍රමාණයක් වාර්තා වී ඇති බැවින් මෙම උප ඒජන්තවරු තහනම් කිරීමට තීරණය කර ඇති බවයි. එවැනි උප ඒජන්තවරු මගින් විදේශ ගත වී ගැටලූවක් ඇති වුවහොත් එහි  වගකීම විදේශ රැකියා අමාත්‍යංශයට භාර ගැනීමට නොහැකි බවත්, උප ඒජන්තවරු අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් දී ඇති බවත්  සඳහන් කළාය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගත වන අය සම්බන්ධයෙන් කාර්යාංශයට වගකීමක් ගත නොහැකි බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. සමාජයේ පැනනගින ගැටලූ අධ්‍යයනය කිරීමේදී වාර්තා වූයේ මව හෝ පියා විදේශගත වූ පවුල් වල දරුවන් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැනි නොයෙකුත් සමාජමය ගැටලූ ඇති වන බවත්, විශේෂයෙන් ම  මව විදේශ ගත වී ඇති පවුල් සංඛ්‍යාව වැඩි බවත්, එම නිසා විගමණික පවුල වල දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තම අමාත්‍යංශය යටතේ ශ‍්‍රමික සුරැකුම වැඩසටහන යටතේ දිවයිනේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත  සංවර්ධන නිලධාරීන්ට එහි වගකීම පවරා ඇති බවත්, එහිදී විගමණකි පවුල් වල දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප‍්‍රගති වාර්තාවක් මසකට වරක් අමාත්‍යංශයට සංවර්ධන නිලධාරීන් මගින් ඉදිරිපත් කළ යුතු බවත් ඒ පිළිබඳ ව තමන් පෞද්ගලිකව සොයා බලන බවත්, අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ති‍්‍රක්කයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අබ්දුල් මොහොමඩ්, කින්නියා ප‍්‍රාදේශීය ලේකම් එම්.ඒ අමාස් සහ විදේශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම් දීපා සන්නසූරිය මහත්මිය ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.