• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොරියානු භාෂා විභාගයේ අයඳුම්පත් නිකුත් කිරීම 14 වනදා සිට

Korean examකොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ අයඳුම්පත් නිකුත් කිරීම මේ මස 14, 15, 16, 17  යන දින 04 තුළදී දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පළාත් කාර්යාල, දිස්ති‍්‍රක් පුහුණු මධ්‍යස්ථානවලදී සිදුකෙරේ.

මෙම අයඳුම්පත් කොරියාවේ නිෂ්පාදන හා ධීවර රැකියා සඳහා පමණක් නිකුත් කෙරේ. අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වව්නියාව යන කාර්යාංශයේ පළාත් කාර්යාල හා මතුගම, අම්පාර, මඩකලපුව, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොලොන්නරුව, ති‍්‍රකුණාමලය, තංගල්ල, යන කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානවලදී සහ කටුනායක සහන පියස මධ්‍යස්ථානය හා අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී අයඳුම්පත් නිකුත් කෙරේ.

මෙම විභාගයට පෙනී සිටීම සඳහා සුදුසුකම් ලෙස වයස අවුරුදු 18ත් 39ත් අතර අය (1977 මාර්තු 15 සිට 1999 මාර්තු 14 දක්වා උපන් අය) විය යුතුය. සිර දඩුවම් නොලද අය විය යුතු අතර කොරියානු රජයෙන් ආපසු හරවා හෝ නෙරපූ අය නොවිය යුතුය. වර්ණ අන්ධ හෝ වර්ණ දුර්වලකම් නැති අය විය යුතු අතර, කොඳු ඇට පෙලේ ආබාධයක් හෝ ඇඟිලි ආබාධ ඇති අයට මෙම විභාගයට පෙනී සිටිය නොහැක.

මෙම විභාගය අපේ‍්‍රල් මස ආරම්භ වීමට නියමිතය. වැඩිදුර තොරතුරු සඳහා කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවිය පරිශීලනය කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.ඇගයුම් මත ලකුණු ලබා දීමේ ක‍්‍රමවේදය මත පවත්වන මෙම විභාගය මගින් අපේක්ෂකයින් සතු කොරියානු භාෂා හැකියාව සහ කුසලතාවය, කායික තත්ත්වය සහ වැඩ අත්දැකීම් පිළිබඳව සොයා බලනු ලැබේ. අදාළ කර්මාන්ත සඳහා රැකියා අපේක්ෂකයින් තෝරා ගනු ලබන්නේ ඔවුන් ලබා ගන්නා ඉහළ ලකුණු මට්ටම් අනුවයි. පළමු වටය සමත් වීම සඳහා අපේක්ෂකයින් විසින්  අවම ලකුණු මට්ටමට වඩා ඉහළින් සිටිය යුතුය. නිෂ්පාදන සඳහා අවම ලකුණු මට්ටම 40%ක් සහ ධීවර රැකියා සඳහා අවම ලකුණු මට්ටම 36% වේ. දෙවන වටයේදී කුසලතා පරීක්ෂණයට හා නිපුණතා පරීක්ෂණයට අවස්ථාව ලැබේ.

එම පරීක්ෂන වලදී ලබා ගන්නා ලකුණු වල එකතුවෙන් ඉහළ ම ලකුණු ලබා ගන්නා අය මෙම ලකුණු මත ඇගයුම් ක‍්‍රමවේදය මගින් තෝරා ගනු ලැබේ.විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මේ පිළිබඳ ව අදහස් දක්වමින් සඳහන් කළේ, මාර්තු මස 14 සිට 17 දක්වා දිනයන් තුළ අදාළ මධ්‍යස්ථානවලට ගොස් අයදුම්පත් ලබාගන්නා ගෙන විභාගයට පෙනී සිටිමින් කොරියාවේ රැකියාවක් සඳහා යාමට මූලික සුදුසුකම් ලබා ගන්නා  ලෙසයි. මෙම විභාගය පිළිබඳ ව අවශ්‍ය තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ලබාගන්නා ලෙසත්, ඒ සඳහා තෙවන පාර්ශවයක සහයෝගය ලබා නොගන්නා ලෙසත්, අමාත්‍යවරිය රැකියා අපේක්‍ෂිතයින්ගෙන් ඉල්ලා සිටී.

එසේම කිසිවිටෙක කිසිඳු පුද්ගලයෙකුට මුදල් ලබා නොදෙන ලෙසඳ දැනුම්දෙයි. සියලු ම ගනුදෙනු කාර්යාංශය මගින් පමණක් සිදුකරන ලෙසද ඇය වැඩිදුරටත් ඉල්ලා සිටී.විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය දකුණු කොරියානු රාජ්‍යයේ කම්කරු අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවන්හි ප‍්‍රතිඵල ලෙස දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප‍්‍රමාණයක් ලාංකික ශ‍්‍රමිකයින්ට හිමි විය. එසේම කොරියානු රැකියා නිසා වැඩි විදේශ විනිමය ප‍්‍රමාණයක් ලංකාවට ලැබෙන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. 2015 වර්ෂයට සාපේක්ෂ ව 2016 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියාවන් සඳහා පිටත්ව ගිය මෙරට ශ‍්‍රමිකයින් සංඛ්‍යාව වැඩි වී තිබෙන අතර, ඒ අනුව 2016 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය විගමණික ශ‍්‍රමිකයින් සංඛ්‍යාව 6629ක් වන අතර, එය 2015 වර්ෂයට වඩා 32% කින් වැඩි වීමකි. 2015 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සඳහා 5007ක් පිටත්ව ගොස් තිබේ.2015 වර්ෂයේ ධීවර අංශයේ රැකියා අවස්ථාවන් 1319ක් ද, නිෂ්පාදන අංශයේ 3513ක්ද, ඉදිකිරීම් අංශයේ 170ක් ද, කෘෂිකර්ම හා පශු සම්පත් අංශයේ 3ක්, වෛද්‍ය හා අක්ෂි උපකරණ නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථාවන් 1ක් ද හිමි වී තිබේ.

2016 වර්ෂයේ ධීවර අංශයේ රැකියා සඳහා 2163ක්ද, නිෂ්පාදන අංශයේ රැකියා සඳහා 4330ක් ද, ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා 118ක්ද, කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා 6ක්ද, වගා ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා 6ක් ද, ධීවර කර්මාන්තය සඳහා 5ක් ද, යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සඳහා 1 අයෙක්ද දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. මේ වන විට දකුණු කොරියාවේ දළ වශයෙන් 35,000 කට ආසන්න ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් ප‍්‍රමාණයක් සේවය කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.