• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උතුරේ සංවර්ධනයට නව සැලැස්මක් ඔස්සේ නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ජනපති පවසයි

He news 2017 0306උතුරු පළාතේ සංවර්ධනයට නව සැලැස්මක් ඔස්සේ නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා පවසයි.

සෑම මසකට හෝ මාස දෙකකට වරක් උතුරු පළාතට පැමිණ තම අමාත්‍යාංශ යටතේ පවතින සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බලන ලෙස සෑම අමාත්‍යවරයෙකුටම උපදෙස් දෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ කාල සටහන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද උපදෙස් දෙන බව කියා සිටියේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, ‘ජනපතිට කියන්න’ වැඩසටහනේ ප‍්‍රථම ප‍්‍රාදේශීය කාර්යාලය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (04) ආරම්භ කරමිනි.මෙම නව වැඩසටහන තුළින් උතුරේ ජනතාවගේ ගැටලු සහ ප‍්‍රශ්න තමන් වෙත ඉදිරිපත් කිරීම තවදුරටත් පහසුවනු ඇති බව පැවසූ ජනාධිපතිතුමා රටක් ලෙස අප ඉදිරියට යා යුත්තේ සියලු ජනතාවගේ ගැටලු විසඳමින් එම සියලුදෙනා සමඟ අත්වැල් බැඳ ගනිමින් බව ද කියා සිටියේය.

තමා ඉදිරි මාස කිහිපය තුළ සෑම මසකම අදාළ මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් සමග උතුරට පැමිණ එම පළාත් මැති ඇමතිවරු සහ නිලධාරින් සමඟ පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ සොයා බලන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.රැකියා ඉල්ලා යාපනයේ උපාධිධාරීන් පිරිසක් පසුගියදා නිරතවූ විරෝධතා ව්‍යාපාරය පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ එම විරෝධතා නොපවත්වා අද දින තමා හමුවූයේ නම් ඒ පිළිබඳ වඩාත් සතුටට පත්වන බවයි.

විරෝධතා, උපවාස සහ උද්ඝෝෂණ පැවැත්විය යුත්තේ අත්‍යාවශ්‍යම අවස්ථාවලදී බවත් නැතහොත් ඒවායේ වටිනාකම් පිරිහී යන බවත් පැවසූ ජනාධිපතිතුමා වත්මන් රජය සහ ජනතාව අතර බේදයක් ඇති කිරීමට අද උතුරේත්, දකුණේත් එක ලෙස යම් බලවේගයන් කි‍්‍රයාත්මක වන බව කියා සිටියේය.යුද්ධය අවසන් වී වසර 08 ක් ඉක්ම ගියද තවමත් රටේ ජනතාවගේ සිත් එකට එක්වී නොමැති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා වත්මන් රජයේ මෙම සෑම උත්සාහයක්ම එම බිඳුණු සිත් එකට එක් කරමින් යළි යුද්ධයක් ඇති නොවන පරිදි සියලු ජනතාව අතර සාමය සහෝදරත්වය ගොඩනැගීමට බව ද කියා සිටියේය.ජනාධිපති ධූරයේ වර්ෂයක් සපිරීම නිමිති කර ගනිමින් ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා 2016 ජනවාරි 08 වනදා ‘ජනපතිට කියන්න’ වැඩසටහන හඳුන්වාදෙන ලදී.රජයේ සේවා සැපයීමේ කි‍්‍රයාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනම් ඵලදායි ප‍්‍රතිචාර හා විසඳුම් ලබාදීමට පහසුකම් සැලසීම මෙම වැඩසටහනේ අරමුණයි.

මහජනතාවට 1919 දුරකතන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ http://tel.president.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ලිපිනයට විද්‍යුත් පණිවිඩයක් යොමු කිරීම මඟින් හෝ තැපැල් පෙට්ටිය අංක 123, කොළඹ යන ලිපිනයට ලිපි එවීම මගින් ජනාධිපති කාර්යාලය වෙත තමන්ගේ පැමිණිලි, දුක්ගැනවිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ‘ජනපතිට කියන්න’ වැඩසටහන හරහා ලබා දී තිබේ.ලැබෙන පැමිණිලි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයෙන් පරීක්ෂා කෙරෙන අතර. එහිදී එම පැමිණිලි/දුක් ගැනවිලි වැඩිදුර කටයුතු සඳහා අදාළ අමාත්‍යාංශ හෝ ආයතන වෙත යොමු කරනු ලැබේ.දැනට ‘ජනපතිට කියන්න’ වැඩසටහන වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 109826 ක් වන අතර එයින් විසඳා අවසන් කළ පැමිණිලි සංඛ්‍යාව 35,999 කි.

විසඳමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 58,273 ක් වන අතර පරීක්ෂා කිරීමට ඉතිරිව ඇති පැමිණිලි සංඛ්‍යාව 9771 කි.උතුරු පළාතේ ජනතාවට සිය දුක්ගැනවිලි, පැමිණිලි, අදහස් හා යෝජනා අද විවෘත කෙරුණු නව කාර්යාලයට පැමිණ බාරදීමේ හැකියාව අද සිට හිමි වේ. මෙම කාර්යාලය සඳහා ජනාධිපති කාර්යාලයේ නිලධාරින් අනුයුක්ත කර ඇති අතර ගැටලු සඳහා ප‍්‍රතිචාර එම කාර්යාලයෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතී.නව කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි කටයුතු ද අධීක්ෂණය කරනු ලැබීය.කීරමලේ හා වල්ලායි ප‍්‍රදේශවල ඉඩම් නිදහස් කර දීමෙන් අනතුරුව එම ජනතාව වෙනුවෙන් ඉදිකර දුන් නිවාස 10 ක යතුරු නිවාසලාභීන් වෙත ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.අමාත්‍ය මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, යාපනයේ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන එම්. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, මාවෙයි සේනාධිරාජා, අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.“ජනපතිට කියන්න” උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී,යාපනයේ කාර්යාලයක් පිහිටුවීමේ උත්සවයේදී ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (04) සිදුකළ කතාවමම අද ඔබගේ ප‍්‍රදේශයට ආවේ ඉතාමත්ම සතුටින්. මා මෙම වසරේ මුලදී ඔබගේ ප‍්‍රදේශයට එන්න සිටියේ. නමුත් මාස කිහිපයකට පසුව හෝ ඔබ හැම දකින්න ලැබීම ගැන සතුටු වෙනවා. අද ඔබ වෙනුවෙන් අලුත් වැඩසටහනක් මේ ආරම්භ කරන්නේ. මේ වැඩසටහන මගින් උතුරු ප‍්‍රදේශයේ ජනතාව හා මා අතර ලොකු බැදීමක් ඇති වෙනවා. අපි කිසිම වෙලාවක වෙන් වෙන්න හොඳ නැහැ. එහෙම එකට ඉන්න කොට අපිට ප‍්‍රශ්න තේරුම් ගන්න පුළුවන්.

අපි අද ආරම්භ කළ වැඩසටහනින් මේ ප‍්‍රදේශයේ සිටින ජනතාවගේ දුක් ගැනවිලි, ඉල්ලීම් මා වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. මෙහිදී කතා කළ මාවෛ සේනාධිරාජා මහතා සඳහන් කළ කරුණු පිළිබඳව මා එතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි මේ තිබෙන ප‍්‍රශ්න විසදගන්නේ කොහොමද? ඒ ප‍්‍රශ්න විසදගන්න අපි හැමෝම එකට එකතු වෙලා කටයුතු කරන්න ඕන. රටේ තිබෙන ව්‍යවස්ථාපිත ආයතන එකට එකතු වෙන්න ඕන.ජනාධිපති කාර්යාලය, පාර්ලිමේන්තුව, පළාත් සභා ඇතුළු ආයතන එකට එකතු වෙලා වැඩකරන්න ඕන. අපි අතරේ විශ්වාසය ඇති කරගන්න ඕන. මේ ප‍්‍රදේශය දීර්ඝ කාලයක් පුරා යුද්ධයක් තිබුණ ප‍්‍රදේශයක්. දැන් යුද්ධය අවසන් වෙලා අවුරුදු අටක් විතර වෙනවා. නමුත් යුද්ධය අවසන් වෙලා වසර 8ක් ගෙවුණට මේ සෑම කෙනෙක්ම සෑම අංශයකම සිත්වලින් එකට එකතු වී නැහැ. අපිට එකට එකතු වී වැඩකරන්න පුළුවන්. ඒත් අපි හිත්වලින් එකට එකතු වී නැත්නම් එකට වැඩ කළාට වැඩක් නැහැ. අපි හැමෝම අවංකව හිතන්න ඕන මේ රටේ ජනතාවට තිබෙන ප‍්‍රශ්න ගැන. ඒක දේශපාලනික පක්ෂ භේදයකින්, පළාත් භේදයකින් හිතන්න හොඳ නැහැ. සෑම ආගමකම සඳහන් කරන්නේ එකට එකතු වී වැඩකරන්න කියලා.

