• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආගමික නායකයින්ගේ සහ සභාවල නිදහස් දින පණිවුඩ

SriLankan flag 2017අස්ගිරි මහානාහිමිගේ නිදහස් දින පණිවුඩය
අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිකුත් කළ නිදහස් දින පණිවුඩය පහත සඳහන් වේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 69වන නිදහස් දිනය අනුස්මරණය කෙරෙන මේ අභිමානවත් හෝරාවේ ඒ වෙනුවෙන් සුභාශිංසන සටහනක් ලබාදෙනුයේ ආගමික හා ජාතික ප්‍රබෝධය පසුබිම් කර ගත් දැඩි සොම්නස් සිතිනි.
නිදහස යනු හුදෙක්ම ප්‍රායෝගික ක්‍රියාදාමයකි. ලැබුණ දේශපාලන නිදහස වඩාත් පූර්ණ හා අර්ථවත් වනුයේ ආර්ථික වශයෙන් ද සාමාජික වශයෙන් ද අප නිදහස් වූ දිනයකය. අපට සමකාලීන ව හා පසු කාලීනව නිදහස ලබාගත් ඇතැම් රටවල් අද ඉතා ඉහළ අඩියකට පත්ව ඇත්තේ ලැබූ නිදහස ප්‍රායෝගික කරණය කිරීමෙන් එම රටවල් විසින් ලබාගෙන ඇති ආර්ථික හා සමාජික නිදහස නිසාය.  ශ්‍රී ලංකාවේ නිදහස වඩාත් නිවැරදිව ප්‍රායෝගික කරණය නොවී ඇත්තේ අපේ නිදහස ලබා ගත් එකක් නොවී ලැබූ නිදහසක් වූ නිසා බව සමාජ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ගිහිපැවිදි උතුමන් විසින්  ජාති ආගම් හා කුල භේදයකින් තොරව නිදහස් අරගලය දියත් කිරීමට අවශ්‍ය උණුසුම් පරිසරයක් ලංකාව තුළ නිර්මාණය කළහ. මෙම ක්‍රියාකාරීන්ගේ විවිධ මට්ටමේ කේවල් කිරීම් හා රටතුළ පැවති උණුසුම් වාතාවරණය යටතේ සුදුපාලකයින්ට මේ ගැන නිහඩව සිටීමට නොහැකි විය.  එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව නිදහස් රටක් ලෙස ඉංග්‍රීසීන් විසින් නම් කළත් ලාංකිකයින් බෙදී වෙන්වූ ජාතියක් වශයෙන් දිගින් දිගටම තබා ගැනීම ඔවුන්ගේ යටි අරමුණ විය.බහුලව ලාංකික සමාජය තුළ මුල් බැසගෙන ඇති මානසික වහල්භාවය  හා ජාතිවාදී සංකල්ප ජනසමාජයට පිළිලයකි. මානසික වහල් භාවයෙන් නිදහස් වන තුරු බටහිරට ගැති ගතානුගතිකත්වයෙන් අපට මිදිය නොහැක. කෙසේ වෙතත් අපේ නිදහස් අරගලයේ පෙරමුණ ගෙන ක්‍රියා කළ සියලු ම ගිහි පැවිදි උතුමන් මේ අවස්ථාවේදී කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කිරීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකමක් විය යුතුය.ජාතික හා ආගමික සංහිදියාව තුළ පටු දේශපානයෙන් බැහැරව තමාගෙන් තමාටත්, සිය පවුලටත්, සිය ආගමටත්, රටට ජාතියට විය යුතු යුතුකම් සමුදාය හිතට එකඟව ඉෂ්ඨ සිද්ධ කරදීමට සැමට ප්‍රත්‍යක්ෂ වේවායි මේ නිදහස් දිනයේදී කරුණාධ්‍යාසෙයන් යුක්තව ප්‍රකාශ කර සිටුම්හ.
