• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් බදු අය කර ගැනීමේ ක‍්‍රමවේදයන් වඩා කාර්යක්ෂම සහ විධිමත් කර කළ යුතුයි

He news 2017 04 07බදු අය කර ගැනීම සඳහා පවතින ක‍්‍රමවේදයන් වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගනිමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.
 
ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (06) පෙරවරුවේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 16 වන වාර්ෂික සමුළුව අමතමිනි.

රාජ්‍ය ආයතන, ඇතැම් පෞද්ගලික ව්‍යාපාර ආයතන සහ ආයෝජන ව්‍යාපෘති තුළින් රාජ්‍ය ආදායමට එක්විය යුතු බොහෝ බදු ලැබීම්වල පවතින දුර්වලතා හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව ද සඳහන් කළ ජනාධිපතිතුමා රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් පොදු ජනතාවට වඩා උසස් ජීවන තත්ත්වයක් උදාකරදීමට සහ සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කිරීමට සියලුදෙනා තම වගකීම් සහ යුතුකම් ඉටුකළ යුතු බව ද කියා සිටියේය.

මෙරට දේශීය ආදායම් බදු සේවයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම උදෙසා එහි කාර්ය මණ්ඩලවලට අවශ්‍ය විදේශීය පුහුණු අවස්ථා ඉදිරියේදී වැඩි වැඩියෙන් උදා කර දීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

ජාතික ආර්ථිකයේ හදවතට රුධිරය සපයන දේශීය ආදායම් බදු ක්ෂේත‍්‍රය මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිම වෙනුවෙන් ඉටුකරන මෙහෙවර ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

2007 වසරේ සිට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳහා සහකාර කොමසාරිස්වරු බඳවා නොගැනීමේ ගැටලුව පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර දෙපාර්තමේන්තුව ශක්තිමත් කරමින් රජය අපේක්ෂා කරන ගුණාත්මක සේවය ලබා ගැනීම සඳහා එම බදවා ගැනීම් කඩිනමින් සිදු කළ යුතු බවත් නව බදු පනත පිළිබඳ මෙන්ම එම බඳවා ගැනීම් සහ දෙපාර්තමේන්තුවේ අනෙකුත් ගැටලු පිළිබඳ සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් කැඳවන බව ද කියා සිටියේය.

විශ‍්‍රාමලත් ජ්‍යෙෂ්ඨ කොමසාරිස් පී.ජී.කේ. සමරතුංග මහතා වෙත ජනාධිපතිතුමා අතින් සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.


මු
දල් අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක යන මහත්ම මහත්මීන් ද, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති මහින්ද ගුණවීර මහතා ඇතුළු සාමාජික සාමාජිකවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව අමතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2017-04-06)

දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ වාර්ෂික සමුළුවට සහභාගිවීමට ලැබීම පිළිබඳ ව මම ඉතාමත් සතුටු වෙනවා. මම සභාපතිතුමාගෙන් ඇහුවා මීට පෙර මේ සමුළුවට අවසාන වරට සහභාගි වූ ජනාධිපතිතුමා කවුද කියා. එතුමා කිව්වා නෑ මේ පළමු වතාවටයි රාජ්‍ය නායකයෙකු ආවේ කියා.

අපේ රටේ ජාතික ආර්ථිකයේ හදවතට රුධිරය ලබා දෙන්නේ තමුන්නාන්සේලා. ඔබගේ කැපවීම, දැනුම, ශක්තිය සහ උනන්දුව මත අපේ ආර්ථිකය ශක්තිමත් වන බව සෑම කෙනෙක්ම අවිවාදයෙන් පිළිගන්නාවා. දීර්ඝ කාලයක් මේ දෙපාර්තමේන්තුවේ සේවය කළ සේවය කරන සෑම දෙනෙකුම මම සිහිපත් කරනවා. ඔවුන් කළ සේවය මම අගය කරනවා. රටේ ආර්ථිකයේ මතුවන ප‍්‍රවණතා, ගැටලු, අර්බුද සහ ප‍්‍රශ්නවලදී ඒ සියල්ලට සෘජුව මුහුණ දෙන ආයතනයක් වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි. අද දවසේ ඔබටත් මටත් මේ රටේ සමස්ත රාජ්‍ය සේවයට සහ පොදු මහජනතාවට රට වෙනුවෙන් පැවරී ඇති වගකීම් සහ යුතුකම් පිළිබඳ ව විග‍්‍රහ කිරීම, දැනුවත් කිරීම අවශ්‍යයි කියා මා සිතන්නේ නැහැ. මෙම ක්ෂේත‍්‍රය පිළිබඳව ඔබට තිබෙන විෂය දැනුමත් සමාජය ගැන ඔබට තිබෙන අවබෝධය සහ අත්දැකීම් සමග අපි සෑම කෙනෙක්ම වගකීම් ඉටුකිරීමට බැඳී සිටිනවා.

