• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනපති ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් අභියස දී

 
He news 20170408නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසමින් සිංහල අලුත් අවුරුදු උදාවට පෙර ඔවුන්ගේ බැංකු ගිණුම්වලට මුදල් යොමු කරන බව ජනාධිපතිතුමා පවසයි.
 
 
හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍ය ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.

සාම්ප‍්‍රදායික ව වාර්ෂික ව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 50 වන වරට සංවිධානය කර තිබුණි.

රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත‍්‍රය සඳහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා-කෙත්වතු සාරවත් වේවායි ප‍්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි.

අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපතිතුමා පළමුව ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව වස විස නැති දේශීය සහල් බඳුන ජනාධිපතිතුමාගේ සුරතින් ගරුතර මහා සංඝරත්නය වෙත පූජා කිරීම සිදු විය.

සියලු පළාත් ආවරණය වන පරිදි ඒ ඒ ප‍්‍රදේශවලට ආවේණික වූ බීජ වී වර්ග ගොවීන් වෙත බෙදාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ගොවියෙක් ජනාධිපති ධූරයට පත් කරමින් මේ රටේ ජනතාව තැබු අපේක්ෂා ඉටු කිරිමට උපරිමයෙන් කැපවී සිටින බවත් එහි ප‍්‍රතිඵල ඉදිරියේදී මේ රටේ ගොවි ජනතාවට හිමිවනු ඇති බවත්ය.

රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට සහ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වත්මන් රජය ඉටුකර ඇත්තේ වෙනත් කිසිදු රජයක් ඉටු නොකළ වැඩ කොටසක් බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම උදෙසා වත්මන් රජය කි‍්‍රයාවට නංවන ලද්දේ මීට පෙර කි‍්‍රයාත්මක නොවූ වැඩපිළිවෙළක් බවද සඳහන් කළ ජනාධිපතිතුමා එම ජනතාවට සහන සැලසීම සඳහා සිංහල අලුත් අවුරුදු උදාවට පෙර ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් යොමු කිරීම වෙනුවෙන් මේ වන විට රජය රුපියල් මිලියන 7000 ක මුදලක් වෙන් කර තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.

රජ රට ජනතාවගේ කඳුළු කථාව නිම කරමින් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ වැඩකටයුතු ද රජය කඩිනම් ආරම්භ කළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා එම ගොවි ජනතාවගේ කෘෂිකර්මාන්ත කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය ලබාදීම සඳහා තවත් වැව් දහසක ප‍්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට රජය ආරම්භ කර තිබෙන බව කියා සිටියේය.

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් අලූත් සහල් මංගල්‍ය පිළිබඳ සමරු කලාපය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ, රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද , කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, චන්ද්‍රාණි බණ්ඩාර, තිස්ස කරලියද්ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. විජයරත්න, ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩී.වී. බන්දුසේන මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව ජේතවනාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවූ අතර විහාරාධිපති පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රත්නපාල නායක හිමිපාණන් වහන්සේ ද බැහැ දැක සුව දුක් විමසීය.

ජේතවනාරාම විහාර චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා අලුතින් ඉදිකළ සතර මහා දොරටු විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.