• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය මාතර දී

Matara women day 3 13 'තුන්කල් දකින්නී - සවියෙන් දිනන්නී' යන මැයෙන් මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය මෙවර මාතර දිස්ත්‍රික්කයේ කාන්තාවන් දෙදහසකගේ සහභාගිත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

විවිධ හේතූන් මත වැන්දඹු හෝ ගෘහමූලික කාන්තාවන් බවට පත් වූ කාන්තාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත්ව  නැගී සිටීමට අත්වැලක් වනු පිණිස වැන්දඹු කාන්තාවන් සඳහා පිරිනමන රුපියල් 20,000 බැගින් වූ ණය ආධාර ලබාදීම මෙහි දී සිදු කෙරිණි.


ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ කාන්තාවන් ශක්තිමත් කරමින් පවුලේ හා ජාතික ආර්ථික සංවර්ධනයේ ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමී ව මාතර දිස්ත්‍රික්කයෙන් තෝරාගන්නා ලද හොඳම ව්‍යවසායක කාන්තාවන් සඳහා ත්‍යාග හා සහතික පිරිනමන ලදි.

තරබාරු කම, අධික රුධිර පීඩනය ඇතුළු බොහෝමයක් බෝ නොවන රෝග වලට මුහුණ දීමට සිදුවන්නේ ව්‍යායාම හා කායික ක්‍රියාකාරකම්වල අඩුකම හේතුවෙනි. විශේෂයෙන්ම කාන්තාවන්ට ඇති අවිවේකී බව නිසා ව්‍යායාම්වල යෙදීමේ අපහසුතාව සැලකිල්ලට ගෙන තම නිවාස පරිසරයන් තුළ දී ම උපදේශකයෙකු රහිතව තමන්ටම නිවැරදිව හා විද්‍යානුකූලව ව්‍යායාම් කිරීමට හැකිවනු පිණිස ක්‍රීඩා අමාත්‍යාංශය මගින් නිර්මාණය කර තිබෙන කාන්තා ව්‍යායාම ඇතුළත් women sports app පරිගණක මෘදුකාංගය එළි දැක්වීම ද මෙහි දී සිදු විය.

ශ්‍රී ලකාවේ ළමුන්ට හා කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනයන් හා අකටයුතුකම් මැඩලීම හා ඒවාට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයෙන් හඳුන්වා දී තිබෙන 0112444444 දරණ දුරකථන අංකයෙන් විශාල සේවාවක් ඉටුවන අතර වත්මන් සමාජ තත්ත්වයන් සැලකිල්ලට ගෙන එම සේවාව ශක්තිමත් කරමින් හිංසනයන්ට එරෙහිව ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට අමතරව වින්දිතයන්ට යහපත සැලසීම පිණිස women in need ආයතනයේ මැදිහත් වීමෙන් නිර්මාණය කර තිබෙන, සමාජ මාධ්‍ය ජාල හරහා අදාළ පාර්ශ්ව අතර පහසුවෙන් තොරතුරු හුවමාරු කරගත හැකි 2six4 app මෘදුකාංගය ද එළි දැක්විණි.

රටේ සංවර්ධනයට ජාතියේ ආයෝජන හා ඉතිරි කිරීම් පදනම ශක්තිමත් විය යුතුයි. ඒ සඳහා ජනතාව දිරිගැන්වීම හා පෙළඹවීම ඉතා වැදගත් වේ. එය ඉලක්ක කර ගනිමින් 2017 රජයේ අය වැය යෝජනා මගින් දක්වා ඇති “සියලු පුරවැසියන්ට බැංකු ගිණුමක්“ යන සංකල්පය කුඩා දරුවාගේ සිට පටන් ගැනීමට රජය හා මහජන බැංකුව අත්වැල් බැඳගෙන ඇත. එය යථාර්ථයක් බවට පත් කරමින් දිවයිනේ සියලු ම පෙරපාසල් දරුවන් සඳහා මහජන බැංකුව මගින් රුපියල් 250 බැගින් වූ ආරම්භක තැන්පතුවකින් යුතු ඉතිරි කිරීමේ ගිණුම් විවෘත කරන අතර ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමී ව මාතර දිස්ත්‍රික්කයේ පෙරපාසල් දරුවන් වෙනුවෙන් විවෘත කරන ලද ඉතිරි කිරීමේ ගිණුම්වල පාස්පොත් පිරීනැමීම ද මෙහි දී සිදු විය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යශය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය ඒකාබද්ධව ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමී ව මාතර දිස්ත්‍රික්කයෙන් තෝරාගන්නා ලද අඩු ආදායම්ලාභී වැන්දඹු හා ගෘහමූලික කාන්තාවන් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂය බැගින් වූ නිවාසාධාර පිරිනැමිණි.

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය සඳහා නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධණ අමාත්‍ය සාගල රත්නායක, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, සුමේධා ජී.ජයසේන, තලතා අතුකෝරළ, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ශෂිකලා මහේෂ්වරන්, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පර්ලිමේන්තු මැති ඇමතිවරුන්, හේමා ප්‍රේමදාස මැතිණිය, දකුණු පළාත් සභා මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම් චන්ද්‍රානි සේනාරත්න, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ ලේකම් ඩබ්.කේ.කේ.අතුකෝරළ හා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය උත්සවය සංවිධානය කරන ලදි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.