• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අගමැති වියට්නාමයට ළඟා වෙයි

PM news 2017 4 17සමාජවාදී වියට්නාම ජනරජයේ අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු (Nguyen Xuan Phuc) මහතාගේ නිල ආරාධනයට අනුව වියට්නාම නිල සංචාරය සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැනෝයි නගරයේ තොයිබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ (16 ) වියට්නාමයට ළඟා විය.

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය තොයිබායි ගුවන් තොටුපොලේ දී පිළිගනු ලැබූයේ වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සන්නාම නිලධාරී මයි ෆුක් ඩොං (Mai Phuoc Dung) , විදේශ කටයුතු අමාත්‍යංශයේ සහාය අමාත්‍ය ෆම් සන් චාඕ (Pham Sanh Chau),  දකුණු, ගිනිකොන ආසියා සහ දකුණු පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ගුයැන් ලී තැන් (Nguyen Le Thanh), වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති දිසානායක සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනී ෆන් ක්‍යඕ තු (Madam Phan Kieu Thu) යන මහත්ම මහත්මීහු විසිනි.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීම සඳහා තොයිබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විශේෂ හමුදා උත්තමාචාර පෙළපාලියක් ද පැවැත්විණ.


සිය වියට්නාමි නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජවාදී වියට්නාම ජනරජයේ ජනාධිපති, අගමැති ඇතුලූ ඉහළ පෙළේ නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.


නිල සංචාරය අවසන් කර, 19 මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමට නියමිතව තිබුණ ද, මීතොටමුලලේ සිදුවූ ඛේදවාචකය හේතුවෙන්, සංචාරය කෙටි කොට, කඩිනමින් ශ්‍රී ලංකාවට පැමිණීමට වික්‍රමසිංහ මහතා අපේක්‍ෂා කරයි.


ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් අළුවිහාරේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජයවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්ව සිටිති.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.