• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික කෞතුකාගාරයේ කෞතුක වස්තූන් පිළිබඳ තොරතුරු ජංගම දුරකතනයෙන්

ICTA 20170310ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිළිබඳ තොරතුරු ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජංගම දුරකතනයට හෝ ටැබ් පරිගණකයට ලබා ගැනීමට පහසුකම ජනතාවට උදාවේ.

 ඉ-උරුමය ව්‍යාපෘතිය (e-Heritage project) යටතේ මෙය ක්‍රියාවට නංවා තිබෙන අතර තම ස්මාට් දුරකතනයට හෝ ටැබ් පරිගණකයට මේ සඳහා සකස් කර තිබෙන තොරතුරු තාක්‍ෂණ යෙදවුම ස්ථාපනය කර ගැනීමෙන් මෙම පහසුකම අත්විද ගැනීමට ඉඩ සැලසෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.  ජාතික කෞතුකාගාරයේ සංරක්‍ෂණය කරන ලද මැදිරි සංකීර්ණය නැවත විවෘත කිරීමේ උත්සව අවස්ථාවට  සමඟාමී ව මෙම පහසුකම ජාතික කෞතුකාගාර නරඹන්නන්  සඳහා මුදා හැරීම නොබෝදා සිදුවිය.

මේ අනුව කෞතුක වස්තුවක් නැරඹීමේදී අදාළ කෞතුක වස්තුව පිළිබඳ ව තොරතුරු සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් සවන්දීමට මෙන්ම භාෂා ත්‍රිත්වයෙන් ම සමන්විත ලිඛිත තොරතුරු පරිශ්‍රීලනය කිරීමට ද හැකිවේ.තවද ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු ඩිජිටල් තාක්‍ෂණය සහිත  ජායාරූප ද එක්කර තිබේ. කෞතුකාගාරයේ තමන් නරඹමින්  සිටින ස්ථානය මෙන්ම  ඉදිරි නැරඹුම් ප්‍රවේශ පිළිබඳ ව පහසුවෙන්  දැනුම්වත් වීමට ද  මේ ඔස්සේ නරඹන්නන්ට හැකිවේ. කෞතුකාගාර  ප්‍රවේශ පත්‍ර වල මිල ගණන් දැන ගැනීමේ පහසුකම ද මෙම ඇප් එක මගින් ලැබී තිබෙන අතර ඉදිරියෙදී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකමද ලබා දීමට නියමිතය. ‍

මෙම  ප්‍රතිසංස්කරණය කරන ලද මැදිරි සංකීර්ණය විවෘත කිරීම අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවු අතර අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා, සඳහන් කළේ රටේ  ජාතික උරුමයන්  ආරක්‍ෂාකර ගනිමින් අනාගතයට දායාද කර දීම  අප සතු වගකීමක් බවත්, ඒ සඳහා නවීන තාක්‍ෂණය යොදා ගැනීම කාලෝචිත බවත්, ඒ වෙනුවෙන් පෙරමුණ ගත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයට ස්තුතිවන්ත විය යුතු බවත් ය.

මෙම අවස්ථාවට එක්වු ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා සඳහන් කළේ මෙම ඇප් එක හඳුන්වා දීම නිසා විශේෂයෙන් ම දෙස් විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් වෙත වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට හැකිවන බවත්,  ‍කෞතුක වස්තූන් නරඹන්නන්ට  වැඩි දැනුම්වත් වීමක් සහිත ව ඒවා නැරඹීමටත් කෞතුක වස්තූන් පිළිබඳ ව තොරතුරු හදාරන්නන්ට සහ ගවේෂණය කරන්නන්ට මෙය ඉතා වැදගත් වන බවයි.ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින්  මෙම පහසුකම ජනතාවට ලබා දීම සඳහා අවශ්‍යකරණ ස්මාට් ජංගම දුරකතන කිහිපයක් ජාතික කෞතුකාගාරය වෙත ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

මෙම ඇන්රොයිඩ් යෙදවුම (Android application) ගූගල් ප්ලේස්ටෝ හි (Google playstore) ශ්‍රී ලංකා මියුසියම් යන්න පිරික්සීමෙන් නොමිලේ භාගත (Download) කර ගත හැක.  නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂිකා සනුජා කස්තුරිආරච්චි, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ (ව්‍යාපෘති) අරුනේෂ් පීටර් යන  මහත්ම මහත්මීන්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.     

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.