• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නවකවදය වැළැක්වීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරියත් සමඟ එක්ව විශේෂ අවධානයකින් කටයුතු කරන්න

He news 2017 02 22බහුතරයක් වූ විනයගරුක සිසු පිරිසකගේ අධ්‍යාපනයට බාධා එල්ල කරමින් ඉතා සුළුතරයක් විසින් විශ්වවිද්‍යාල තුළ අමානුෂික අන්දමින් කි‍්‍රයාත්මක කරනු ලබන නවකවදය වැළැක්වීමට විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත් ඒ සඳහා විශ්වවිද්‍යාල පාලන අධිකාරියත් සමග එක්ව කි‍්‍රයාකාරී වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් තමා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව ජනාධිපතිතුමා පැවසීය.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අනාගතය පිළිබඳ රජයට වගකීමක් තිබෙන අතර එම වගකීම කිසිඳු පැකිලීමකින් තොරව ඉටු කරන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා විශ්වවිද්‍යාල තුළ මිලේච්ඡත්වයට හෝ කැලෑ නීතියට ඉඩ තැබිය නොහැකි බව ද අවධාරණය කළේය. ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයේ 75 වන සංවත්සර උත්සවයට ඊයේ (22) පෙරවරුවේ එක්වෙමිනි.

පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශිෂ්‍යයින් නවක සිසුන්ට ලබාදෙන ලද අමානුෂික නවකවදය නිදහස් අධ්‍යාපනයේ ඛේදවාචකයක් බව ද පැවසූ ජනාධිපතිතුමා ඒ පිළිබඳ තමා මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් විමසීම් සිදු කළ බවත් මෙම ම්ලේච්ඡ කි‍්‍රයාව පිළිබඳ රජයේ දැඩි කනගාටුව පළ කරන බවත් කියා සිටියේය.උගතුන් සහ බුද්ධිමතුන් බිහිකරන විශ්වවිද්‍යාලයේ ගෞරවය මෙවන් කි‍්‍රයා තුළින් කෙළසා ගැනීම නිදහස් අධ්‍යාපනයට කරන අගෞරවයක් බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ වසර 40 – 50 ක ඉතිහාසය තුළ නවකවදය පිළිබඳ කළු පැල්ලම් රැසක් එක් කර තිබෙන බවත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන දරුවෙකුගේ අනාගතය පිළිබඳ දෙමාපියන් හෙළන සැනසුම් සුුසුම් දුක් කඳුළු බවට පත් කිරීමට දරුවන් කටයුතු නොකළ යුතු බවත් කියා සිටියේය.

දෙවන මහා ලෝක සංග‍්‍රාමය සමයේදී කොළඹ නගරාසන්න පාසල් බි‍්‍රතාන්‍ය හමුදා කඳවුරු බවට පත් වෙද්දි කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ ශාඛාවක් වශයෙන් 1942 පෙබරවාරි 23 වනදා මතුගම ශී‍්‍ර සුදර්ශනාරාමයේදී මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලය ආරම්භ විය.එතැන් පටන් දෙස් විදෙස් විද්වතුන් රැසක් බිහිකරමින් ස්වර්ණමය ඉතිහාසයකට හිමිකම් කියූ මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයේ එදා මෙදා ගමන් මග ද මෙහිදි ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.විද්‍යාල පරිශ‍්‍රයේ ස්ථාපිත කෙරුණු මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයේ ආදි කර්තෘ හිටපු මුදල් හා අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය දයා ටී. පස්කුවල් ශ‍්‍රීමතාණන්ගේ පිළිරුව නිරාවරණය කරමින් එහි සමරු ඵලකය මෙහිදී ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙෙරිණි.විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ජනාධිපතිතුමා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර සිසුවෙකු විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිතුමාගේ රුව රැගත් ආලේඛ්‍ය චිත‍්‍රයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරික් ද විදුහල්පති රන්දුන් ජයලත් මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මතුගම, ආනන්ද ශාස්ත‍්‍රාලයේ 75 වන සැමරුම් උත්සවයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2017.02.22 වන දින පෙ.ව. 10.00 ට මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයේදී  

මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයේ 75 වන වජ‍්‍ර ජයන්තිය සමරුව පවත්වන අවස්ථාවේ ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව කතා කරන විට මේ කාලය, මේ යුගය නිදහස් අධ්‍යාපනයේ දීර්ඝකාලීන අත්දැකීම් සමග ජාතියක් විදියට ප‍්‍රතිඵල ලබා ගන්නා යුගයක්. ගමේ පාසලත්, නගරයේ පාසලත් භෞතික සම්පත් සහ මානව සම්පත් ලබාදීම තුළ සියලු දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට අවශ්‍ය සම්පත්වල සමබරතාවයකින් සාධාරණ ලෙස බෙදීයාමකින් අද නිදහස් අධ්‍යාපනය ශක්තිමත්ව ඉදිරියට යන කාලයක්. පසුගිය අවුරුදු 40 ක 50 ක කාලය නිදහස් අධ්‍යාපනය තුළ ගොඩනැගුණු මේ රටේ උගතුන් බුද්ධිමතුන් රට වෙනුවෙන් සිය වගකීම් සහ යුතුකම් ඉටු කරලා තිබෙනවා වගේම දරුවනේ ඔබේ අපේ මාතෘභූමියෙන් පිට ලෝකය ජාත්‍යන්තරය ජයගෙන තිබෙනවා. ඒ නිසා අපේ වර්තමාන රජයේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම. 

 සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා මේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව රාජ්‍ය මන්ත‍්‍රණ සභාව කාලේ සිය වගකීම නිසිලෙස ඉටු කරමින් ජාතියේ දරුවන් සඳහා ඔවුන්ගේ අනාගතය ගොඩනගන්නට සිය යුගයේ කාර්යභාරය ඉටු කළ ශ්‍රේෂ්ඨ මානවවාදියෙක්. අද මේ පාසලට පැමිණීමත් සමගම විවෘත කළේ මේ පාසල නිර්මාණය කළ නිර්මාතෘවරයාණන් වූ දයා ටී පැස්කුවල් මැතිතුමාගේ පිළිරුවක්.    එතුමාගේ ඥාතීන් මේ ස්ථානයේ සිටිනවා. දයා ටී පැස්කුවල් මැතිතුමා මා ඉතා හොඳින් ඇසුරු කළ කෙනෙක්. ඔහු 70, 77 පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ මම තරුණයෙක් විදියට ශ‍්‍රාවස්තියට පාර්ලිමේන්තුවට ආව ගිය කෙනෙක්. ඒ තුළ මම ඒකාලේ එතුමා දැන ඇඳින ගත්තා. පසුකාලීනව ඉතා හොඳින් එතුමාත් සමග මගේ සම්බන්ධයක් තිබුණා. මගේ මතකයේ හැටියට දැන් අවුරුදු 03 ක් විතර ඇති එතුමා අභාවප‍්‍රාප්ත වෙලා.

ඒ අවස්ථාවෙත් මම එතුමාගේ අවමංගල කටයුතුවලටත් සහභාගි වුණා. ඔහු සැබෑ ලෙස ජනතා සේවයට කැපවූ මේ රටේ දේශපාලනයේ චරිතවත්, ආදර්ශවත් නිහතමානී ඉතාමත් විශිෂ්ට ගනයේ මානව හිතවාදියෙක්.    ඔබේ පාසැල පිළිබඳව 75 වසරක ගමන් මග පිළිබඳව ඔබ වගේම ඔබේ දෙමාපියන් ආදිශිෂ්‍යයින් ශිෂ්‍යාවන් හැමකෙනෙක්ම වඩාත් සතුටු වෙනවා. මේ පාසැලෙන් බිහිවූ දරුවන් විවිධ ක්ෂේත‍්‍රවල විශිෂ්ටයින් වී විවිධ ක්ෂේත‍්‍ර ජය අරගෙන පාසැලට සිය 75 වසරක ඉතිහාසය තුළ ඒ ගෞරවය ලබාදීලා තිබෙනවා. ඒ නිසා අපිට අදත් අපේ රජයේ වගකීම සහ යුතුකම ලෙස මේ පාසැල වගේම සියලු පාසැල් ශක්තිමත්ව ගොඩනැගීමයි අපි කරන්නේ. අවශ්‍ය සම්පත් ලබාදීමයි කරන්නේ. ඒ ලබාදෙන සම්පත් තුළ හොඳින් විභාග සමත් වෙනවා වගේම හොඳින් ජීවිතය සමත් වීම සඳහා අවශ්‍ය පසුබිම ගොඩනැගීම ඉතා අත්‍යවශ්‍ය වූ දෙයක්.

