• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වගා හානි වන්දිය මේ වසරේ සිට අනෙකුත් බෝග සඳහා

Ravikarunanayke2017මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2017 අයවැය මඟින් යෝජනා කළ පරිදි මෙතෙක් කෙතට අරුණ පොහොර දිරිය වගා හානි රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ට පමණක් ලබාදෙනු ලබන වගා හානි වන්දිය, මෙම වසරේ සිට අල, ලොකු ළූණු, මිරිස්, බඩ ඉරිඟු සහ සෝයා බෝංචි සඳහාද පුළුල් කිරීමට තීරණය කර ඇත.


මෙම රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ගේ වගා හානි වෙනුවෙන් අක්කරයකට      රු. 10,000ක උපරිමයකට යටත්ව හෝ හෙක්ටයාරයකට රු. 25,000 ක උපරිමයකට යටත්ව වන්දි ලබාදීම ක්‍රියාත්මක කෙරේ. 


ගොවීන්ට වන වගා හානිය වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා 2013 වසර සඳහා වන අයවැය අවස්ථාවේදී කරන ලද යෝජනාවකට අනුව,          ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලු බැංකු, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන වලින් ඔවුන්ගේ වාර්ෂික ලාභාංශයෙන් සියයට එකක ගාස්තුවක් මෙම රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලට බැර කෙරේ.


ජාතික රක්ෂණ භාර අරමුදලට බැරකරන ලද මෙම මුදල් උපයෝගී කරගෙන, වී ගොවීන්ට වගා හානි සඳහා වන්දි ගෙවීම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හරහා සිදුකෙරේ.


2016/2017 මහ කන්නයේ දිස්ත්‍රික්ක ගණනාවක ඇතිවූ නියං තත්ත්වය හේතුවෙන් වගා හානි සඳහා ගොවීන් හට අක්කරයකට රු. 10,000 බැගින් වූ වන්දි මුදල් ද පසුගිය මාසය තුළදී ගෙවන ලදී.


මෙයට අමතර ව, වගා හානි හේතුවෙන් ලබාගත් වගා ණය, ආපසු ගෙවීමට නොහැකි වූ ගොවීන්ට සහන ලබාදීමේ ක්‍රමවේදයක් ජාතික ණය සුරැකුම් යෝජනා ක්‍රමය නමින් 2016 වසර සිට ආරම්භ කරන ලදී. මේ යටතේ බැංකු මඟින් වගා ණය ලබාගත් ගොවීන්ගේ වගාවලට යම් හානියක් සිදුවුවහොත් එම හානිය ගණනය කර, ගොවියාට ගෙවීමට නොහැකි වූ ණය මුදල මෙම ණය සුරැකුම් යෝජනා ක්‍රමය මඟින් ගොවීන් වෙනුවෙන් බැංකු වෙත ගෙවනු ලැබේ. මෙම ණය සුරැකුම් යෝජනා ක්‍රමය යටතේ ඉහත පරිදි ණය මුදල් පියවීම ද ජාතික රක්ෂණ භාර අරමුදල වෙත බැංකු, මූල්‍ය හා රක්ෂණ ආයතන වලින් ලැබෙන 1% ක ගාස්තුව තුළින් සිදුකෙරේ. 2016/2017 මහ කන්නයේ ඇතිවූ නියඟයෙන් ගොවීන්ට සිදුවූ වගා හානි හේතුවෙන් ලබාගත් ණය පියවීම සඳහා රුපියල් මිලියන 500ක පමණ මුදලක් ජාතික රක්ෂණ භාර අරමුදල විසින් බැංකුවලට ගෙවීමට සිදුවනු ඇතැයි දැනට ගණන් බලා තිබේ.


2013.04.01 දින සිට මෙම 1% වගා බද්ද ක්‍රියාත්මක කරන ලද අතර එදින සිට 2017 අප්‍රේල් මස 25 වන දින දක්වා මෙම බද්ද මඟින් ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ලැබී ඇති මුළු මුදල රුපියල් මිලියන 5,069.81 කි. ඉන් රුපියල් මිලියන 3,932.34ක් වගා හානි සඳහා වන්දි ගෙවීමට හා ගොවි ජනතාවට සහන සැලසීම සඳහා ලබාදී ඇති අතර 2017 අප්‍රේල් මස 25 දින වනවිට රුපියල් මිලියන 1,137.47ක මුදලක් ඉතිරි වී ඇත. ඉන් රුපියල් මිලියන 500 ක් 2016/2017 මහ කන්නයේ වගා හානි ගෙවීම සඳහා තවදුරටත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට ලබාදීමට සැලසුම් කර ඇති අතර, ඉතිරි මුදල් ජාතික ණය සුරැකුම් යෝජනා ක්‍රමය යටතේ 2016/2017 මහ කන්නයට අදාළ ගෙවීම් සිදුකිරීම සඳහා රඳවා ගැනීමට කටයුතු කර ඇත.


ඒ අනුව, මෙම 1% ක වගා බද්ද අයකිරීම ආරම්භ කළ දිනයේ සිට 2017.04.25 දින දක්වා සංචිත වශයෙන් එකතු වී ඇති මුළු මුදල රුපියල් කෝටි 500ක් පමණ වන බැවින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය වෙත පැවසූ පරිදි මෙම අරමුදලේ කෝටි 700ක් අතුරුදන් වී නොමැති අතර අදාළ එකතු වූ සංචිත බදු මුදල එම බද්ද පැනවීමේ අරමුණට අනුව ගොවි ජනතාවගේ යහපත සඳහා රජය විසින් යොදවා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.