• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සංහිඳියාව ගොඩනැගීමේ කාර්යයේදී ආධ්‍යාත්මික නායකයින් පෙරමුණ ගතයුතුයි

He news 2017 04 10සංහිඳියාව ශක්තිමත් කරමින් සෑම ආගමික දර්ශනයක්ම අපේක්ෂා කරන මිනිසුන්ගේ හදවත් එක් කිරීමේ කාර්යයේ දී සැබෑ පණිවිඩකරුවා වන්නේ ආධ්‍යාත්මික නායකයින් බව ජනාධිපතිතුමා පවසයි.
 
ත‍්‍රිපිටකය, බයිබලය, කුරානය මෙන්ම බගවත්ගීතාව තුළ ද අප බලාපොරොත්තුවන සංහිඳියාවට මග පෙන්වා තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා බෞද්ධ භික්ෂුන් වහන්සේ මෙන්ම, හින්දු, ඉස්ලාමීය, කතෝලික සියලු පුජකතුමන්ලාට මෙය සමාජය තුළ ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීමේ වගකීම පැවරෙන බව කියා සිටියේය.


ජනාධිපති  මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (09) පස්වරුවේ දංකොටුව, සිංගක්කුලියේ පැවති ‘එරබදු වසන්තම්’ ජාතික හා ආගමික සංහිඳියාව පිළිබඳ සංස්කෘතික ප‍්‍රසංගය සහ ස්වර්ගස්ථ කලාසූරි මර්සලින් ජයකොඩි පියතුමාට උපහාර පිදීමේ උත්සවය අමතමිනි. සරසවි කලා සංගමය විසින් මෙය සංවිධානය කර තිබුණි.


මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඉතිහාසයේ සිට අප රට ගොඩනැගුණේ සියලු ජනකොටස් අතර පැවති සාමය සහ සංහිඳියාව නිසා බවයි.


අද දවසේ ද සියලු ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව තහවුරු කරමින් ශක්තිමත් ජන පවුරක් ලෙස අප ඉදිරියට යා යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.


සංහිඳියාව යන වචනයට කවුරුන් අපහාස, උපහාස කළ ද මේ රටේ අනාගතය රැදී පවතින්නේ එය නිවැරදිව අර්ථ දක්වමින්, සමාජය තුළ යතාර්ථවාදී ලෙස කි‍්‍රයාත්මක වූ විට බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.


මේ රටේ සැමගේ සිත් දිනා සිටි පූජක උතුමෙක් මෙන්ම විශිෂ්ට කලාකරුවෙකු වූ මර්සලින් ජයකොඩි පියතුමාගේ සේවය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.


එම සේවය අගය කරමින් එතුමාගේ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන විනිෆි‍්‍රඩා ජයකොඩි මහත්මිය වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.


පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල් ගෝමස් පියතුමා ඇතුළු කි‍්‍රස්තියානු, කතෝලික, හින්දු පූජකතුමන්ලා ද, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, අනුර පි‍්‍රයදර්ශන යාපා, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු, යන මහත්වරුන් ද සරසවි කලා සංගමයේ සභාපති ආනන්ද කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.