ඒ නිසා සැමවිටම පාසැලේ විභාගය සමත්වීමට දක්වන උනන්දුව ඒ සඳහා අවශ්‍ය ප‍්‍රමුඛතාවය වගේම ඉන් බාහිරව සමාජය ජයග‍්‍රහණය කරමින් ජීවිතය ජයග‍්‍රහණය කරන්න මේ දරුවන් සැමවිටම අධිෂ්ඨානශීලී වෙන්න ඕනෑ. දරුවනේ ඔබ ඉතාමත්ම පින්වන්ත වූ භාග්‍යවන්ත වූ දරු පිරිසක් විදියටයි මම දකින්නේ.    නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් මේ රටේ අද ඉන්න ලක්ෂ 40 කට වැඩි දරු පිරිසක් සඳහා රජයක් විදියට රාජ්‍යයේ වගකීම ඉටු කරන විට ජනතාවගේ පැත්තෙන් ඒ සඳහා සිය වගකීම් සහ යුතුකම් ඉටු කරන විට සැබෑ ලෙසම දරුවා සිය වගකීම යුතුකම සඳහා පෙළගැස්වීමට හැඩගැස්වීම අපේ ආදරණීය විදුහල්පතිතුමාලා ගුරු මෑණිවරුන්ගේ සහ පියවරුන්ගේ විශේෂ වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඊයේ පෙරේදා ඔබ මාධ්‍ය තුළ දැකපු දේ අසපු දේ මේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව කතා කරන එක්තරා ශෝකාන්තයක් විදියටයි ඛේදවාචකයක් විදියටයි මම දකින්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශිෂ්‍යයින් නවක ශිෂ්‍යයින්ට පළවෙනි වසරේ දෙන දඬුවම් වලදි නවක වදයේදි මොනතරම් සිය මානුෂිකත්වය සිය ශිෂ්‍යභාවය තමාගේ සිත් තුළින් ඉවත් කරගෙන කටයුතු කර ඇති බවක් පෙනී යන්නේ කියන එක මම හිතන්නේ ඔබ සෑම කෙනෙක්ම දැක්කා. මම ඊයේ මහනුවර පොලිස් අධිකාරිතුමාට කතා කළා. මම ඇහුවා මේ සිද්ධියේ තත්ත්වය පිළිබඳව.

