• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොළඹ වරාය ලෝකයේ හොඳම වරායන් 25 අතරට

Port colombo2017ලෝකයේ හොඳම වරායන් 25 අතරට පැමිණීමට කොළඹ වරාය සමත් වේ. ඒ ජාත්‍යන්තර ඇල්ෆාලයිනර් (Alphaliner) 2017 වර්ග කිරීමට අනුව වේ. එම වර්ගීකරණයට අනුව 2016 වර්ෂයේදී ලෝකයේ හොඳම වරායන් අතරින් කොළඹ වරායට 23වැනි ස්ථානය හිමිව තිබේ.

2015 වර්ෂයට සාපේක්ෂව එය ස්ථාන තුනකින් ඉදිරියට පැමිණීමකි. එනම් 2015 වර්ෂයේදී කොළඹ වරායට හිමිව තිබුණේ 26වැනි ස්ථානයයි. වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ කොළඹ වරාය පරිශ්‍රයේ ව්‍යාපාර සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වීම මෙම ජයග්‍ර‍හණයට හේතු වූ බවයි.

“ශ්‍රී ලංකා වරාය අධිකාරියට අමතර ව පෞද්ගලික අංශත් කොළඹ වරායෙහි ව්‍යාපාරවල නියැලී සිටිනවා. මීට පෙර එම පාර්ශ්ව වෙන් වෙන්ව කටයුතු කිරීම මූලික ලක්ෂණ වුණා. නමුත් වත්මන් ආණ්ඩුව යටතේ කොළඹ වරායට පොදු ව්‍යාපාරික සැලැස්මක් හඳුන්වාදීමට අපට හැකිවුණා. ඒ වගේ ම කොළඹ වරාය පරිශ්‍ර‍ය තුළ ව්‍යාපාර කිරීමට සුදුසු පරිසරයක් අපි නිර්මාණය කළා. ඒ අනුව තම තමන්ගේ අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් සමස්තයක් ලෙස කොළඹ වරායේ සංවර්ධනය උදෙසා සියලුම පාර්ශ්ව යොමුකිරීමට අපට හැකි වී තිබෙනවා.

ඊට අමතරව කොළඹ  වරායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිද මේ වන විට ක්‍රියාත්මක වනවා.  එම ව්‍යාපෘතිවල අනිවාර්යය ප්‍ර‍තිඵලයක් ලෙස සහ අනෙකුත් සාධනීය හේතු මත ඉදිරි වසර කිහිපයේදී කොළඹ වරාය ලෝකයේ හොඳම වරායන් 20 අතරට පැමිණෙනු ඇතැයිද මම විශ්වාස කරනවා.” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.  කොළඹ වරායේ සේවක සේවිකාවන් අද (23) හමුවෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සියලු ගනුදෙනුවල විනිවිදබව ආරක්ෂා කිරීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳාම සඳහා සුදුසු වාතාවරණයක්ද කොළඹ වරාය පරිශ්‍රයේ ඇති වී ඇති බවයි.

ලොව බහළු මෙහෙයුම් සිදුකරන සියලු ම වරායන් ඇල්ෆාලයින්ර් වර්ගීකරණයට ඇතුළත් වේ. 2014 වර්ෂයේදී 27ස්ථානයේද 2015 වසරේදී 26 වැනි ස්ථානයේද කොළඹ වරාය පසුවිය. 2015 වසරේදී කොළඹ වරාය මෙහෙයවූ  සමස්ත බහළු ධාරිතාව මිලියන 5.2 කි. 2016 වසරේදී එම බහළු මෙහෙයුම මිලියන 5.7ක් දක්වා වැඩි වී ඇත. ඒ බහළු මෙහෙයුම් වර්ධන වේගය සියයට 10.6ක් ලෙස සටහන් කරමිනි. කොළඹ වරායෙහි ප්‍රවේශ මාර්ග ගැඹුර, පර්යන්ත අද්දර ගැඹුර හා වරාය තටාකය පුළුල්වීම, පර්යන්ත මෙහෙයුම් ධාරිතාවය පුළුල් වීම යනාදී සාධක මත අති විශාල නෞකා සහ සුවිශාල නෞකා මෙහෙයවීමේ හැකියාව කොළඹ වරාය සතු වීමද එම වර්ධනයට සාධනීය ලෙස බලපා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.