අපේ රටේ තිබෙන බදු ක‍්‍රමය පිළිබඳ ව බොහෝ වෙලාවට ප‍්‍රසාදය – අප‍්‍රසාදය විවේචන පළවෙනවා. එය අපිට පමණක් සීමා වූ දෙයක් නොවේ. ලෝකයේ සංවර්ධිත රටවල්වල ශක්තිමත් ආර්ථිකයක් ඇති රටවල්වල බදු ක‍්‍රම අද නව තාක්ෂණය සමඟ මුසුවී ඇති ආකාරය අප විසින් අධ්‍යයනය කිරීම ඒ පිළිබඳ ව අවබෝධය සහ අවශ්‍ය පුහුණුවීම් ලබා ගැනීම අතාවශ්‍ය බවයි මගේ හැඟීම.

සභාපතිතුමාගේ කතාවේදී සඳහන් කළා, මේ සඳහා අවශ්‍ය පුහුණුවීම් පිළිබඳ ව. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙම දෙපාර්තමේන්තුවේ සේවය කරන ඔබ සෑම කෙනෙකුගේම ගුණාත්මක වර්ධනයට, උසස් ප‍්‍රමිතියක් ඇති කිරීම සඳහා සංවර්ධනය වූ රටවල්වල නව බදු ක‍්‍රම පිළිබඳ ව අධ්‍යයනය, අවබෝධය සහ පුහුණුවීම් අත්‍යාවශ්‍යය දෙයක්. අපි රජයක් විදියට ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම ඉතා වැදගත් වන බව මා විශ්වාස කරනවා.

අපේ රටේ තිබෙන බදු ක‍්‍රමවලදී ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා. ඒක පුද්ගල ආදායම් වැඩි වෙන්න වැඩි වෙන්න අපේ බදු අයකිරීම්වල දුර්වලතාවයන් තිබෙන බව ඔබ දන්නවා. සෘජු බදු අඩුකිරීම්වල තිබෙන අඩුපාඩු බරපතළ ප‍්‍රශ්නයක් වී තිබෙනවා. රාජ්‍ය ආදායම පිළිබඳ ව කතා කරන විට, පසුගිය කාල සීමාව තුළ බොහෝ දෙනෙක් කතා කළා ඔබේ දෙපාර්තමේන්තුවේ තිබෙන ලිපි ගොනු සංඛ්‍යාව මෙච්චරක් කියා. මේ අයගෙනුයි බදු අය කරන්නේ. නමුත් රටේ බදු නොගෙවන සංඛ්‍යාවක් සිටිනවා. ඒ බදු අයකර ගන්නේ නැත්තේ ඇයි කියන කාරණාව ඔබේ ආයතන මෙන්ම දේශපාලන ක්ෂේත‍්‍රය තුළත් ආණ්ඩුව සහ පොදු ජනතාව තුළත් සාකච්ඡාවට සහ සංවාදයට ලක්වෙනවා. රාජ්‍යයේ යහපත් පැවැත්ම සඳහා බදු අයකිරීම් පිළිබඳ ඉතිහාසය අපේ රටේ මෙන්ම ලෝකයේ අද ඊයේ තත්ත්වයක් නොවන බව ඔබ දන්නවා. වසර දහස් ගාණනකට ඒහා ගත්විට ඒ තිබූ රාජාණ්ඩු ක‍්‍රමවල බදු අයකිරීම් කළ ආකාරය පිළිබඳව තිබෙන සටහන් සහ ඓතිහාසික වාර්තා සමග ඇතැම් බදු අයකිරීම් පිළිබඳව තිබූ අමානුෂික තත්ත්වයන් සහ විදේශීය ආක‍්‍රමණිකයින් මේ රට පාලනය කළ අවස්ථාවන් වල මෙන්ම රජවරුන් මේ රට පාලන කළ රාජ්‍ය සමයන්හිදී රටේ බදු අයකිරීම් පිළිබඳව සාක්ෂි තිබෙනවා. තවත් පැත්තකින් ගත්විට තිබෙන කෙනාගෙන් රජය බදු අයකර ගැනීම සිදුවිය යුත්තක්. බෞද්ධ දර්ශනයේත් මේ පිළිබඳ සඳහන්ව තිබෙනවා.

ඇතැම් රජවරුන්ගේ රාජ්‍ය පාලනය තුළ බදු අයකිරීම් පිළිබඳ ව කතා බොහෝ උපහාසාත්මකයි. මා ඒ අතීතය මතක් කළේ බදු අය කිරීම් පිළිබඳ කතාව ඇතැම් අංශ විවේචනය කරන්නේ මේ හදිසියේ ගන්නා තින්දු තීරණ විදියටයි.