ඔබ මාධ්‍ය තුළ ඇසුවා දැක්කා වගේම මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා මාත් එක්ක කිව්වා කෘෂි විද්‍යාපීඨයේ තෙවන වසරේ ශිෂ්‍යයින් පළවෙනි වසරේ ශිෂ්‍යයින්ට තර්ජනය කරලා බලහත්කාරයෙන් වධකාගාරයට ගෙනිහිල්ලා. මේ වධකාගාරය ශිෂ්‍යයින් විසින්ම කුලියට අරගෙන තිබෙන ගෙයක්. ඒ දරුවන් සියලුදෙනාගේම ඇඳුම් ගලවලා නිරුවත් කරලා පොළවේ දිගා කරවලා පොලු වලින් ගහලා. දෙන්න තියෙන වද සේරම දීලා තියෙනවා. මේ සුන්දර දරුවෝ. උසස් පෙළ විභාගය තුළ විශ්වවිද්‍යාලයට යන්න ඔබේ ප‍්‍රාර්ථනාව. ඔබේ බලාපොරොත්තුව. මොනතරම් උසස් ලෙස ඔබ ඒ බලාපොරොත්තු තබා තිබෙනවාද? ඔබේ ජීවිතයේ සුන්දරත්වය සමග ඔබේ දෙමාපියන්ට ඔබේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ඔබේ රටට ඔබ සේවය කරන්න මොනතරම් අධිෂ්ඨානශීලී ලෙස ඔබ කටයුතු කරනවාද? උසස්පෙළ දරුවෙක් කියලා කියන්නේ අනිත් දරුවෝ වගේම අනාගතය සඳහා අභියෝග ජයගන්න හැදුනු වැඩුණු ශක්තිමත් ආත්ම ශක්තියක් සහ ආත්ම ධෛර්යයක් ආත්මභිමානයක් තිබෙන විශිෂ්ට දරුවෝ. මේ දරුවෙක් විශ්වවිද්‍යාලයට ඇතුල් වුණාම නවක වදය තුළ මේ කරන හිංසා පිළිබඳව අපේ පසුගිය අවුරුදු 40 ක 50 ක ඉතිහාසයේ කළුපැල්ලම් රාශියක් තිබෙනවා. සමහර දරුවෝ සිය දිවි නසා ගත්තා. සමහර දරුවන් නවක වදය නිසා මරණයට පත් වුණා. සමහර දරුවන්ගේ අතපය නැතිව ගියා. ඒවගේම බලාපොරොත්තු රාශියක් ඇතිව යන මේ දරුවෝ දිහා දෙමව්පියෝ බලාගෙන ඉන්නවා. බොහෝ සැනසුම් සුසුම් සහිතව බලාපොරොත්තු සහිතව මගේ දරුවා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයට යනවා දැන් හොඳට නිදහසේ සතුටින් ඉගෙන ගන්නවා. ඔවුන් ඔවුන්ගේ අනාගතය සඳහා සූදානම් වෙනවා. ඊට අපි ධෛර්යය දෙන්න ඕනැයි කියලා. නමුත් දරුවන් පිළිබඳව දෙමව්පියන් නොදන්නා දේ කොතරම් දේ සිදුවෙනවාද. ඒ ම්ලේච්ඡ ක‍්‍රියාව සම්බන්ධව අපි රජය විදියට පැහිදිලිවම අපේ කනගාටුව ප‍්‍රකාශ කරනවා වගේම මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අපේ ආදරණීය දරුවන් ශිෂ්‍ය ප‍්‍රජාව ශිෂ්‍යයින්ගේ තිබෙන වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටු කරනු ඇතැයි කියලා අපි විශ්වාස කරනවා.    විශ්වවිද්‍යාලයට යන්නේ හොඳ අධ්‍යාපනයක් ලබන්න. උගතෙක් වෙන්න. බුද්ධිමතෙක් වෙන්න. නමුත් මෙවැනි හිරිහැර දරුවන්ට කරලා විශ්වවිද්‍යාලයේ තිබනෙ ගෞරවය කෙළෙසා ගැනීම නිදහස් අධ්‍යාපනයෙන් දෙන වරප‍්‍රසාද සමග නිදහස් අධ්‍යාපනයට අගෞරවයක් කිරීම මොනතරම් වැරදි ක‍්‍රියාවක්ද කියන එක අපි කල්පනා කරන්නට ඕනෑ. මම පොලිස්පතිතුමා ඇතුළු සියලුදෙනාට උපදෙස් දුන්නා අපිට දැන ගන්න තියෙන විදියට තවත් සමහර විශ්වවිද්‍යාලවල එවැනි සිදුවීම් පැවති බව පේනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා අවශ්‍ය ක‍්‍රියාමාර්ග අරගෙන යහපත්ව