ශ්‍රී ලංකා අමරපුර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර ස්වාමීන් වහන්සේගේ නිදහස් දින පණිවුඩය
 
විජය රජුගේ ආගමනයේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා වසර 2358ක පමණ කාලයක් දක්වා එකසිය දෙඅසුවක (182) රාජාවලියකින් හෙබි ශ්‍රී ලාංකික රාජ්‍ය පාලනයක් පිළිබඳ ලිඛිත ඉතාහිසයක් ඇති සමෘද්ධිමත් රටක් අපට තිබී ඇත. එකී කාලය තුළ ද වරින් වර සතුරු උවදුරු තිබී ඇති මුත් ඒවා මැඩලමින් පාලනය ඉදිරියට ගෙන යාමට ආගමික නායකත්වයද ඔවුනට උදව් කර ඇත.
භාවිත වර්ෂ 1815 මාර්තු දෙවැනි දා සම්පූර්ණයෙන් ඉංග්‍රීසි අධිරාජ්‍යයන්ට අප යටත් වූයේ ද ඒ වන විට මුල් පෙලේ සිටි සිංහලයන්ගේ පලිගැනීම් - බලයට - ධනයට හා තනතුරුවලට ඇති කෑදරකමින් යුත් අසමගිය නිසා ම බව ලංකා ඉතිහාසය සාක්ෂි දරයි. අහස් ජලය රැකගැනීමට වැව් 35000කට අධක ප්‍රමාණයක් සාදමින් මොනරාගල වැනි එක් පළාතම පමණක් වෙල් ලක්ෂයක් (වෙල්ලස්ස) පමණ තිබූ බවට ද කියැවෙන අපේ රටේ අය අපේ ම ආර්ථික අස්වැන්නෙන් එදා යැපී ඇත. දසමහා යෝධ වැනි පුරුෂ පිරිසක් සිටි බවට ද කියැවෙන මේ රට මෙයට 69වසරකට පෙර ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන් මුදවා ගත්තේද කයෙන් යොධයන් නොවූවත් ජාතිකානුරාගයෙන් හා දේශාභිමානයෙන් යෝධයන් වූ පිරිස් බව අප සිහිපත් කරගත යුතු වෙමු. 1815දී ඉංග්‍රීසීන් ජනයාට කෘර වධදෙමින් රටේ පාලනය උඳුරාගන්නා මුත් දෑඅවුරුද්දකින් සංවිධානය වූ වීර නායකයෝ 1818 වැනි තුන් අවුරුදු කාලයකදී ඌව වෙල්ලස්ස වැනි කැරලි නැවත ඇතිකිරීමට තරම් එඩිකර වී ඇත. මෙවන් ඉතිහාසයක් අපට තිබී ඇත.
අපි දැන් මේ සමරන්නේ 69වන නිදහස් සංවත්සරයයි. මේ පිළිබඳ ව ආපසු හැරී බැලීමේදී අපත් සමග නිදහස ලැබූ සමකාලීන ආසියාතික රටවල් හා සසඳා බැලුවහොත් මේ කාලය තුළ අපේ රට කවරෙකු පාලනය කළත් එවන් රටවල ආර්ථික හා සාමාජික දියුණුවට වඩා අද අප සිටින්නේ බොහෝ පසුපසින් බව පිළිගත යුතුව ඇත. එහෙයින් මේ තත්ත්වය පිළිබඳ පාලිත පාලක ප්‍රභූන් හා මහජනයා එක්ව මෙත් කරුණා සිතින් මෘදු වචන භාවිත කොට උපේක්ඛා සහගතව එක් මේසයකට එක්ව විවෘත සංවාද පවත්වා වාද භේද මගහරවා ගෙන එක්සත් සංවර්ධිත රටක් ගොඩනගා ගැනීමට මේ සංවත්සරය හේතු වේවායි මහා සංඝරත්නය වෙනුවෙන් මම ආශිර්වාද කරමි.
 
ලොව සියලු සත්වයන්ටම තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් යහපතක් ම වේවා!!
දවුල්දෙණ ඤානීස්සර ස්ථවිර
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක
අතිගරු ඩිලෝරාජ් කනගසබේ කොළඹ රදගුරුහිමිතුමාගේ නිදහස් දින පණිවුඩය
අපගේ 69වන නිදහස් දිනය සමරන මෙම අවස්ථෘවේ දී කිතුනු ශාසනයේ ලංකා සභාව, ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රජාවන් හා ආගමිකයින් සමඟ අපගේ දේශයට ඉතා ප්‍රිතිජනක යහපත් අනාගතයක් සඳහා සුභපැතුම් ගෙන ඒමට එකතු වන්නෙමු.
