• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මීතොටමුල්ල කසල කන්ද කඩාවැටීමෙන් විපතට පත්වූවන්ට සහන සැළසීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

Government logoමීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩාවැටීමෙන් මීයගිය සියලු දෙනාගේ අවමංගල්‍ය කටයුතු රජයේ පූර්ණ වියදමින් සිදුකිරීමටත්, අපදාවට පත් ජනතාවට අවශ්‍ය ආහාරපාන, නවාතැන්, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සහ දේපල ආරක්ෂාව ඇතුලු සියලු අවශ්‍යතා කඩිනමින් සැපයීමටත් අතිගරු ජනාධිපතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ උපදෙස් පරිදි පියවර ගෙන ඇත.
 
 
මීතොටමුල්ල කසල කන්ද අවට ජීවත් වූ පවුල් 180ක් එම ස්ථානයෙන් ඉවත්කර සුදුසු ස්ථානයන්හි පදිංචි කරවීම සඳහා රජයේ මැදිහත්වීමෙන් කොළඹ නගර සභාව එක් නිවාසයක් වෙනුවෙන් මසකට රුපියල් 15,000 බැගින් මාස හයක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරනු ලැබුවද, ඇතැම් නිවැසියන් එම ස්ථානයෙන් ඉවත්වීමට දක්වන ලද මැළිකම මෙම ව්‍යසනයට ප්‍රධාන හේතුවක් වී ඇති බව අනාවරණය වේ. මෙම ව්‍යසනයෙන් මේ වනවිට ජීවිත 11ක් අහිමි වී ඇති අතර, 12 දෙනෙකු රෝහල් ගතකර ඇත.


අතිගරු ජනාධිපතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති විපතට පත්වූවන්ට සහන සැළසීමේ විශේෂ කමිටුව මගින් අවශ්‍ය සහන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලිසීය හා කොළඹ නගර සභාව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන මේ වනවිට අවශ්‍ය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.


මෙම සහන සේවා ක්‍රියාත්මක කිරීමේදී අවට ජනාවගේ සහාය අත්‍යාවශ්‍ය බැවින් එම සහයෝගය ලබාදෙන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.