• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 42ක මුල්‍ය ආධාර ශ්‍රී ලංකාවට

Finance news 2017 04 12යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා යූරෝ මිලියන 42ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 6791.4) මුල්‍යාධාර ලබාදීමේ ගිවිසුම් සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය එළඹෙන ලදී.
 
 
 
මේ යටතේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණ සහයෝගීතා වැඩසටහන සඳහා යූරෝ මිලියන 30ක් ද ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන සඳහා යූරෝ මිලියන 12ක් ද ලබාදීමට එකඟතාවය ඇතිකරගන්නා ලද මෙම ගිවිසුම් සඳහා පසුගිය (06) දින මුදල් අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපතිතුමන් ඉදිරියේදී අත්සන් තබන ලදී. 


ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන සඳහා  මෙයට අමතර ව ජර්මානු පෙඩරල් සමුහාණ්ඩුවේ විදේශ කාර්යාලය  යූරෝ මිලියන 2.4ක් ද  බ්‍රිතාන්‍ය කවුන්සිලය යූරෝ මිලියන 0.1ක් ද ලබාදෙනු ඇත.


ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන, 2015 ඔක්තෝම්බර් මස පැවති යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ කවුන්සිලයේදී ශ්‍රී ලංකාවේ    ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම  සහ දූෂණය අවම කිරීම,මානව හිමිකම් ආරක්ෂා කිරීම වැඩිදියුණු කිරීම හා නීතිය ආරක්ෂා කිරීම ඇතුලත් යහපාලනය ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමයෙහි දායකත්වය ශ්‍රී ලංකා රජයට ලබාදීමට ඇතිකරගන්නා ලද එකඟතාවයෙහි   සෘජු ප්‍රථිපලයකි. 


මෙම වැඩසටහන, රජය සහ බිම් මට්ටමෙහි ජනතාව අතර සම්බන්ධතාවය වර්ධනය කිරීමට අමතරව සිවිල් සමාජයේ සහ විවිධ රාජ්‍ය ආයතනයන්හි අදහස් ලබාගැනීම තුළින්  ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට දායක වනු ඇත. විවිධ සමාජ ඒකකයන් අතර පවතින බාධාවන් බිඳදැමීම  සඳහා කලාව හා සංස්කෘතිය යොදාගැනීම තුලින් මෙන්ම භාෂාව නිසා ඇති වන බාධකයන් සහ විවිධ සමාජීය අවශ්‍යතාවයන් ආමන්ත්‍රණය කිරීම තුළින් ද මෙම වැඩසටහන ප්‍රතිසංධානය සහ නැවත ගැටුම් ඇතිවී ම වැලැක්වීම සඳහා දායක වෙයි. 


ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණ සහයෝගීතා වැඩසටහන යටතේ රාජ්‍ය ආයතනයන්හි ධාරිතාවය වර්ධනය කිරීම, නව ඇසුරුම් ක්‍රම හඳුන්වාදීම, අවශ්‍ය ප්‍රදේශයන්හි වෙළඳපොළ සහ නිෂ්පාදන යටිතල පහසුකම් වර්ධනය කිරීම මගින්  කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වෙයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.