1948 වසරේ පටන් දේශයක් ලෙස සැලකිය යුතු දුරක් අප ගමන් කර ඇත්තෙමු. මෙහිදී සෞඛ්‍ය, ප්‍රාථමික හා ද්වීතික අධ්‍යාපනය සඳහා වන ප්‍ර වේශයන්, ජීවිත අභිමතාර්ථයන්, සමානාත්මතාවයෙන් යුතු අවස්ථාවන් සහ දුප්පත්කම තුරන් කිරීම යන බොහෝ ක්ෂේත්‍ර උදාහරණයක් ලෙස ගතහොත් ප්‍රගතියක් ලබා තිබේ. එමෙන් ම ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනය, ආදායම් තත්ත්වයන්වල විෂමතා කෙරෙහි අවධානය, උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල අපගේ උත්සාහයන්වල ප්‍රගතියේ යම් පසු බැස්මක් තිබුණත් සෑහීමකට පත් වියහැකි ප්‍රතිඵල අප ලබා තිබෙන බව කිව යුතුය. අද අප රට මුහුණ දෙන සාදාචාරාත්මක අර්බුදයට හේතු පාදක වී ඇත්තේ මෙම ඉහත කරුණුවලින් අපට ඇති වූ වැරදිම් මෙන් ම කළකිරීම් බව පෙනේ. අවිනීතබව, අවංක නොවීම, දූෂණයට, බලයට ඇති කෑදරකම, පහසුවෙන් තනතුරු ගෙන පොහොසත්වීම, නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, විශ්වාසනීයත්වය පළුදු වීම, විවිධ ජනවර්ග අතරේ ඇති වෛරවාදී ආකල්ප මෙන් ම හිතාමතා උළුප්පා දක්වන වාර්ගික හා ආගමික ද්වේශය යනාදිය දේශය තුළින් ම මතු වී ක්‍රමානුකූල අවධානමකට ලක් වී ආගාධයකට වැටීමේ පසුබෑම් හෝ පාපයන් වී ඇත. සෞභාග්‍ය හා සමාදානය සඳහා හුදෙක් යාච්ඤාවම හෝ ප්‍රාර්ථනයම කිරීමෙන් ඵලක් නැත. එහෙත් සැබැවින්ම අප මත පාරිශුද්ධ වූ වගකීමක් පැවරී ඇත. පාලකයන් පළමුකොට පරමාදර්ශීව මෙන් ම එලෙසින්ම අපගේ සියලු ම පුරවැසියන් අවංක හා යටහත් ව කැපවීමෙන් වැඩකිරීමෙන් අප සැමදෙනාගේ මව්බිම ලෙස අප දේශයේ මහත් සාඩම්බරව ජීවත්වීමට සුදුසු රටක් ලෙස නිර්මාණය කිරීම කළ හැකිය. ශ්‍රී ලංකාවට මහත් සේ ආදරය කළ මහනුවර ත්‍රිත්ව විදුහලේ සේවය කළ ගෞරවනීය ඩබ්ලිව්. එස්. සීනියර් පියතුමන් ලියූ වදන් පෙළත් මෙසෙ දක්වමි.
 
එනමුදු ලක් දෙරණ ගැන කිවි වදන් නගන විට
මතු උදාවන දින දින දීප්තිය නැංවේ
ජාතීන් සැම එකිනෙදා හා බැඳී
විරෝධී හඬ නිසල වූ කළ
එක් හොරණෑ නදකට පියමං කරනා විට
එක් බෙර රිද්මයකව පෙර ගමනේ යෙදෙන්නෙමු.
මෙම දැක්ම තුළ පවතින්නට මෙම නිදහස් දින අප හැමදෙන අදිටන් කර ගනිමු.
අතිගරු ඩිලෝරාජ් කනගසබේ
කොළඹ රදගුරුහිමි
කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ සුභාශිංසන පණිවුඩය
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී රජනරජයේ 69වැනි නිදහස් දිනය සමරන මේ මොහොතේ ජනතාවක් ලෙස අප ආ ගමන් මග ගැන ආපසු හැරී බලා අගේ අනාගතය යහපත් කර ගැනීම සඳහා මෙනෙහි කිරීමක යෙදෙන්නට අනගි අවස්ථාවක් උදා වී ඇත.