ගුණවත්ව හැදෙන වැඩෙන ශිෂ්‍යයින්ට ඒ යහපත් ගුණගරුක ශිෂ්‍යයින්ගේ අනාගතයට කරදර කරන අභියෝගයක් වන ඉතා සුළු පිරිසකගේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳව සොයලා බලලා අවශ්‍ය නීති රීති ක‍්‍රියාමාර්ග ගන්න විශ්වවිද්‍යාල පාලකයින් සමග අවශ්‍ය සියලු කටයුතු කරන්නැයි කියලා මම ඊයෙත් උපදෙස් දුන්නා. ඒ නිසා රජයක වගකීම අපේ දරුවන් ආරක්ෂා කිරීම. පාසැලට යවන දරුවා වගේම විශ්වවිද්‍යාලයට යන දරුවා. ඒවගේම සමාජය තුළ වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්. ප‍්‍රාථමික විද්‍යාලයෙන් වෙන්න පුළුවන්. ද්විතියික නැත්නම් මේ සෑම ආයතනයකින්ම පිට වෙන දරුවන්ගේ අනාගතය පිළිබඳව ජීවිතය පිළිබඳව රජයකට වගකීමක් තිබෙනවා. ඒ වගකීම සහ යුතුකම ඉටු කරන්න අපි කිසිවිටකත් පසුබාන්නේ නැහැ. ම්ලේච්ඡත්වයට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. කැලෑ නීතියත් විශ්වවිද්‍යාවල ක‍්‍රියාත්මක කරන්න දෙන්න පුළුවන්කමක් නැහැ. නීතිය, සාධාරණත්වය, විනය, හික්මීම හැදිච්චකම තමා වඩාත් යහපත්ව දරුවෙක් ගොඩනැගීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ විදියට ශිෂ්‍යයින් හසුරුවන්නේ කවුද. එය පිටුපස සිටින්නේ කවුද? මේ විදියට ගෙවල් කුලියට අරගෙන දරුවන්ට හිරිහැර කරන්න සල්ලි දෙන්නේ කොහෙන්ද? මේ අරමුදල් කොහෙන්ද? මේ විදියට මේ විනාශය දරුවන්ට කරන්නේ කවුද? ඒ වැරැද්දට පෙළඹුණු දරුවන් විනාශ කරන්න ඒ අය පසුපස සිට මෙවැනි දේවල් වලට මෙහෙයවන්නේ කවුද කියන කාරණාව සොයලා බලලා ඒවාට අවශ්‍ය පිළියම් යෙදීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්.

ඒ නිසා දරුවනේ අපි විභාගය හොඳට පාස් වෙනවා වගේම හොඳ විභාග සහතිකයක් ගන්නවා වගේම ජීවිතය සමත් වීමේ හොඳ විනයක් ඇති දරුවෙක් හොඳ පුරවැසියෙක් මේ රටට බිහි කරන්නට ඕනෑ.    තිබෙන තාක්ෂණික ලෝකය තුළ වාණිජ්‍ය සමාජය තුළ නොගැළපෙන ඇතැම් විනාශකාරී විදේශීය සංස්කෘතීන් ගලා ඒම තුළ අපි බොහෝ වෙලාවට යහපත්දේට වඩා අයහපත්දේට අපේ මනස යොමු කරන වෙලාවල් තිබෙනවා. නමුත් ඔබේ පින්වන්ත දෙමාපියන් ඔබේ පින්වන්ත ගුරුමෑණිවරුන් සහ පියවරුන් වගේම ඒ ආදරණීය භාග්‍යවන්ත වූ පින්වත් මේ දරුවන්ට යහපත් වූ විශිෂ්ට අනාගතයක් ගොඩනැගීමටයි අපි සැමවිටම කැපවී සිටින්නේ. ඒ නිසා ඒ දරුවන්ගේ ආරක්ෂාව, අනාගතය සුරක්ෂිතභාවය, පෝෂණය ඒ සියල්ල තුළ ආත්මශක්තියෙන්, ආත්ම ධෛර්යයෙන්, අධිෂ්ඨානශීලීව ගොඩනැගුණු විශිෂ්ට පුරවැසියෙක්, විශිෂ්ට දරුවෙක් බිහි කරන්න මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලය වගේම මේ රටේ දස දහසකට වැඩි පාසැල් ඒවගේම මේ රටේ විශ්වවිද්‍යාලවල ඒවගේම අනිකුත් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තිබෙන සියලු ආයතන සමග අපි සියලුදෙනා එක්ව ඒ වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටු කරමුයි කියන ගෞරවනීය ආයාචනයයි මා කරන්නේ.    