• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට නව වැදගත්කමක්

Thalata athukaorale news 2017 02 14ශ‍්‍රමික සුරැකුම වැඩසටහන යටතේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ රාජකාරි කටයුතු වඩාත් පුළුල් වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

විදේශ රැකියා අමාත්‍යාංශයට අනුයුක්ත උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට පසුගිය සමයේ කිසිඳු විශේෂ රාජකාරියක් නොතිබුණු බවත්, මේ වන විට ඔවුන්ට රැකියාව පිළිබඳ අභිමානයෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සැලසී ඇති බවත් අමාත්‍යවරිය පැවසීය. අමාත්‍යවරිය මේ බව පැවසුවේ, පසුගියදා (2017.02.10) හිගුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති ශ‍්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහනට සහභාගි වෙමිනි.මෙහිදී අමාත්‍යවරිය තවදුරටත් පැවසුවේ, “උපාධිධාරීන් කියන්නේ මේ රටේ ඉන්න අග‍්‍රගණ්‍ය බුද්ධිමතුන්. ඒ අය කාලය නාස්ති කරන එක දැන් නැවතිලා තියෙනවා.

ඒකත් වුණේ මම ශ‍්‍රමික සුරැකුම වැඩසටහන ආරම්භ කරන කොට. ඒ විගමණික පවුල්වල සුභසාධන වැඩසටහන් හොයාබලන්නේ මේ සංවර්ධන නිලධාරීන් හරහා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය තියෙන්නේ ශ‍්‍රමිකයින් පිළිබඳ ව හොයා බලන්න. ග‍්‍රාමසේවා වසම් ටික මේ නිලධාරීන් අතර බෙදාදීලා ඒ හැම පවුලකට ම අපි ලිපිගොනුවක් ආරම්භ කරලා තියෙනවා. ඒ අය ගැන අපිට මාසික ව වාර්තාවක් සකස් කරන්නත් අපි දන්වලා තියෙනවා.ජනවාරි 8 වෙනිදා ඉඳන් 14 වෙනකම් විගමණික ශ‍්‍රමික පවුල් ලියාපදිංචි කරන්න අපි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් ලොකු ප‍්‍රචාරයක් දුන්නා. එතකොට පිරිසක් කිව්වා සමෘද්ධිය කපන්න, පිටරට ගිය අයට බද්දක් ගහන්න යනවා. ඒ නිසා ලියාපදිංචි වෙන්න එපා කියලා. ඒ සතිය තුළ ලක්‍ෂ 15ක් විතර ඉන්න ශ‍්‍රමිකයින්ගෙන් 96000ක් විතරයි ලියාපදිංචි වුනේ. දැන් අපි දින නියමයක් නැති ව ලියාපදිංචි කිරීම් කරන නිසා මේ වෙනකොට 250,000ක් විතර ලියාපදිංචි වෙලා තියෙනවා. අපි මේ පවුල්වල ළමයින්ගේ අධ්‍යාපනය පිළිබඳ ව වැඩි අවධානයක් යොමුකරනවා මේ වැඩසටහන යටතේ, මාසයකට වරක් නිලධාරීන් ව පාසල්වලට යවලා ගුරුවරුන් හමුවෙලා ඔවුන්ගේ අධ්‍යාපන තත්වය, මානසික මට්ටම වෙනත් ගැටලු තියෙනවද කියලා හොයලා බැලිය යුතුයි.

