• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මෛත‍්‍රී – පුටින් මිත‍්‍රත්වය දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවල නව කඩඉමක්

He news 2017 03 24රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා අතර ගොඩනැඟි ඇති සමීප මිත‍්‍රත්වය රුසියානු – ශ්‍රී ලංකා ද්වි පාර්ශ්වික සබඳතාවල නව කඩඉමක් සනිටුහන් කරනු ඇති බව රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඉගෝර් මොගියුලොව් මහතා (Igor Morgulov) පවසයි.
 
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වී පාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරීම නිමිත්තෙන් හා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රුසියානු නිල සංචාරයට ගෞරවයක් වශයෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (23) රාත්‍රීයේ රුසියාවේ Ritz Carlton හෝටලයේදී පැවැත්වුණු අතර එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.


මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.

ශ්‍රී ලංකා සහ රුසියානු සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව විචිත‍්‍රවත් විය.


මෙහිදී අදහස් දැක්වූ රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් රුසියාව සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව සමඟ සිටින බවයි.


අවශ්‍ය සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර තලයේදීත් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට රුසියාව සූදානම් බව පැවසූ රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රි ලංකාවේ ආර්ථික, වෙළෙඳ, අධ්‍යාපන, සංස්කෘතික සියලු අංශවල ඉදිරි සංවර්ධනයට රුසියාවේ සහය හිමිවන බව ප‍්‍රකාශ කළේය.


ශ්‍රී ලංකාව සහ සෝවියට් රුසියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ඇරඹෙන්නේ 1957 පෙබරවාරි මස 18 වනදාය. අද වන විට මහ බලවතෙකු ලෙස නැගී සිටින රුසියානු සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකාව තම සුහද සබඳතාවයන්හි හැටවන සංවත්සරය සමරන අවස්ථාවේ සිදු කෙරුණු ජනාධිපතිතුමාගේ මෙම නිල සංචාරය ඉතා සුවිශේෂී බව මෙම උත්සවයට සහභාගී වූ රුසියානු රජයේ නියෝජිතයෝ ප‍්‍රකාශ කළහ.


අභ්‍යාවකාශය තරණය කළ ලොව පළමු කාන්තාව වන වැලෙන්ටිනා තෙරෙස්කෝවා මහත්මිය සහ අජටාකාශ ගාමියෙකු වන ව්ලැඩ්මීර් ලේතෝව් මහතා ඇතුළු එරට විශේෂ ආරාධිත පිරිසක් ද උත්සවයට එක්ව සිටියහ.


ජයන්ති සිරිසේන මැතිනිය සහ අමාත්‍යවරුන් වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා දූත කණ්ඩායම ද මෙම අවස්ථාවට එක් වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.