• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අතරතුර ජනපති සහ රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

04 Australian PM Malcolm Turnbull 2017ඉන්දීය සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව ඊයේ (07) පෙරවරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අභිමානවත් අයුරින් පැවැත්වුණු අතර සමුළුව අතරවාරයේ ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.
එම රටවල් සමග පවතින වෙළෙඳ සහ ආර්ථික සබඳතා සවිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා විශේෂ අවධානය යොමු කළ අතර නව සංවර්ධන සැලැස්මක් ඔස්සේ ඉදිරියට ගමන් කරන ශී‍්‍ර ලංකාව සමග අත්වැල් බැඳ ගැනීමට සූදානම් බවට එම රාජ්‍ය නායකයින් ජනාධිපතිතුමා හමුවේ සහතික විය.

පළමුව ජනාධිපතිතුමා හමූ වූයේ ඉන්දියාවේ උප ජනාධිපති මොහොමඞ් හමීඞ් අන්සාරි මහතායි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ඉන්දු – ශී‍්‍ර ලංකා සබඳතා ඉතා නැවුම් ප‍්‍රවේශයකින් ඉදිරියට ගමන් කිරීම පිළිබඳව මෙහිදී සිය සතුට පළ කළ ඉන්දීය උප ජනාධිපතිවරයා අසල්වාසී මිත‍්‍ර රටක් ලෙස ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.

නිදහස්, ස්වෛරී රාජ්‍යයක් ලෙස රට ගොඩනගමින් සියලු ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව ස්ථාපිත කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ඉතා ආදර්ශමත් බව ද ඉන්දීය උප ජනාධිපතිවරයා සඳහන් කළේය.

නියං තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දියානු රජයෙන් සිදු කළ සහල් පරිත්‍යාගය පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදි සිය ස්තූතිය පිරිනැමීය.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා හමු වූයේ දකුණු අපි‍්‍රකානු ජනාධිපති ජාකොබ් සූමා මහතායි.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී රාජ්‍ය නායක දෙපළ සාකච්ඡා කළ අතර ජාත්‍යන්තර කටයුතුවලදී දකුණු අපි‍්‍රකාව ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඇගයීමට ලක් විය.

ශී‍්‍ර ලංකාව තුළ තිරසර සාමයක් ඇති කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ද දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් විය.

ජාත්‍යන්තර කටයුතුවලදී මෙන්ම සෑම ක්ෂේත‍්‍රයකින්ම ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බව දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඕස්ටේ‍්‍රලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා ජනාධිපතිතුමා හමු වූයේ ඉන් අනතුරුවයි.

ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පවතින්නේ ඉතා දීර්ඝකාලීන සබඳතාවයක් වන අතර නිරන්තරයෙන් සිදුවන තම හමුවීම් තුළින් එම සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බව ඕස්ටේ‍්‍රලියා අගමැතිවරයා සඳහන් කළේය.

ශී‍්‍ර ලංකාවේ බලශක්ති ක්ෂේත‍්‍රයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට කටයුතු කරන බව ඕස්ටේ‍්‍රලියා අගමැතිවරයා සඳහන් කළේය.

ආර්ථික සහ ව්‍යාපාරික වශයෙන් ශී‍්‍ර ලංකාව සමග ශක්තිමත් ගමනක් යාමට ඕස්ටේ‍්‍රලියාව සූදානම් බව පැවසූ ඕස්ටේ‍්‍රලියා අගමැතිවරයා ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ද ජනාධිපතිතුමා වෙත ආරාධනා කරනු ලැබීය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර හමුව ඉන් අනතුරුව සිදු විය.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ද පවතින්නේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන හෘදයාංගම බැඳීමකි. එම බැඳීම් තවදුරටත් ශක්තිමත් කර ගැනීම දෙරටේම අරමුණ බව නායක දෙපළ එහිදී අවධාරණය කළහ.

වෙළෙඳ සහ ආර්ථික වශයෙන් ශී‍්‍ර ලංකාව සමග නව බැඳීම් රැසක් ඇතිකර ගැනීමට බංග්ලාදේශය සූදානමින් සිටින බව පැවසූ බංග්ලාදේශ අගමැතිවරිය දෙරට අතර ව්‍යාපාරික සබඳතා පුළුල් කර ගැනීමේ වැඩපිළිවෙළකට ඉදිරියේදී එළැඹීමට අපේක්ෂා කරන බව කියා සිටියාය. 
 
රටවල් දෙක අතර වෙළෙඳ සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ සොයා බැලීමට විශේෂ නියෝජිත කණ්ඩායමක් බංග්ලාදේශය වෙත එවන බව ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය. 
 
තමා සෞඛ්‍ය අමාත්‍යවරයාව කටයුතු කරන සමයේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළව ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ඇතිකරගත් සබඳතා ශක්තිමත්ව කි‍්‍රයාත්මක වීම පිළිිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී සිය සතුට පළ කළේය. 
 
බංග්ලාදේශයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට බංග්ලාදේශ අගමැතිවරිය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ආරාධනා කළාය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.