ඒ නිසා ජනතාව ඒකරාශි කරන්න ආගමත් වැදගත් වෙනවා. අපි හිත්වලින් එකතු විය යුත්තේ අපේ ආගමික දර්ශනයන් සමගයි.උතුරු ප‍්‍රදේශයේ තිබෙන ප‍්‍රශ්නම අනෙකුත් ප‍්‍රදේශවලත් තිබෙනවා. එහිදී රජයේ ආයතනවල එකට එකතු වීමක් නැහැ. අපි පසුගිය වසර දෙක තුළ උතුරු සංවර්ධනයට විශාල ලෙස මුදල් වෙන් කළා. සමහර අංශ වැඩ කෙරෙනවා. සමහර අංශවල වැඩ කෙරෙන්නේ නැහැ. වැඩ නොකෙරුණාම මුදල් ආපසු කොළඹට එනවා. මුලින්ම මේ ප‍්‍රදේශයට වෙන්කරන මුදල් නිසි ලෙස සංවර්ධනය සඳහා යොදාගත යුතුයි. ධීවර ජනතාවට ධීවර ප‍්‍රශ්න ගොඩක් තිබෙනවා. ගොවිතැන් කරන ජනතාවට ගොඩක් ප‍්‍රශ්න තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රශ්න තිබෙනවා. ඒ වගේ විවිධාකාරයේ ප‍්‍රශ්න තිබෙනවා. මේ සියලු දේවල් අපි තේරුම් අරන් වැඩකරන්න ඕන.සේනාධිරාජා මහතා සඳහන් කළා උපාධිධාරීන්ගේ ගැටලු පිළිබඳව. මට ආරංචි වුණා එයාලා විරෝධතා කරනවා කියලා. ඒ වගේම නැගෙනහිර ප්‍රදේශයෙත් විරෝධතා කරනවා කියලා ආරංචි වුණා. පොළොන්නරුවෙත් ඉන්නවා රැකියා නොමැති උපාධිධාරීන්. ඔබ දන්නවා හැම ආණ්ඩුවක්ම උපාධිධාරීන්ට වසර දෙක තුනකට වරක් තමයි රැකියා ලබාදීම් සිදුකරන්නේ. ඒ අතරතුර ඉල්ලූම් පත‍්‍ර මගින් රැකියා ලබාදීම් සිදුකෙරෙනවා. මේ රටේ විශාල ලෙස රැකියා පුරප්පාඩු තිබෙනවා. නමුත් මේ හැමෝම ඉල්ලන්නේ ආණ්ඩුවේ රැකියාවල්.

ඒ රැකියා නැති දරුවන් මා සමඟ ඇවිත් කතා කළා නම් කෙතරම් හොඳද විරෝධතා කරන්නේ නැතිව. මම හුඟක් කැමතියි විරෝධතා නැතිව මා සමග සාකච්ඡා කරනවාට. ඕන කෙනෙක්ට මාව හමුවෙන්න පුළුවන්. මා උදේ කොළඹ නිවසේ සිටිනවා. මාව හමුවෙන්න අමාරු අයට තමයි මේ වැඩසටහන තිබෙන්නේ. ඒ වගේම මේ හැම ප‍්‍රදේශයක්ම නියෝජනය කරන නායකයින් මාගේ මිත‍්‍රයින්. ඒ හැමෝම මාව ජනපති කරන්න සහය දුන් අය. ඒ නිසා මේ සෑම කෙනෙක්ගේම අදහස්වලට මම හොඳට සවන් දෙනවා. උදව් කරනවා.

