• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආණ්ඩුව කඩා වැටීමට කිසිදු ඉඩක් නොතබන අතර, ලැබූ ජනවරමට ගරු කරමින් රජයේ වගකීම් ඉටුකරනවා

He news 20170313 1ආණ්ඩුව අද හෝ හෙට කඩා වැටෙනු ඇතැයි ඇතැමුන් බලා සිටිය ද ආණ්ඩුව කඩා වැටීමට කිසිදු ඉඩක් නොතබන බව අවධාරණය කරන ජනාධිපතිතුමා ජනතාව ලබා දුන් ජන වරම අනුව නියමිත ධූර කාලය තුළ රජයේ වගකීම් සහ යුතුකම් නිසි ලෙසම ඉටු කරන බව කියා සිටියේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඌව වෙල්ලස්ස ජනතාවට ඉඩම් බලපත‍්‍ර හා දීමනා පත‍්‍ර දස දහසක් ලබාදීම වෙනුවෙන් අද (13) පෙරවරුවේ වැල්ලවාය මහජන කි‍්‍රඩාංගණයේ පැවති දෙරණාභිෂේක මහෝත්සවය අමතමිනි.

මේ රටේ ගොවි ජනතාවගේ හෙට දවස හා රටේ සමෘද්ධිය හා ශී‍්‍ර විභූතිය ගොඩනැගිය හැක්කේ කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම සහ මනා රාජ්‍ය පාලනයක් තුළින් බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා වත්මන් රජය උපරිම අයුරින් කැපවී සිටින බව පැවසීය.

රටක භූමියේ අයිතිය ජනතාවට හිමිවෙනවා සේම වගා ඉඩම්වල අයිතිය ගොවි ජනතාවට හිමිවිය යුතු බව ද පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා රජයේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටුකරන බව සඳහන් කළේය.

දශක ගණනාවක් තිස්සේ ඉඩම් අයිතිය නොතිබු ඌව වෙල්ලස්ස ජනතාවට මෙම අයිතිය ලබාදීමට හැකිවීම පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපතිතුමා අද එම ජනතාවට හිමිවන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ හිමි නොවූ අයිතියක් බවත් පැවසීය.

එමෙන්ම  අද ඔවුන් වෙනුවෙන් ඉටු වූයේ රටේ ආර්ථිකය සහ ජන ජීවිතය ගොඩනැගීම වෙනුවෙන් වෙහස වූ පිරිසක් වෙනුවෙන් බොහෝ අය අතපසු කළ වගකීමක් බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

නියඟය හමුවේ කෘෂිකාර්මික සැලසුම් සහ ඉලක්ක අභියෝගයට ලක්වීම හේතුවෙන් මහ කන්නයේ අපේක්ෂිත අස්වැන්න සියයට හතළික පමණ කඩා වැටීමක් සිදුව ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම තත්ත්වය තුළ ආණ්ඩුවට විරුද්ධ බොහෝ අය සතුටු වූ නමුත් ස්වභාව ධර්මය එතරම් අකාරුණික නොවන බවත්, බොහෝ දෙනා අපේක්ෂා කළ අන්දමේ විපතක් ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙන් රටට සිදු නොවූ බවත් කියා සිටියේය.

ඉඩම් බලපත‍්‍ර ලබාදීම සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත ඉඩම් බලපත‍්‍ර ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ මෙහෙයවීමෙන් ඌව පළාත් සභාව විසින් වැඩසටහන සංවිධානය කර තිබූ අතර අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, විජිත් විජයමුණි සොයිසා, රංජිත් මද්දුමබණ්ඩාර, නියෝජ්‍ය ඇමතිනි සුමේධා ජී. ජයසේන, ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර වැල්ලවාය මූලික රෝහලේ බාහිර ප‍්‍රතිකාර ඒකකය ද අද පෙරවරුවේ ජනාධිපතතුමා අතින් විවෘත කෙරිණි. එහි පළමු රෝගියා ලියාපදිංචි කිරීම සිදු වූයේ ද ජනාධිතිතුමා අතිනි.

අනතුරුව ජනාධිපතිතුමා කාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහක නිරත විය.

ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍ය කුමාරසිරි රත්නායක, වෛද්‍ය අධිකාරී මංජුල ඈපා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.