• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝකය හමුවේ ඇති ගැටලුවලට විසඳුම් සෙවීමේදී ආධ්‍යාත්මික නායකයින් විසින් කළ මගපෙන්වීම් ඉතා වැදගත්

He nes 2017 04 28අද ලෝකයේ තිබෙන ප‍්‍රශ්න හා ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ආධ්‍යාත්මික නායකයින් විසින් කරනු ලැබූ මගපෙන්වීම් ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.


ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවයට ඊයේ (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී එක් වෙමිනි.


“ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග” යන තේමාව යටතේ දෙදිනක් පුරා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා මැදපෙරදිග මුස්ලිම් රටවල සහ ආසියානු රටවල නියෝජිතයෝ සහභාගී වී සිටිති.

සියලු ජාතීන් හා ආගම් සමග එක්ව, සියලු මානව අයිතිවාසිකම්වලට ගරු කරමින් සුහදත්වයෙන් ලෝක ප‍්‍රජාව සමග කටයුතු කිරීමේ පණිවිඩය ලොවට ලබාදෙමින් ශී‍්‍ර ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.


සමුළුවේ සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අප සෑම කෙනෙක්ම එකම රටක එකම ශී‍්‍ර ලාංකිකයින් ලෙස ජීවත්වීමට අධිෂ්ඨාන කරගන්නේ නම් අප අපේක්ෂා කරන සාමකාමී සමාජය ගොඩනැගීම අපහසු නොවන බවයි.


අද කථාකරන සංහිඳියාව යථාර්ථයක් බවට පත්කරගත හැක්කේ, තමන්ගේ මෙන්ම අන් අයගේ ද අයිතිවාසිකම් සහ වරප‍්‍රසාදවලට ගරු කිරීම තුළින් බව මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිතුමා රට තුළ ස්ථීරසාර සාමයක් අතිකරගනිමින් සියලු ජාතින් අතර සහෝදරත්වය සහ සංහිඳියාව ශක්තිමත් වූ එකම රටක් ගොඩනැගීමට අප කැප විය යුතු බව ද කියා සිටියේය.


මිනිසා බලය සහ ධනය සඳහා සටන් කිරීමේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ මිනිසෙක් විසින් තවත් මිනිසෙක් විනාශ කිරීම බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.


ලෝකයේ යුද ගැටුම් වැළැක්වීමට අප සාකච්ඡා කළ යුත්තේ යුද්ධය කරන පිරිස් සමග නොව, යුද්ධයට අවශ්‍ය අවි ආයුධ නිෂ්පාදනය කරන්නන් සමග බව තමා විශ්වාස කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තමන්ගේ රට තුළ අවි ආයුධ නිෂ්පාදනය වැළැක්වීමට සෑම රාජ්‍යයකටම හැකිනම් ලෝක සාමය ඇතිකිරීම සඳහා ගනු ලබන වැදගත්ම පියවර වන්නේ එය බව ද කියා සිටියේය.


කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශී‍්‍ර ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති හුසේන් මොහොමඩ් යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග මැයෙන් පැවැති ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව අමතා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතා (2017-04-27)


ශ‍්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථාන විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුවට සහභාගිවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මෙම වැදගත් අවස්ථාවට මා වෙත ආරාධනා කිරීම පිළිබඳව ශ‍්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපතිතුමා ඇතුළු එහි විධායක මණ්ඩලයට මගේ ස්තූතිය පුදකරනවා.


තමුන්නාන්සේලාගේ ඉස්ලාමීය මධ්‍යස්ථානය, පසුගිය දශක කිහිපය තුළම අපේ රටේ ඉස්ලාමීය ජාත්‍යන්තර සමුළු පවත්වමින් අන්තර්ජාතික වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද වැදගත් අරමුණු ඉලක්ක කරගනිමින් කටයුතු කර තිබෙනවා. මෙම සමුළුවේ ආරම්භක අවස්ථාවේත් අවසානය දක්වාත් සාකච්ඡා වන්නේ ඉස්ලාමීය ධර්මය සහ අද සමාජයේ තිබෙන්නාවූ අභියෝග සහ ගැටලු පිළිබඳවයි.