අපේ රටේ රාජ්‍ය ආදායම පිළිබඳ ව කතා කළොත් ඒක පුද්ගල ආදායම වැඩිවෙනවා. නමුත් සෘජු බදු අයකිරීම්වල අඩුවක් අපි දකිනවා. ඒ වගේම මහවැලි අධිකාරිය වැනි රජයේ ආයතන ගත්විට එම ආයතන හරහා කෙරෙන ආයෝජනවලින් බදු අයකර ගැනීමේ ක‍්‍රම, අත්හදාබැලීම් වෙනස් වුවත් ඒවායින් ලැබෙන ආදායමින් සියයට 10ක් සියයට 20ක් වැනි ප‍්‍රමාණයක් තමයි රජයට ලැබෙන්නේ. අනෙක් ඒවා ලබාගැනීම සම්බන්ධයෙන් විධිමත් ක‍්‍රමවේදයක් නැති බව මම දන්නවා.

රාජ්‍ය ආයතන විසින් ඉන් බාහිර වූ ආයතන විශේෂයෙන්ම පෞද්ගලික ව්‍යාපාරික ආයෝජන විවිධ ව්‍යාපෘති විවිධ අංශවලින් රාජ්‍ය ආදායමට එක්විය යුතු බොහෝ බදු ලැබීම්වල අපි දකින්නේ දුර්වලතාවයක්. ඒ නිසා එවැනි අංශ ශක්තිමත් කාර්යක්ෂම කරගැනීම අත්‍යවශ්‍යයි කියන එකයි මම විශ්වාස කරන්නේ. සභාපතිතුමි කරුණු ගණනාවක් කිව්වා. මම හිතන්නේ මට එන්න කියන්නම ඇත්තේ අලුත් බදු පනත එපාම කියලා කියන්න වෙන්න ඇති. මේ ගැන අපි සාකච්ඡා කරමු මොකද්ද තියෙන ප‍්‍රශ්නය කියලා.

පසුගිය මාස කිහිපය තුළම මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න තිබුණා. 2017 සිට තමුන්නාන්සේලාට තරුණ ජවය නෑ කියලා කිව්වා. ඒ කියන්නේ මෙතන ඉන්න අයට වැඩ බැහැ කියලද. මෙතන ඉන්නේ පරිණත පිරිසක්. ඒ අයගේ නායකත්වය තුළ මේ දෙපාර්තමේන්තු දුවන්නේ. කෙසේ වෙතත් මුදල් ඇමතිතුමා 2007 සිට සහකාර කොමසාරිස්වරුන් බඳවාගෙන නැත්නම් ඒක ප‍්‍රශ්නයක්. එහෙම වුණ හේතුව මම දන්නේ නැහැ. නව රජයත් බලයට පත්වී වසර 2 ක් දෙක හමාරක් වෙනවා. මේ දෙපාර්තමේන්තුවේ තිබෙන පුරප්පාඩු පිරවෙන්නේ නැත්නම් එය බරපතල ප‍්‍රශ්නයක්. මේ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන්න, රජය බලාපොරොත්තුවන සේවාවේ කාර්යක්ෂමතාවය ඇති කිරීමට ඒ බඳවා ගැනීම වහ වහා කළ යුතුයි කියන අදහසෙයි මාත් සිටින්නේ.

මේ පනත සහ ඉදිරිපත් කළ අනෙක් කරුණු සම්බන්ධයෙනුත් මම බලාපොරොත්තු වෙනවා සිංහල අවුරුදු නිවාඩුවෙන් පස්සේ අපි සියලුදෙනා එකතුවී සාකච්ඡාවක් පවත්වමු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීනුත් සමඟ. එමගින් පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට ලැබෙයි.

තමුන්නාන්සේලා ඉදිරිපත් කළ කරුණුවලදී දිරිදීමනා පිළිබඳ ව බදු ගෙවන්නන්ට පහසු ක‍්‍රමවේදය පිළිබඳව ආදී කරුණු සඳහන් කළා. මේ ගැටලු විසඳා මේ දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන අරමුණු රටට ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන බව මා විශේෂයෙන් සඳහන් කිරිමට කැමතියි.

ඔබටත් ඔබේ සංගමයටත් මම සුබපතනවා. මේ රටේ ජාතික ආර්ථිිකය ශක්තිමත් කරමින් ජනතාවට වඩා උසස් ජීවන තත්ත්වයක් ඇති කිරීමටත් සමෘද්ධිමත් ආර්ථිකයක් මේ රටේ ඇති කරන්නටත් ඔබ මෙතෙක් කර ඇති සේවය මා අගය කරනවා. ඉදිරියටත් එම සේවය වඩා උසස් ලෙස ලබාදීමට සියලුදෙනාට ධෛර්යය ශක්තිය ලැබේවායි ප‍්‍රාර්ථනා කරනවා. එ සඳහා රජයේ සම්පූර්ණ සහය ඔබට ලබාදීමට අපි සූදානම් බවත් සඳහන් කරමින් ඔබෙන් සමුගන්නවා.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.