පුරා වසර 69ක් තිස්සේ රටක් ලෙස අප විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ලබාගත් දේශපාලනික නිදහස ආර්ථික මෙන් ම සාමාජීය නිදහස් ලෙසට ද පරිවර්තනය කර ගැනීමේ වගකීම 1948 සිට අප සතුව තිබුණි. එහෙත් අවාසනාවකට මෙන් පටු භේද හා ජාතිවාදී මෙන් ම ආගම්වාදී හැඟීම්වලින් දේශපාලන ක්ෂේත්‍රය ඉතා අපිරිසිදුවීම නිසා අප භේදබින්න වී ජීවිත සහ දේපළ ගිනිය නොහැකි තරමින් විනාශ වුණු යුද්ධයක පැටලුනෙමු. ඒ තුළින් අපි සියල්ලෝම පීඩා වින්දෙමු.
පටු ජාතිවාදය හා වර්ගවාදය තුළ සිරවී සිටීම සැබෑ නිදහස අත්දැකීමේ මාර්ගය නොවේ. සැබෑ නිදහස අත්කර ගැනීම සඳහා සියල්ලන්ටම සම අයිතිවාසිකම් ඇති පුරවැසියන් ලෙස එකමුතු විය යුතු වෙමු. විවිධත්වය තුළ ඒකීයත්වය මෙන් ම සියලු පුරවැසියන්ගේ අවශ්‍යතා හා ආත්මගරුත්වය රැකීමේ පිළීවෙතක් වෙතට අපි ගමන් කළ යුතු වෙමු. අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය ඒ සඳහා සියලු ම දේශපාලන පක්ෂ හා මතිමතාන්තර ද එකතු කර ගැනීමේ අවශ්‍යතාවයක් අද නැත. බෙදී සිට ඒ ජයග්‍රහණය ළඟා කරගත නොහැකිය.
එලෙස අපට උරුම ආගමික හා සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කර නව යටත්විජිතවාදී හා ගෝලීයකරන සංකල්පවලින් නිදහස් වී මේ රටේම සංස්කෘතිය හා සභ්‍යත්වය ආරක්ෂාවන පරිදි සැබෑ නිදහස සොයා යාම අපගේ යුතුකමකි. ඒ සඳහා මේ උතුම් දවසේ දී අපි ප්‍රතිඥා දෙමු. කැපවෙමු. ශ්‍රී ලංකා මාතාව දිනේවා!
 
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
කොළඹ අගරදගුරුතුමා
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් නිකුත් කළ නිදහස් දින පණිවුඩය
"අප මවුබිම වන ශ‍්‍රී ලංකාවේ 69 වන නිදහස් දින සැමැරුම වෙනුවෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් මේ පණිවිඩය නිකුත් කරන්නේ ඉමහත් සතුටිනි.
අප ගේ ලස්සණ රටින් ජාතිවාදය තුරන් කිරීමට අප සියලූ දෙනා එක් වෙමු. අපි සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වෙමින් මේ රට සංවර්ධනය හා සෞභාග්‍යය කරා ගෙනයා යුතු වෙමු. මෙය අත්පත් කරගත හැක්කේ ජාතිවාදය පරාජය කර ප‍්‍රජාවන් අතර එක්සත් බව ඇති කිරීමෙනි.
මේ බහු-ජාතික රටෙහි බොදු, හින්දු, මුස්ලිම් හා ක‍්‍රිස්තියානි ඇතුළු සියලූ දෙනා තම තමන් ගේ ආගමික ඉගැන්වීම් ගරු කරමින් හා අනෙක් ආගම්වලට ගරු කිරීමේ ආචාරධර්මය වැඩීම මඟින් සෞභාග්‍යය, සංවර්ධනය හා ප‍්‍රගතිය අත් කරගැනුමට නොක`ඩවා කටයුතු කළ යුතු ය යන්න අප ගේ යැදුම ද පැතුම ද වන්නේ ය.
