• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

චීන - ශ්‍රී ලංකා රාජ්‍යතන්ත්‍රික සබඳතා සැමරුමට දෙරටේ නායකයෝ සුබ පැතුම් එක් කරති

China srilankaචීන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත වී වසර 60 ක් සපිරීම නිමිත්තෙන් ‍දෙරටේ ජනාධිපතිවරු ඊයේ (07) අන්‍යෝන්‍ය වශයෙන් සුබපැතුම් පිරිනමති.

චීන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත වීමේ වසර 60 තුළ, ජාත්‍යන්තර ප්‍රවණතාවන්හි වෙනස්කම් හමුවේ දෙරටේ සබඳතා‍වේ විධිමත් වර්ධනය තහවුරු කර ඇතැයි චීන ජනාධිපති ෂී චින් පිං මහතා තම සුභාශිංසන පණිවුඩයේ සඳහන් කරයි. චීන ශ්‍රී ලංකා සබඳතා ඉහළින් අගය කරන හෙතෙම එක් තීරයක් එක් මාවතක් යන යෝජනාවට ශ්‍රී ලංකාව සක්‍රීය ලෙස එක් වීම සම්බන්ධයෙන් ප්‍රශංසා පල කරයි. දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය යහපත් සහයෝගතා පුළුල් කොට සිවිල් මිත්‍රත්වය ගැඹුරු කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ එක්ව දායක වීමට කැමැත්තෙන් පසු වන බව ෂී චින් පීං මහතා  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත යොමු කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ. අවංක හා අන්‍යෝන්‍ය සහය සහිත පාරම්පරික මිතුදමෙන් යුත් ක්‍රමෝපායීය හවුල්කාරී සබඳතාවේ නව ජීවයක් අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා පවසයි.

ශ්‍රී ලංකා චීන මිතුදම අතීතයේ සිට පවතින සැබෑ මිත්‍රශීලි සබඳතාවක් බව මෛත්‍රීපාල සිරිසේන මහතා සුබ පැතුම් පණිවුඩයක් මඟින් සඳහන් කරයි. රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත වූ වසර 60 තුළ, තිරසර මෙන්ම විධිමත් ලෙස ශක්තිමත් වූ දෙරටේ සබඳතාව ක්‍රමෝපායීය හවුල්කාරී සබඳතාව දක්වා වර්ධනය වී ඇතැයි හෙතෙම පවසයි. එක් තීරයක් එක් මාවතක් යන යෝජනාව ඉපැරණි මුහුදු සේද මාවත පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා චීන සහයෝගතාව වෙනුවෙන් නව යුගයක් නිර්මාණය කරනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරයි. ශ්‍රී ලංකා චීන සබඳතාව නොකඩවාම ඉදිරියට ගෙන යමින් එය තවදුරටත් ශක්තිමත් වේවායි ද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රාර්ථනා කරයි.

අගමැතිවරුන්ගෙන් ද සුබපැතුම්.....

චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරිමේ 60 වන සංවත්සරය සැමරීම සඳහා චීන අග්‍රාමාත්‍ය ලී ඛ ච්‍යාං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07) එකිනෙකාට සුභපැතුම් පණිවුඩ පිරිනැමූහ.

1957 වසරේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමෙන් පසුව, දෙරට අතර සබඳතා නොකඩවා ම විධිමත් ලෙස වර්ධනය වී ශක්තිමත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා සිය පණිවුඩය මඟින් පැවසීය.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීම මඟින් චීනය සහ ශ්‍රී ලංකාව අතර ඒ ඒ ක්ෂේත්‍රවල පවතින සහයෝගිතා ද වර්ධනය වී තිබේ. ඒ අනුව ද්විපාර්ශ්වික සබඳතාවේ දීප්තිමත් ඉදිරි දැක්මක් දක්නට ලැබෙන බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි. සාම්ප්‍රදායික මිතුදම තරකිරීම, අන්‍යෝන්‍ය ඵලදායි සහයෝගිතා නව තලයකට ගෙනඒම සහ චීන-ශ්‍රී ලංකා ක්‍රමෝපායීය සහයෝගිතා හවුල්කාරී සබඳතාව ඉදිරියට මෙහෙයැවීම සඳහා, ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් චීනය කැමැත්තෙන් පසු වන බව ද ලී ක ච්‍යාං මහතා සිය සුභපැතුම් පණිවුඩයේ සඳහන් කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවුඩය මඟින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය ගොඩ නැගුණේ පැරණි මුහුදු සේද මාවත තුළින් වන අතර, මෙම මිත්‍රත්වය වසර සීය ගණනාවක් තිස්සේ පවත්වා ගැනීමට රටවල් දෙකට හැකි වී ඇති බවයි.

චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් සංකල්පය ඇසුරින් ශ්‍රී ලංකාව සහ චීනය අතර මිතුදම තවදුරටත් වර්ධනය වනු ඇති අතර, දෙරට සහයෝගිතාවට ද එම සංකල්පය හේතුවෙන් නැවුම් අවස්ථා හිමි වනු ඇති බවට තමන් විශ්වාසයෙන් සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කිරීම, සහයෝගිතා ක්ෂේත්‍ර අඛණ්ඩව ව්‍යාප්ත කිරීම මෙන්ම, දෙරට ජනතාවට සුබසෙත සැලසීම සඳහා චීනය සමඟ පොදුවේ පියවර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

චීන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත වී වසර 60ක් සපිරීම පිළිබඳව චීන ශ්‍රී ලංකා දෙරටේ විදේශ අමාත්‍යවරු  ඊයේ (7) අන්‍යෝන්‍ය ලෙස සුබ පැතුම් පිරිනමති.

දිගු කාලීන මිත්‍ර සබඳතාවකට හිමිකම් කියන චිනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත වී ගතවූ  වසර 60 ක් තුළ අන්‍යෝන්‍ය ගරු කිරීම හා අනුබල දීම, සමානත්වය හා අන්‍යෝන්‍ය යහපත පදනම් කොට ගෙන සබඳතාව අඛණ්ඩව සංවර්ධනය කොට තිබෙන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාට සුබ පැතුම් පිරිනමමින් චීන විදේශ අමාත්‍ය වං යී මහතා පැවසීය.

චීන ශ්‍රී ලංකා දෙරට අවංක අන්‍යෝන්‍ය සහය දී‍මේ හා පාරම්පරික මිත්‍රත්ව උපායමාර්ගික සහයෝගතා හවුල්කාරි සබඳතාව අඛණ්ඩ ලෙස ඉදිරියට ගෙන යෑමට අපේක්ෂා කරන බව ද එම සුබ පැතුම්  පණිවුඩයේ දැක්වේ.

ගත වූ වසර 60 තුළ ශ්‍රී ලංකා චීන මිත්‍ර සබඳතාව මුල සිට ම අන්‍යෝන්‍ය ගරු කිරීම හා යහපත සහ සහයෝගතා පදනම් කොට ගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා වං යී මහතාට සුබ පැතුම් පිරිනමමින් පැවසීය.

දෙරට සබඳතාව උපායමාර්ගික සහයෝගතා හවුල්කාරි සබඳතාවක් බවට පත් වී ති‍බෙන බව  ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව හා චීනය අතර සහ දෙරට ජනතා අතර මිතුදම දිගු කල් දිනේවා යැයි මංගල සමරවීර මහතා එම සුබපැතුම් පණිවුඩයෙන් ප්‍රාර්ථනා කර සිටී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.