• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නවීන තාක්ෂණය සමඟ බද්ධ වෙමින් අපනයන වෙළෙඳපොළ ජය ගැනීමේ අවස්ථාව අද මේ රටේ තරුණ පරපුරට

He presidentමඩ ගා ගත් සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තයේ නොව ජංගම දුරකතනයෙන් සහ අන්තර්ජාලය ඔස්සේ වෙළඳපොළ සමඟ සම්බන්ධ වෙමින් අපනයන වෙළඳාම හා එක්වීමේ අවස්ථාව අද මේ රටේ තරුණ පරපුරට උදා කර දී තිබෙන බව ජනාධිපතිතුමා පැවසීය.
 
ඒ සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට මෙන්ම මග පෙන්වීම් සිදු කිරීමට ආයතන රාශියක් තිබෙන බව ද සඳහන් කළ ජනාධිපතිතුමා මේ රටේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කරමින් අලුත් ගමනක් යාමට අද තරුණ පරපුරට අවස්ථාව උදා වී ඇති බව ද කියා සිටියේය.

ජනාධිපති  මෛත්‍රීපාල සිරසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන හා සමඟාමී ව ගොවි සංවිධාන වෙත නොමිලේ කෘෂි උපකරණ බෙදාදීම වෙනුවෙන් ඊයේ (08) පස්වරුවේ අනුරාධපුර මහජන කි‍්‍රඩාංගනයේ පැවති උත්සවය අමතමිනි. ගොවි ජනතාව අතර නවීන තාක්ෂණය භාවිත කිරීම ප‍්‍රචලිත කිරීමේ ආරම්භක පියවරක් ලෙස පළාත් 09 ම නියෝජනය කරන ගොවි සංවිධාන වෙත කෘෂි උපකරණ බෙදාදීම මෙහිදී සිදු විය.

ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගනිමින්, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර රටේ කෘෂිකර්මාන්තය ගොඩනැගීමටනම් මෙරට ගොවි ජනතාව නවීන තාක්ෂණය සමඟ බද්ධ විය යුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට රජය සකසා තිබෙන බවද කියා සිටියේය.


රටේ අනාගත සංවර්ධන ඉලක්ක සපුරා ගත හැක්කේ සෑමවිට ම රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ සැලසුම් සහ ඉලක්ක තුළින් බවද පැවසූ ජනාධිපතිතුමා තමා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සිටියදී ආහාර අර්බුදය සඳහා මුහුණ දෙමින් ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට ආරම්භ කළ අපි වවමු රට නගමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ ව ද අදහස් දැක්වීය.

නමුත් 2013 වසරේ බරපතළ නියඟයකට මුහුණ දීමට සිදුවූ අතර ඒ සමඟ පැමිණි පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ වේදිකාව උණුසුම් වුයේ නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ ව බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා එහිදී හිටපු නායකයින්ගේ උපදෙස් අනුව ඡන්ද පොරොන්දු රාශියක් ලබා දෙමින්, පත්තර පිටු පුරවා දැන්වීම් පළ කළද එම පොරොන්දු කිසිවක් මැතිවරණයෙන් අනතුරුව ඉටු නොවූ බවද කියා සිටියේය.

පසුගිය සමයේ ඇති වූ නියං තත්ත්වය හමුවේ පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් වත්මන් රජය ඉතා සැලසුම්සහගත සහ කාර්යක්ෂම අයුරින් කටයුතු කළ බව සඳහන් කළ ජනාධිපතිතුමා එය නියං තත්ත්වයක් හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට කි‍්‍රයාත්මක වූ වැඩිම සහනදායී වැඩපිළිවෙළ බව ද කියා සිටියේය.


ගොවි පුතෙක් ජනාධිපති වුවත් ගොවීන්ට නොසලකන බවට එල්ල වන චෝදනා පිළිබඳ ව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ ගොවි ජනතාව සහ කෘෂිකර්මාන්තය පිළිබඳ අත්දැකීමක් මෙන්ම සැබෑ අවබෝධයක් තමාට තිබෙන බවත්, නවීන තාක්ෂණය සමඟ බද්ධ වෙමින් ණය බරින් නිදහස් වූ මෙන්ම, ආර්ථිකය ශක්තිමත් වූ ගොවි පරපුරක් රට තුළ ගොඩනැගීමට ඉතා සැලසුම් සහගත අයුරින් කටයුතු කරන බවත්ය.


ගොවි සංවිධාන වෙත පාරිතෝෂිත මුදල් පිරිනැමීම, පසු අස්වනු තාක්ෂණ ආයතනයේ සේවකයින්ට දීර්ඝ සේවා උපහාර තිළිණ පිළිගැන්වීම, පසු අස්වනු තාක්ෂණ ආයතනය මගින් කි‍්‍රයාත්මක පුහුණු වැඩසටහන්වල ප‍්‍රතිලාභින්ට සහතික පත් ප‍්‍රදානය, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා උපකරණ බෙදාදීම, සාර ලංකා ණය ප‍්‍රදානය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.


කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. විජයරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.