අපේ රටේ මෙන්ම ලෝකයේ ජීවත්වන මිනිසුන්ට සෑම ක්ෂේත‍්‍රයකම ගැටලු, ප‍්‍රශ්න, අභියෝග රාශියක් තිබෙනවා. සමාජමය වශයෙන් මිනිසුන් ජීවත්වීමේ දී ඇති වන අභියෝග. ව්‍යාපාරික ක්ෂේත‍්‍ර තුළ ඇති වන අභියෝග. සංස්කෘතික වශයෙන් මිනිසුන් අතර තිබෙන වෙනස්කම් නිසා ඇති වන අභියෝග.රාජ්‍ය පාලනය තුළ ඇති වන අභියෝග. ආගමික වශයෙන් ඇති වෙන්නාවූ අභියෝග. භාෂාමය වශයෙන් ඇති වන්නාවූ අභියෝග. ඒ සෑම ක්ෂේත‍්‍රයක් තුළම අභියෝග සහ ගැටලූ තිබෙනවා. ඒ සියල්ල තුළ මිනිසා බලාපොරොත්තු වෙන්නේ යහපත් මිනිසෙකු ලෙස ඉදිරියට යාමයි. ඉස්ලාමීය ධර්මතාවය තුළ සමාජයක තිබිය යුතු යහපත්කම, ශිලාචාරකම, හැදිච්චකම, ගැටුම් නොමැතිව ජීවත්වීම, සමගියෙන් කටයුතු කිරීම දෛනික ජීවිත පැවැත්ම මේ සියල්ල නබිනායකතුමාගේ දේශනවල සඳහන් වෙනවා. ලෝකයේ තිබෙන්නාවූ ප‍්‍රශ්න විසඳා ගැනීමේදී වැදගත් වන්නේ ආධ්‍යාත්මික නායකයින්ගේ මග පෙන්වීම් සහ විසඳුම් බවයි මා විශ්වාස කරන්නේ.


ඉස්ලාමීය ධර්මයේදී උතුම් කුරානය තුළ ක‍්‍රිස්තු ධර්මයේදී බයිබලය තුළ බෞද්ධ දර්ශනයයේදී ත‍්‍රිපිටකය තුළ හින්දු ආගමේ භගවත් ගීතාව තුළ මේ සෑම ධර්මතාවයක් තුළම යහපත් මිනිසෙක් ගොඩනැගීම පිළිබඳව පෙන්වන්නාවූ ආධ්‍යාත්මික මගපෙන්වීම් නව තාක්ෂණයත් සමග පිරිහෙන ලෝකයේ මිනිසාගේ යහපැවැත්ම, සාමය, සංහිඳියාව සහ ගුණගරුක සමාජයක් සඳහා වැදගත් වෙනවා. මට පෙර කතා කළ සෑම කෙනෙක්ම සමාජය තුළ ඇතිවන ගැටුම් විවිධ විෂමතාවයන් සහ නොයෙකුත් ප‍්‍රශ්න ගැන සඳහන් කළා.

මිනිසා බලය සහ ධනය සඳහා සටන් කරනවා. බලය සහ ධනය සඳහා සටන් කිරීමේ අවසාන ප‍්‍රතිඵලය වන්නේ එක් මිනිසෙක් විසින් තවත් මිනිසෙකු විනාශ කිරීමය. බෝම්බය කවුරුන්ද සෑදුවේ කියන ප‍්‍රශ්නය නොවේ තිබෙන්නේ. බෝම්බයක් වැටුණු විට මිනිසුන් මිය යාම පිළිබඳවයි. එසේ මියයන මිනිසුන් සිංහල ද දමිළ ද මුස්ලිම් ද ඉංග‍්‍රීසින් ද චීන ද ජපන් ද කියන ප‍්‍රශ්නයක් නොවේ තිබෙන්නේ. කුමන ආගමේ ද යන ප‍්‍රශ්නය නොවේ තිබෙන්නේ.


තුවක්කුවකින් පිටවන උණ්ඩයෙන් මියයන මිනිසුන් පිළිබඳවයි ප‍්‍රශ්නය තිබෙන්නේ.


යුද ගැටුම් අවසන් කරන්න ලෝකයේ රටවල් රාජ්‍ය නායකයින් විද්වතුන් සාකච්ඡුා කරනවා. නමුත් සාකච්ඡුා කළ යුත්තේ යුද ගැටුම් වැළැක්වීමට යුද්ධ කරන්නන් අතර නොව යුද්ධයට අවශ්‍ය ආයුධ නිෂ්පාදනය කරන ආයුධ නිෂ්පාදකයින් සමග බවයි මම දැඩි ලෙස විශ්වාස කරන්නේ. ආයුධ නිෂ්පාදකයින් ආයධ නිෂ්පාදන නොකර ඔවුන්ගේ ආර්ථිකය ධනය ඉපයීමේ වෙනත් ව්‍යාපාරික කටයුත්තක ඔවුන් නියැලෙනවා නම් ලෝකයේ යුද්ධයක් ඇතිවෙන්නේ නැහැයි කියලයි ඔබ අප විශ්වාස කරන්නේ.