ඒ නිසා අද මේ 75 වන වසර සමරන මේ අවස්ථාවේ දයා ටී පැස්කුවල් මැතිතුමා සමරනවා වගේම සිහිපත් කරනවා වගේම 75 වසරක එදා මෙදා කාලය තුළ මේ පාසැලේ සේවය කළ සියලු විදුහල්පතිතුමාලා ගුරු මෑණිවරුන් පියවරුන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහි සේවය කළ අනුග‍්‍රහය දැක් වූ සෑම කෙනෙක්ම ඒ ඉගෙන ගත්තු සෑම කෙනෙක්ම අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. අතීතයේ යහපත් පාඩම් සමග අනාගතයේ අභියෝග ජය ගනිමින් විශිෂ්ට අනාගතයක් ගොඩනගන්න දරුවනේ ඔබ අධිෂ්ඨාන කර ගත යුතුයි. ඒ සඳහා සැමවිටම ඔබට සෙවන දෙමින් ඔබට අතහිත දෙමින් අපි රජයක් විදියට කටයුතු කරන බව ප‍්‍රකාශ කරමින් විශේෂයෙන්ම මේ දිස්ත‍්‍රික්කයේ සේවය කරන මා හිතවත් රාජිත සේනාරත්න ඇමතිතුමා, මහින්ද සමරසිංහ ඇමතිතුමා මේ විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වූ පාලිත තෙවරප්පෙරුම මැතිතුමා, පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ ඇමතිතුමා ඒවගේම ජගත් විදාන පළාත් සභා මන්ත‍්‍රීතුමා ඇතුළු අනිකුත් පළාත් සභා මැති ඇමතිවරු මේ පැමිණ සිටින ඔබ සියලුදෙනාට මේ පාසැල ශක්තිමත් කරන්න මේ දිස්ත‍්‍රික්කය ප‍්‍රාදේශීය වශයෙන්ම වගේම අපේ රට වශයෙන් ප‍්‍රබුද්ධ ජනතාවක් ගොඩනගන්න ඔබ සියලුදෙනාගේම කැපවීම මා ඉතා අගය කරනවා.  

  අවසාන වශයෙන් විදුහල්පතිතුමා, ඒවගේම දයා ටී පැස්කුවල් මැතිතුමාගේ ඥාතියා මා ළඟට ඇවිත් ලිපියක් දුන්නා. විදුහල්පතිතුමා කාරණාවක් ඉදිරිපත් කෙරුවා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරණ ගොඩනැගිල්ලේ තිබෙන ඒ ඉඩම පවරා දෙන්න කියලා. මම දැන් ඇමතිතුමාලත් එක්ක මෙතෙන්දි සාකච්ඡා කළා. ඒ අවශ්‍ය වැඩපිළිවෙළ ගන්න කියලා. ස්වදේශ කටයුතු ඇමතිතුමාට මේ ඉඩම මේ පාසලට භාරදීමට කටයුතු කරන්නයි කියලා අද දුන්න ලිපියෙත් මම සටහන් කළා. ඒවගේම ශ‍්‍රවණාගාරයක් ඉල්ලුවා. ශ‍්‍රවාණාගාරයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය සැලසුම් සහ ඇස්තමේන්තු පාස් කරන්නත් මම ඒ සම්බන්ධයෙනුත් අධ්‍යාපන ලේකම්තුමාට දැන් මෙතන සටහනක් දැම්මා. මේ කාරණාව ඉටු කරන්න කියලා. ඒ නිසා විශේෂයෙන්ම මේ ගැන උනන්දු වෙලා ඇස්තමේන්තු සහ සැලසුම් හදලා අපිට එවන්න. මම ඒ පිළිබඳව මෙය ජාතික පාසලක් නිසා අකිල විරාජ් ඇමතිතුමාටත් ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහත්මයටත් උපදෙස් දීලා අපිට එක වසරකට බැරි නම් වසර දෙකක් තුළ පියවර දෙකකට මේ ගොඩනැගිල්ල ලබාදීම සඳහා ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙනවා.    අවසාන වශයෙන් ඔබ සියලුදෙනාට සුබපතමින් ආශිර්වාද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.