• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටලුවේදී අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව කටයුතු කරමින් සැමට සාධාරණය ඉටු කරන බව ජනපති පවසයි

HE news 2017 02 09 1මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතුවෙන් විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨවල සිසුන්ට කිසිඳු ආකාරයක අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

මෙම ගැටලුවේදී ජනාධිපතිවරයා ලෙස තමා කිසිදු පාර්ශවයකට ඒක පාර්ශවික නොවන අතර අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව කටයුතු කරමින් සෑම සිසුවෙකුට ම සාධාරණය ඉෂ්ට කරන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඉදිරි දිනවලදී අදාළ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර සෑම කෙනෙකුටම පිළිගත හැකිවූ යුක්ති සහගත වැඩපිළිවෙළක් ඉදිරිපත් කර මෙම ගැටලුව විසඳීමට පියවර ගන්නා බව ද ප‍්‍රකාශ කළේය.

එබැවින් පංති වර්ජනවල නිරත නොවී තම අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙස තමා සියලු වෛද්‍ය පීඨවල සිසුන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ නුවරඑළිය ,හුට්විල්පුර, නව ගම්මානය අද (09) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදීමෙන් අනතුරුව තලවකැලේ නගරසභා කී‍්‍රඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

රටේ අනාගතය භාරගැනීමට සිටින දරුවන් එකිනෙකාට අවශ්‍ය ලෙස හැසිරවීමට ඉඩදිය නොහැකි බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා සාධාරණ සමාජයක තරගකාරී ලෝකය ජය ගැනීමට අවශ්‍ය මංපෙත් ඔවුන්ට විවර කරදීමේ රජයේ වගකීම නොපිරිහෙළා ඉටුකරන බව ද ප‍්‍රකාශ කළේය.

සියලු විශ්ව විද්‍යාලවලට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලබාදෙමින් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර එහි ගුණාත්මකභාවය සහ ප‍්‍රමිතිය ඉහළ නැංවීමට කටයුතු කරන අතරම විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට නොහැකිවන එහෙත් සුදුසුකම් සහිත සිසුන්ගේ ගැටලූව ද විසඳීම සඳහා උසස් ප‍්‍රමිතියකින් සහ ගුණාත්මකභාවයකින් යුත් අධ්‍යාපන ආයතන බිහිවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වැවිලිකරයේ ඉදිකළ ප‍්‍රථම නව ගම්මානය වන නුවරඑළිය, ආගරපතන, හුට්විල් වතුයායේ ඉදිකෙරුණු, හුටිවිල්පුර, නිවාස 150 කින් සමන්විත නව ගම්මාන මෙලෙස ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

ලයින් කාමර වෙනුවට නව ගම්මාන වැවිලිකරය තුල ඉදි කිරීමේ වැඩපිළිවෙළ යටතේ, අපේම ඉඩමක් අපිට අයිති නිවසක්, කඳුකරයට නව ගම්මානයක්, සංකල්පය යටතේ මෙම ගම්මානය ඉදිකර තිබෙන අතර පර්චස් 07 ක භූමියක වර්ග අඩි 550 ක් සහිත එක් නිවසක් කාමර දෙකකින්, විසිත්ත කාමරයකින්, මුළුතැන්ගෙයකින් හා නානකාමරයකින් සමන්විත ය.

ගම්මානය ජනතා අයිතියට පවරාදීමට ගිය ජනාධිපතිතුමාට එහි ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර ඉටුකරමින් ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත් එම ජනතාව ජාතික ධජ ළෙළඳවමින් ජනාධිපතිතුමා ගමන්කරන මග දෙපස රැස්ව සිටියේ සිය ගෞරවය එතුමා වෙත පුද කරමිනි.

උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ වතුකරයේ ජනතාවගේ දුක් කදුළු සහිත ප‍්‍රශ්න විසඳමින් ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කර ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉටුකළයුත සෑම කාර්යයක්ම ඉටුකිරීමට රජය කැපවී සිටින බවයි.

රට ගොඩනැගීමේදී උතුර ද, නැගෙනහිහිර ද, කඳුකරය ද යන්න ප‍්‍රශ්නයක් නොවන අතර සමස්ථ රටේම ජනතාව සම අයිතීන් සහ වරප‍්‍රසාද සහිතව ජීවත්විය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

ප‍්‍රතිලාභීන් වෙත නිරවුල් ඔප්පු ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.

ගම්මානය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් මුල්දින කවරයක් සහ සමරු මුද්දරයක් ද නිකුත් කෙරුණු අතර පාසල් ළමුන්ට කිරී විදුරුවක් ලබාදීමේ වැඩසටහන සඳහා ප‍්‍රතිපාදන ලබාදීම, ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා තරුණ තරුණියන්ට ණය ලබාදීම, නව සමෘද්ධි ප‍්‍රතිලාභීන්ට ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීම, 2016 උසස් පෙළ විභාගයේදී නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ කලා අංශයෙන් ප‍්‍රථම ස්ථානය ලැබු අගරපතන හෝල්බෘක් දෙමළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සෙබමලායි සෙලෙස්තිනාමේරි දරුවා වෙත ලැෆ්ටොප් පරිගණකයක් ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අමාත්‍යවරුන් වන පී. දිගම්බරන්, මනෝ ගනේෂන්, එම්.එච්.එම්. හලීම්, ෆයිසර් මුස්තාෆා, අර්ජුන රණතුංග,රාජ්‍ය ඇමති වී.එස්. රාධකි‍්‍රෂ්ණන් යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු රැසක් සහ රාජ්‍ය නිලධාරින් මීට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.