බොහෝ කෙනෙක් සාකච්ඡුා කරන්නේ යුද ගැටුම් ඇති වූ දෙපාර්ශ්වය සමගයි. සෑම රාජ්‍යයකටම සෑම රාජ්‍ය නායකයෙකුටම පු`එවන්නම් තමාගේ රටේ අවි ආයුධ නිෂ්පාදනය කිරීම නැවතීමට, වැළැක්වීමට, තහනම් කිරීමට ලෝකයේ සාමය ඇති කරන්න ඒ තමයි ගත හැකි වැදගත්ම පියවර. කෙනෙක් කියනවානම් එය බැහැ කියලා එසේ වන්නේ කුමක් නිසාද කියන එකයි ප‍්‍රශ්නය. ගැටුම් නොමැතිව සාමකාමී ලෙස යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා සෑම මිනිසෙකුටම තිබෙන උවමනාව සහ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට සෑම මිනිිසෙකුම කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයි.


අපේ රටට එදා තිබුණු ප‍්‍රශ්න සහ අද තිබෙන ප‍්‍රශ්නත් අද තිබෙන ප‍්‍රශ්න අපි විසඳාගන්නේ කෙසේද කියලා අපි කල්පනා කළ යුතුයි. අපේ රට බි‍්‍රතාන්‍ය පාලනය පැවති කාලයේදී සිංහල, දමිල, මුස්ලිම් සියලු දෙනා සහෝදරත්වයෙන් ජීවත්වෙමින් බි‍්‍රතාන්‍ය පාලනයෙන් මේ රට නිදහස් කර ගන්න සටන් කළා.


එක්දහස් නවසිය හතළිස් ගණන්වල මේ නායකයින් අතර මොනතරම් සමගියක් තිබුණද. ඒ සමගිය තුළිනුයි එදා සිටි නායකයින්ට පුළුවන්කම ලැබුණේ මේ රට බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස් කර ගන්න. නිදහසෙන් පසු දේශපාලන බලයෙන් අපි බෙදෙන්න පටන් ගත්තා.


සිංහල වේවා මුස්ලිම් වේවා දමිළ වේවා බෙදීම් වෙන්වීම් බලය සඳහායි සිදුවුණේ. අපි සහෝදරත්වයෙන් එක රටක එක පවුලක් විදියට ජීවන්වෙන්න අධිෂ්ඨාන කර ගන්නවා නම් අපි බලාපොරාත්තුවන සාමකාමී සමාජයක් බිහිකර ගැනීමට හැකිවෙනවා.


අපි කතාකරන සංහිඳියාව සැබෑ යථාර්ථයක් වන්නේ සෑම කෙනෙකුගේම හෘද සාක්ෂිය තුළ තමා ගැන සිතනවාට වඩා අනුන් ගැන සිතමින් අනුන් ගැන මෙනෙහි කරමින් අන් අයගේ අයිතිය සහ වරප‍්‍රසාදවලට තමාගේ කැමැත්ත සහ එකඟතාවය ලබාදෙමින් සමගියෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගෙන වානම් පමණයි.

ඒ නිසා මේ ශ‍්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන විදේශ රටවල සිට පැමිණි ඉස්ලාම් නායකයින් නියෝජිතයින්, ඒ සෑම කෙනෙකුටම රජය සහ ජනතාව වෙනුවෙන් මගේ ස්තූතිය පිරිනමනවා. ඔබ මගේ රටට පැමිණීමෙන් ඔබ අපට කරන ගෞරවය පිළිබඳව ද මා ස්තූතිවන්ත වෙනවා. අපේ රටේ ස්ථීරසාර සාමයක් ඇති කරන්න සිංහල, දමිල, මුස්ලිම් සියලූ ජනකොටස්වල සමගිය සහෝදරත්වය තුළ එකම රටක බෙදීමකින් තොරව ජීවත්වීමට අපි රජයක් විදියට ගෙන යන වැඩපිළිවෙළට පැමිණ සිටින ඉස්ලාමීය නායකයින්ගේ සහ නියෝජිතයන්ගේ ආශිර්වාදය සහ සහයෝගය මා බලාපොරොත්තු වෙනවා.


මේ කටයුතු සංවිධානය කළ ශ‍්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයටත්, අවශ්‍ය සහය දුන් මැති ඇමතිවරුන්ටත්, සහභාගී වන ඔබ සියලු දෙනාටත් මගේ ස්තූතිය පුද කරමින් ඔබෙන් සමුගන්නවා.
ස්තූතියි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.