• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ සංගණන වාර්තාව නිකුත් වෙයි

Department of censusජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා පවත්වනු ලබන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ සංගණන මාලාවේ අටවැන්න 2016 නොවැම්බර් මස 17 වන දිනට අදාළ වන පරිදි දීප ව්‍යාප්තව පවත්වන ලදී.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් පිළිබඳව මුල්වරට විද්‍යාත්මක සංගණනයක් පවත්වන ලද්දේ 1980 වර්ෂයේදී වන අතර ඉන්පසු පිළිවෙලින් 1985, 1990, 1994, 1998, 2002, 2006 හා 2016 යන වර්ෂවලදී මෙම සංගණනය පවත්වා ඇත. 1980 වර්ෂයට පෙර මෙම සංගණනය සිදුකරන ලද්දේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසිනි.

සංගණන කටයුතු සාර්ථකව සිදු කිරීමට සෑම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනයක් සඳහාම සංගණනයේ වගකීම පැවරෙන නිලධාරියකු පත්කර ගන්නා ලද අතර සම්පූර්ණ කරන ලද සංගණන ප්‍රශ්නාවලි අනුසාරයෙන් එම නිලධාරින් විසින් සකස් කරන ලද සාරාංශ වාර්තා පදනම් කරගෙන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සංගණනයේ මූලික වාර්තාව සකස් කර ඇත. මෙම මූලික වාර්තාවෙහි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් තමා වර්තමානයේ අනුයුක්තව සේවය කරනු ලබන ස්ථානය අනුව තොරතුරු ප්‍රකාශයට පත් කෙරේ.

2016 නොවැම්බර් මස පැවැත්වූ මෙම සංගණනයට අනුව ත්‍රිවිධ හමුදාවල කාර්යය මණ්ඩලය හැර රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් සංඛ්‍යාව 1,117,808 බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා ප්‍රකාශ කරන ලදි. ඒ අතුරින් සියයට 54.9 ක් පිරිමින් වන අතර සියයට 45.1 ක් කාන්තාවන් වේ. සංගණන කරුණුවලින් අනාවරණය වූ පරිදි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් අතුරින් සියයට 7.6 ක් අවුරුදු 56 හා ඊට වැඩි වයස්වල වන අතර ‍අවුරුදු 18-29 හා වයස 30-55 වයස් කාණ්ඩවල සේවා නියුක්තිකයන් පිළිවෙලින් සියයට 15 ක් හා සියයට 77.4 ක් වෙති.

සංගණන තොරතුරු අනුව මිලියන 1.1 කට වැඩි සේවා නියුක්තිකයන් අතුරින් සියයට 95 ක් පමණ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අං‍ශයේ ස්ථිර සේවකයන් වේ. ඔවුන් අතුරින් සියයට 75.6 ක් ස්ථිර/විශ්‍රාම වැටුප් සහිත තනතුරුවලද, සියයට 3.9 ක් අර්ථසාධක අරමුදලට දායකත්වය දරන ස්ථිර/ විශ්‍රාම වැටුප් සහිත  තනතුරුවලද, සියයට 15.7 අර්ථ සාධක අරමුදලකට දායක ස්ථිර තනතුරුවලද සේවය කරති.

සංගණනයේ මූලික තොරතුරුවලට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගෙන් සියයට 35.8ක බහුතරයක් අ.පො.ස.(උසස් පෙළ) විභාගය සමත් වී ඇති අතර සෑම සේවා නියුක්තිකයන් හතර දෙනෙතුගෙන් එක් අයකුම  (සියයට 26.1ක්) උපාධි හෝ ඊට ඉහළ සුදුසුකම් සහිත අය වේ.

මෙම සංගණනයෙහිදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගෙන් පරිගණක සාක්ෂරතාවය පිළිබඳවද තොරතුරු විමසන ලද අතර එමගින් අනාවරණය වන පරිදි  රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් අතුරින් සියයට 62.7 ක් ඩෙක්ස්ටොප්/ ලැප්ටොප්/ ටැබ්ලට් පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකථනයක් භාවිතා කර පරිගණකයකින් සිදුකළ හැකි කිසියම් කාර්යයක් කළහැකි බවද, සෑම සේවා නියුක්තිකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුම අන්තර්ජාලය භාවිතා කරන බවද වාර්තා වී ඇත.

“රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබද සංගණනය-2016” හි මූලික වාර්තාව දෙපාර්තමේන්තුවේ www.statistics.gov.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.