එ බැවින් එක්සත් බව, සාමය, සහජීවනය හා සංහිඳියාව මඟින් සෞභාග්‍යවත් දේශයක් ගොඩ නැඟීම පිණිස වෑයම් කරන සැම සිරි ලක් වැසියකු කෙරෙහි ම ආසී වැසි වස්වන මෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සර්වබලධාරී දෙවියන් ගෙන් යදින්නේ ය."
අශ්-ශෙයික් එම්.එම්.ඒ. මුබාරක්
මහලේකම්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා
රාම ක‍්‍රිෂ්ණා සභාවෙන් නිදහස් දින පණිවුඩයක්
"අප සියලු දෙනා දන්නා පරිදි සියපු ශ‍්‍රී ලාංකික පුරවැසියන් හට ඉතා සුබ මෙහොතක් වන 69 වන නිදහස් දිනය අපි සමරමු. ඒ, වසර සිය ගණනක් තිස්සේ අප ගේ ශ්‍රේෂ්ඨ විරුවන් විසින් දියත් කරන ලද නිදහස් සටන්වලින් අනතුරු ව ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ දිනය යි.
අප හට ලස්සණ, සාමකාමී හා ප‍්‍රීතිමත් ජීවිතයක් ලබාදීම සඳහා සිය දිවි කැප කළ නිදහස් සටනේ විරුවන් ස්මරණය කිරීමට අප හට අවස්ථාවක් ලබාදෙන බැවින් එය වැදගත් දිනයක් වෙයි. නිදහස වගකීමෙන් වෙන් කළ නොහැකි ය.
ශ‍්‍රී ලංකාවේ සැම පුරවැසියකු ම අද දින අනාගත ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් වඩා වගකීම් සහගත වීමටත් හොඳින් දැනුම්වත් පුරවැසියන් වීමටත් නැවැතත් කැපවීම හා දිවුරුම් දීම සිදු කළ යුතු ය. දේශයේ අරමුණු ඉටු කරදීමටත්, මේ ප‍්‍රජාතාන්ත‍්‍රික දේශය සාර්ථක ව ඉදිරියට ගෙනයාමටත් සියලු දෙනා තම යුතුකම විශ්වාසී ව ඉටු කළ යුතු අතර වෙහෙස වී කටයුතු කළ යුතු ය.
ශ‍්‍රී ලංකාවේ නැඟීම එහි ආගමික හා සංස්කෘතික අගයන් මඟින් මැනෙනු ඇති නමුත් ඊට සමගාමී ව එය ආර්ථික වර්ධනයෙන් ද දේශයේ සම්පත් සාධාරණ ලෙස බෙදීයාම මඟින් ද නිර්ණය කෙරෙනු ඇත.
අපට නිදහස් ව සිතීමේ අයිතිය ඇති නම් සියලූ දෙනා ගේ වගකීම වන්නේ ධනාත්මක ලෙස සිතීම යි. අපට කතා කිරීමේ නිදහස ඇති නම් අප ගේ වගකීම වන්නේ නිසි පරිදි හා අරුත්බර ලෙස කතා කිරීම යි. අපට නිදහසේ කටයුතු කිරීමට හැකි නම් අප ගේ වගකීම වන්නේ නිවැරැුදි ව කටයුතු කිරීම යි. මෙ ලෙසින් සියලු ශ‍්‍රී ලාංකිකයන් හට වගකීම් සහගත විය හැකි නම් ශ‍්‍රී ලංකාව වඩ වඩාත් නිවැරැදි දිශාව වෙත වර්ධනය වනු ඇති අතර එය සියල්ලනට ම වඩා හොඳ ස්ථානයක් වනු ඇත. මේ ප‍්‍රීතිමත් අවස්ථාවේ දී අතිගරු ජනාධිපති මෛතිපාල සිරිසේන, ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හා ඔවුන් ගේ අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා සකල ශ‍්‍රී ලංකාවාසීන් වෙත සාමයෙන්, සෞභාග්‍යයෙන් හා සතුටින් දිවි ගෙවීම සඳහා සිය ආශීර්වාද වර්ෂා වස්වන මෙන් මම සමිඳාණන් යාච්ඤා කරමි"

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.