පහුගිය අවුරුදු 8-10 ඇතුළත මේ රටට වැඩිම විදේශ විනිමය ගේන්නේ විගමනික ශ‍්‍රමිකයෝ කියලයි කියන්නේ. ඔවුන් මේ රටට ආවද, ඇවිත් කරන්නේ මොනාද කියලා හොයලා බැලීමක් වෙන්නේ නෑ. මට පහුගිය දවසක දිඹුලාගලදී මුණ ගැහුණා විදේශ ගතවෙලා ඇවිත් ළමයින් හතර දෙනාවම මහණ කරලා. ඉන්න තැනක් නෑ. හාමුදුරුවො ලෑස්ති වෙලා ගෙයක් හදනවා. අපිත් උදව් කරන්න පොරොන්දු වුණා. සමහරු ඉන්නවා 1900 ගණන්වල රට ගිහින් මේ වෙනකම් කිසිම තොරතුරක් නෑ. මේ දේවල් හැමදාම කරන්න බෑ. ඉදිරියේදී මේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න සංවර්ධන නිලධාරීන්ට කාර්යාංශයේ වැඩ කොටසකුත් පැවරෙනවා. පැමිණිලි භාරගැනීම වැනි වැඩ කොටසකුත් මේ අයට පැවරෙනවා. මේක කාර්යාංශය අමාත්‍යංශය කියලා බෑ. ඔක්කොම වැඩ කරන්නේ විදේශ රැකියාවට යන ශ‍්‍රමිකයෝ සම්බන්ධයෙන්. මේක අපේ වගකීම. සමහර පවුල් පසුබිම් වාර්තා දෙනකොට ග‍්‍රාමසේවකවරුන් අතිනුත් අඩුපාඩු වෙනවා. අපේ නිලධාරීන් අතිනුත් අඩුපාඩු වෙනවා.”අමාත්‍යවරිය තවදුරටත් අදහස් දක්වමින්, ”අපිට සමහර ග‍්‍රාමනිලධාරීන් ගැන පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ අය උප නියෝජිතයො හැටියට වැඩ කරනවා. මේ දේවල් තියාගන්න බෑ ඉදිරියේදී. මේවා වෙච්ච කාලේ දැන් ඉවරයි.

නව ජනාධිපතිවරයෙක් බිහිකරලා, මේ රටේ යහපාලනය ඇති කරලා ඉවරයි අපි. උප ඒජන්තවරු අපි තහනම් කරලා තියෙනවා ගිය වසරේ පෙබරවාරි මාසයේ ඉඳලා. ඒක කරන්න හේතු වුණේ මම අබුඩාබි සංචාරයකට ගියා. එහෙදි අවුරුදු 20ක විතර ගෑණු ළමයෙක් හමුවුණා. කොහොමද ආවේ කියලා ඇහුවම දෙණියායේ අයියා කෙනෙක් එව්වා කියලා කිව්වා. අපිට ඒ ළමයා ගැන මුකුත් කරන්න බෑ. අඩු වයසෙන් යවලා තියෙන්නේ. අපි හැමෝටම මුදල් අවශ්‍යයි. එහෙමයි කියලා මුදලට නීතිවිරෝධී දේවල් කරන්න දෙන්න බෑ. එහෙම දේවල් වලට දඩුවම් දෙන්න අපේ විශේෂ විමර්ශන ඒකකය තියෙනවා. කොහොමහරි එහෙම පුද්ගලයෙක් ගැන තොරතුරක් ලැබුණොත් අපි ඔවුන් ව අත්අඩංගුවට අරන් උසාවි දානවා. අවම දඩය රුපියල් ලක්‍ෂයයි. ඒක ඒජන්සි මහත්වරුන්ටත් බලපාන්න පුළුවන්. ඒ අයව ගේන්නේ ඒ මහත්වරු තමයි. එහෙනම් ඔවුන්ව ඒජන්සියේ සේවකයින් ලෙස ලියාපදිංචි කරගන්න. එතකොට ගැටලුවක් නෑ. වගකීමකුත් තියෙනවා. අපි කොයි ඒජන්සියේද රට ගියේ කියලා.

ඒ වගේම මාර්තු මාසේ පළමුවෙනිදා ඉඳන් සම්පුර්ණයෙන් ම කොමිස් මුදල් දීමත් නතර කරලා තියෙනවා. ලේසිම දේ තමයි ගෙදර නිකන් කකා බිබි ඉන්න මිනිහෙක්ට අතට කීයක් හරිදීලා ගෑනිව රට යවන්න කියනවා. ගිහින් එනකොට සල්ලිත් නෑ, පවුලත් නෑ, ළමයිනුත් නෑ. මුකුත් නෑ.” මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ති‍්‍ර සිඩ්නි චන්ද්‍රසේකර මහතා ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.