නමුත් මාවෛ සේනාධිරාජා සඳහන් කළ කරුණු පිළිබඳව මම අලුත් විදියට හිතුවා. සුමන්ධිරන් මන්ත‍්‍රීතුමත් ඒ ගැන කතා කළා. මම හිතනවා උතුර සංවර්ධනයට අලුත් වැඩසටහනක් කරන එක හොඳයි කියලා. අපි මීට වඩා සමීපව වැඩ කළ යුතුයි. ඒ නිසා මම තීරණය කළා මාස කිහිපයකට පාරක් යාපනයට එන්න. මම ඒ එන්නේ උත්සවවලට නෙමේ. මේ ඉන්න ජනතාවගේ සංවර්ධන ගැටලු විධිමත් ලෙස විසදන්න එන්නේ. මම විශ්වාස කරනවා ප‍්‍රශ්න ගොඩක් විසදෙයි කියලා එතකොට. විරෝධතා අපේ රටේ හැම ප‍්‍රදේශයකම තියෙනවා. කොළඹ සමහර දවස්වලට විශාල ලෙස තිබෙනවා. කාණුවක් කපන්න ගියත් කට්ටියක් විරුද්ධව එනවා ඉස්සරහට. මේ වතුර නැති නිසා ඒකටත් විරෝධතා එනවා. මේ විරෝධතා කියන ඒවා තියෙන්න ඕන අත්‍යාවශ්‍ය දේවල්වලට පමණයි. හැමදේටම කළාම වටිනාකමක් නැතිව යනවා.

මගේ වසර තුළ තමයි මේ ඔක්කොම විරෝධතා. කළින් කළා නම් ඒ කරන අයව සුදුවෑන්වලින් සොයන් එනවා. ගෙනියන තැනක් වුණ දෙයක් දන්නේ නැහැ. මගේ පාලන කාලයේදී තමයි නිදහසේ කෑගහන්නෙත්. ඒ අයට මම එන්න කියලා කතා කරලා විසදුම කියලාත් දෙනවා.උපාධිධාරීන් හැමෝටම රස්සා දෙන්න බැරිවුණාට කිහිප දෙනෙක්ට හරි දෙනවා මාව හමුවෙලා කතා කළා නම්. මගේ ආයතනවලට හරි දෙනවා. ඒ නිසා තරුණ දරුවන්ට කියනවා තිබෙන ප‍්‍රශ්න කතා කරලා විසදගමු කියලා. අපිව භේද කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා. අපිව භේද කරන්න රටින් පිටත් ඉන්නවා. අන්තර්ජාලය දැක්කාම පේනවානේ ඒවා. මම නම් ඒවා බලන්නේ නැහැ. ඒවා බලලා වැඩක් නැහැ. ඒවා බල බල පස්සේ ගිහින් තේරුමක් නැහැ. මේ ඉන්න අපිට හොදට හිතන්න පුළුවන්. හොද මොළයක් තිබෙනවා. උගත්කම තිබෙනවා. මේ හැම කෙනෙක්ටම හොද නරක තේරෙනවා. අපි හැමෝම එකට එක්ව වැඩකරමු.මම මගේ ඇමති මණ්ඩලයට උපදෙස් දෙනවා අදාළ අමාත්‍යාංශ යටතේ උතුරු ප‍්‍රදේශ සංවර්ධනයට අවශ්‍ය කටයුතු කරන්න කියලා. මාස කිහිපයකට වරක් හෝ පැමිණෙන්න කියලා. මම ඒයාලට උපදෙස් දෙනවා වසර තුළ හදන ඒ කාලසටහන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා. ඒ නිසා මේ තිබෙන වැඩ කඩිනමින් කරමු.අද ඔබගේ මහඇමතිතුමා, විග්නේෂ්වරන් මැතිතුමා අසනීප නිසා හමුවෙන්න බැරිවුණා. මම එතුමට ආශීර්වාද කරනවා ඉක්මනින් සුවවෙලා වැඩකරන්න එන්න කියලා. අපි සෑම කෙනෙක් ගැනම පුද්ගලිකව අවධානය යොමුකරනව.

අපි කල්පනා කරන්න ඕන නැවත යුද්ධයක් ඇති නොවෙන්න සංවර්ධනය කරන විදිය ගැන. සියලූ ජාතීන් එකට එකතු වී වැඩකරන්න තිබෙන බාධා ඉවත් කරන්න ඕන. විශ්වසයෙන් වැඩ කරන්න ඕන. මේ අද ආරම්භ කළ වැඩසටහනට හොඳ කාර්ය මණ්ඩලයක් දානවා. රස්සා නැහැ කියලා විරෝධතා කළ දරුවන්ටත් මේක හොඳ අවස්ථාවක් කරලා දෙනවා රස්සාවක් ලබාදෙන්න.ඒ නිසා මෙම අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ගැන නැවතත් සතුටු වෙනවා. හොඳ අනාගතයක් උදාකරගන්න කටයුතු කරන්න ආශිර්වාද කරමින් මාගේ කතාව අවසන් කරනවා.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.